වේගයෙන් වෙරළට එන මුහුදු රැලි එක්ක එන කකුළුවෝ වෙරළ දිගේ එහෙ මෙහෙ දුවනවා. මුහුදෙන් ගොඩට ආව ගණන් කරන්න බැරි තරම් කකුළුවෝ රැළක් වෙරළ අයිනේ වළවල් හාරන හැටි ඈතින් පේනවා. ඒ රැලි එක්ක එන ඇහැට නොපෙනෙන තරමේ කක්කුට්ටෝ වෙරළ දිගට අමුතු අමුතු රටාවන් මවනවා. උන්ගේ නිදහසට බාධා කරන්න ආව අපිට සාප කරමින් උන් ආපහු මුහුදට දුවනවා. කකුළුවන්ගේ ගමන ඇදේට වුණාට ඒක හරිම ඉක්මන් ගමනක්. බලන් ඉන්න ආස හිතෙන ගමනක්. දෙපැත්තෙන්ම මුහුදෙන් වට වුණු සුදුම සුදු පාට වැලි තීරයක් දිගේ අපි ඇවිදන් යනවා. ඉඳහිට ඈතින් ගමන් කරන බෝට්ටුවක් ඇරෙන්න අපේ ඇස් මානයේ මිනිස් පුලුටක් නැහැ. දෙපැත්තෙම මුහුද වුණත්, තවමත් තරුණ ඉරු එළිය අපේ මුළු ඇඟම පුච්චලා දානවා. ඒත් සෙරෙප්පු නැති නිරුවත් දෙපාවලට ඒ වැලි තීරයෙන් ලැබෙන අමුතු සිසිලස මුළු ඇඟම නිවනවා.
මෙච්චර වෙලා විස්තර කළේ හීනයක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් මේක හීනයක් නම් නෙවේ. පසුගිය දවසක අපි වින්ද ඇත්තම අත්දැකීමක්. අපි ඉන්නේ ලංකාවෙන් එහාට වෙන්න පිහිටි පුංචි දූපතක එක් කෙළවරක. හරියටම කිව්වොත් බත්තලංගුණ්ඩුවේ ඉඳන් පල්ලියවත්තට ඇවිදගෙන යන වෙලාවේ තමයි අපි කලින් අත්දැකීම වින්දේ.
ලංකාවේ සිතියම දිහා විමසිල්ලෙන් බැලුවොතින් අපේ රට වටේට පිහිටලා තියෙන පුංචි පුංචි තිත් ගොඩක් දකින්න පුළුවන්. මේ මොනවද කියලා හොයන්න නිකමට හරි හිතිලා තියෙනවද? පුංචි පුංචි තිත් වගේ පේන මේ දූපත්වල තියෙන්නේ මොනවද කියලා හිතිලා තියෙනවද? ඒ දූපත්වලට එක පාරක් හරි ගිහින් එන්න පුංචි හරි ආසාවක් ඇති වෙලා තියෙනවද? එහෙම ආසාවක් තියෙනවා නම් ඒක තව ටිකක් වැඩි කරන්නත්, ආසාවක් නැති අයට එහෙම ආසාවක් ඇති කරන්නත් තමයි මේ හදන්නේ.

කොළඹින් පාන්දර පිටත් වුණු අපි කල්පිටියට එද්දි හරියමට උදේ 08යි. කොළඹ ඉඳන් පුත්තලම පාරේ ඇවිත් පාලවී හන්දියෙන් වමට හැරිලා තමයි කල්පිටියට එන්න ඕනේ. කල්පිටිය අර්ධද්වීපයේ පිහිටීම වගේම සුන්දරත්වයත් හරිම අපූරුයි. කල්පිටිය අර්ධද්වීපයේ එක් කෙළවරක පිහිටි කල්පිටිය ධීවර වරායෙන් තමයි අපේ ගමන් පටන් ගන්නේ. සාමාන්‍යයෙන් ගමනක් යද්දී කියන වෙලාවට පොඞ්ඩක් පරක්කු වෙන එක අපේ සිරිතනේ. ඒත් මේ ගමන එහෙම පරක්කු වෙන්න බැහැ. මොකද කල්පිටියයේ ඉඳන් බත්තලංගුණ්ඩුවට ගමන් කරන්න දවසකට එකම එක බෝට්ටුවක් විතරයි. ඒක මිස් වුණොත් ආයෙමත් ඊළඟ දවස වෙනකම් ඉන්න වෙනවා. හැබැයි පොඞ්ඩක් කියලා බෝට්ටුව සුළු වෙලාවක් පරක්කු කර ගන්න පුළුවන්. එහෙම නැති නම් කුඩා ප්‍රමාණයේ ධීවර බෝට්ටුවක් අරගෙන බත්තලංගුණ්ඩුවට යන්නත් පුළුවන්. ඒත් ඒක ටිකක් වියදම් අධික වැඩක්.
