දිවයින පුරා ලක්ෂ හතළිහක පමණ පිරිසක් මේ වසරේ මුල් මාස දහයක කාලයේදී රුපියල් කෝටි දහ නව දහස් තුන් සියයකට (19,300) වැඩි වටිනා කනකර ආභරණ (රත්රන් බඩු) ප්‍රමාණයක් විවිධ ආයතනවලට උසස් කර ඇතැයි අධ්‍යයනයකදී තොරතුරු හෙළි වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.
මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ ප්‍රධාන බලපත්‍රලාභී වාණිජ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් දහතුනක් සහ ප්‍රධාන උකස් සමාගම් දහයක් යොදාගෙන කළ විශේෂ අධ්‍යයනයකදීය.
මේ වසරේදී උකස් කරන ලද මේ කනකර ආභරණ ප්‍රමාණය ඊට කලින් වසරේදී උකස් කරන ලද කනකර ආභරණවල ප්‍රමාණයට සාපේක්ෂව ලොකු වැඩිවීමක් පෙන්නුම් කරන බවද මහාචාර්යවරයා කීවේය.
සිය කණකර ආභරණ උකස් කර ඇති පිරිසෙන් වැඩි දෙනකු මධ්‍යම පාන්තික පවුල්වල අය බව පැවසූ අතුකෝරල මහතා කනකර ආභරණ වැඩි ප්‍රමාණයක් උසස් කර ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය මිලදී ගැනීමට බවද ප්‍රකාශ කළේය.
මෙයට අමතරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් නොමැතිවීම, ආදායම් අහිමිවීම සහ පාරිභෝගික අවශ්‍යතා යනාදී කාරණා පදනම් කරගෙනද කනකර ආභරණ විශාල වශයෙන් උකස් කර ඇතැයි එම අධ්‍යයනයේදී තොරතුරු අනාවරණයවී ඇත.
ජනතාව සිය කනකර ආභරණ උකස් කිරීම සඳහා වර්තමානයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානවලට වැඩි වශයෙන් යෑමට පෙළඹුණු තත්වයක් දක්නට ලැබුණු බවත් කනකර සඳහා පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වැඩි මුදලක් ලබාදීම ඊට හේතුව වශයෙන් පෙනී ගිය බවත් වසන්ත අතුකෝරල මහතා පැවසීය.
මහාචාර්යවරයා පවසන අන්දමට මේ වසරේ පමණක් රත්රන් මිල සියයට අසූවකින් පමණ වැඩිවී ඇත. අද වනවිට වෙළෙඳපොළේ රන් පවුමක මිල ලෙස සටහන් වන්නේ රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහස් එකසිය පනහකි. රන් පවුමක මිල මීට වසර කිහිපයකට පෙර පැවතුණේ රුපියල් හැටදහස හැත්තෑ දහස අතර සීමාවේය. -ලංකාදීප