බස් එකේ, කෝච්චියේ ගමන් බිමන් යන අපිට පොදු ප්‍රවාහන බෝට්ටුවක ගමන් කරන එක අලුත් අත්දැකීමක්. කල්පිටිය ජැටියේ පැත්තක නවත්තලා තිබුණු බෝට්ටුව ළඟට අපි යද්දී එකම යුද්ධයක්. බෝට්ටුවට එක එක විදියේ බඩු පටවනවා. ඒවා ගණන් කරලා ලියා ගන්නවා. තට්ටුව පිරෙන්න සෙනඟ. ඒ අතර පුංචි ඉඩක් හොයාගෙන වාඩි වුණු අපි මේ දර්ශන පෙළ බලන් ඉන්නවා. මේ ඔක්කොම ඉවර වෙලා අපි කල්පිටියෙන් පිටත් වෙද්දී උදේ 09ත් පහු වෙලා.
කල්පිටිය ධීවර වරායෙන් මුහුදට දියත් වුණු බෝට්ටුව ටිකෙන් ටික මුහුද මැදට ගමන් කරනවා. කල්පිටිය අර්ධද්වීපයේ පිහිටීමත් එක්ක අපිට දෙපැත්තෙන්ම පේන්නේ ගොඩබිම්. එක් පැත්තකින් පුත්තලමට උතුරින් පිහිටි කරතිව් ප්‍රදේශය. අනෙක් පැත්තෙන් කල්පිටියේ උතුරු කොටස. ගමන් පටන් අරන් පැය එකහමාරක් විතර යනකම්ම ඒ දර්ශනය ඒ විදියමයි. ඒ අතර මුහුද මැද්දේ තනි වුණු පුංචි පුංචි දූපත් කිහිපයක්ම අපි පහු කරනවා. කිසිදු මිනිස් ක්‍රියාකාරකමකින් තොර සම්පූර්ණයෙන් වනයෙන් වැසුණු ඒ දූපත්වල දර්ශනයත් හරිම ලස්සනයි. අපේ ලංකාව කොච්චර ලස්සනද? මේ ගමන ගිහින් එනකම්ම අපේ හිතට නැඟෙන්නේ අන්න ඒ අදහස විතරයි.

පුත්තලමෙන් උතුරු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වනගත ප්‍රදේශයක්. හරියටම කිව්වොත් විල්පත්තුව ජාතික වනෝද්‍යානය තමයි ඒ ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. ඒ හින්දා බෝට්ටුව ගමන් කරන පැත්තෙන් වම් අත බැලුවොත් අපිට දිගින් දිගටම පේන්නේ වනාන්තරය. ඒ අතර තැනින් තැන රත්තරන් පාටට හුරු වැලි තීරු දකින්න තියෙනවා. විල්පත්තුවට අයත් මුහුදු තීරය දිගටම වැලි තීරය ඒ වගේ තමයි. ටිකෙන් ටික මුහුද මැද්දට ගිය අපි හරියටම කුදිරමලේ තුඩුව ආසන්නයෙන් තමයි බත්තලංගුණ්ඩුව පැත්තට හැරෙන්නේ. ඒ වෙද්දිම අපිට ඈතින් බත්තලංගුණ්ඩුවේ දුරකතන සන්නිවේදන කුලුනත් පේන්න ගන්නවා.
ටිකෙන් ටික බත්තලංගුණ්ඩුවට ළං වෙද්දී පේන දර්ශනය හරිම අපූරුයි. වෙරළ දිගට ධීවර බෝට්ටු නවත්තලා. පොල් අතු පැල්පත් පෙළක් ඊට පිටුපසින් පේනවා. දූපතේ එක් කෙළවරක සුදු පාට වැලි වැටියක්. ඒ කෙළවරේ තවත් පැල්පත් කිහිපයක් පේන්න තියෙනවා.
හරියටම පැය 02යි විනාඩි 45ක මුහුදු ගමනකින් පස්සේ අපි බත්තලංගුණ්ඩුවට ගොඩ බැස්සා. කල්පිටියේ වගේ බත්තලංගුණ්ඩුවේ ජැටියක් නැහැ. ඒ හින්දා බෝට්ටුවෙන් මුහුදට යොමු වුණු ඉණිමඟකින් තමයි බහින්න වෙන්නේ. ටිකක් අමාරු වැඩක් වුණත්, වයස් බේදයකින් තොවර බත්තලංගුණ්ඩුවේ ජීවත් වෙන ජනතාවට නම් ඒක අමුතු දෙයක් නෙවෙයි. මාළු වේළන වාඩි කිහිපයක් මැදින් ඉදිරියට යන අපිට ඈතින් පල්ලිය පේන්න තියෙනවා. ජීවන කිව්ව මඟ සලකුණු අනුව පල්ලිය ළඟින් තමයි ඇනීටා අම්මගේ ගෙදරට යන පාර වැටිලා තියෙන්නේ.

ඒ මඟ සලකුණු දිගේ පාර හොයන් යද්දී ඇනීටා අම්මා අපි එනකං මඟ බලන් ඉන්නවා. මොකුත් නොදන්න ලංකාවෙන් ඈතට වෙන්න පිහිටපු දූපතක ඒ වගේ කෙනෙක් ඉන්න එක හිතට හරිම සැහැල්ලුවක්. කලින් දැකලා නැති වුණත් ඇනීටා අම්මා අපිව පිළිගත්තේ පුදුම ළෙන්ගතුකමකින්. ඇනීටා අම්මගෙ තේ කෝප්පෙක රස විඳපු අපි ඊළඟට ගියේ බත්තලංගුණ්ඩුව පොලිස් මුරපොළට. මේ සටහන කියවන කවුරු හරි බත්තලංගුණ්ඩුවේ යන්න හිතනවා නම් ඔබ දූපතට ගොඩ බැස්ස ගමන් මුලින්ම යන්න ඕනේ පොලිස් මුරපොළට කියන එක හොඳට මතකයේ තියා ගන්න. මොකද ඒ වගේ තැනකට ගිය ගමන් ආරක්ෂක අංශ දැනුවත් කරන එක අපේ වගකීමක්. ඒ වගේම ඒක අපේ ආරක්ෂාවටත් හරිම වැදගත්. ඒත් මේ ගැන හරියට තේරුමක් නැති බත්තලංගුණ්ඩුවට එන සංචාරකයන් බොහෝ දෙනෙක් ඒ වගකීම පැහැර හරින බවත් අපිට දැන ගන්න ලැබුණා. අපි මේ කියන දෙය කොච්චර වැදගත්ද කියලා බත්තලංගුණ්ඩුව ගැන හරියටම දැන ගත්තට පස්සේ තේරුම් යාවි. ඒත් ඒ ගැන කතා කරන එක පස්සට තියලා මුලින් අපි දූපතේ ලස්සන බලලා එමු.
පොලිස් මුරපොළට ගිහින් මුහුදු වෙරළ පැත්තේ ටිකක් ඇවිදලා එද්දී ඇනීටා අම්මා දවල් කෑම ලැහැස්ති කරලා. මුහුදු මාළු දෙජාතියක් දෙවිදියට හදලා තව එළවළු දෙකකුත් එක්ක ඇනීටා අම්මා හදලා තිබුණු කෑම ටික දිව්‍ය භෝජන පරාදයි. කෑම ටික ගැන ඇනීටා අම්මට පින් දෙන ගමන් බඩ පිරෙන්න කෑව අපි ඊළඟට පිටත් වුණේ පල්ලිය වත්ත හොයාගෙන යන්න. බත්තලංගුණ්ඩුව දූපත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තයි. එකක් තමයි අපි ගොඩ බැස්ස බත්තලංගුණ්ඩුව. අනෙක් කොටස තමයි පල්ලියවත්ත. පල්ලියවත්ත මේ කොටස එක්ක සම්බන්ධ වෙන්නේ වැලි පරයකින්.
ප්‍රධාන වශයෙන් ධීවර ජනතාව ජීවත් වෙන බත්තලංගුණ්ඩුවේ ජනගහනය 2,000ක් විතර වෙනවා. සාමාන්‍යයෙන් පවුල් 500ක් විතර එහි ජීවත් වෙනවා. හැබැයි මේ කිසිම කෙනකුට බත්තලංගුණ්ඩුවේ ස්ථිර පදිංචිය හිමි නැහැ. ඒ කියන්නේ බත්තලංගුණ්ඩුව ලංකාවේ ඡන්දහිමි නාම ලේඛනයට අයත් ප්‍රදේශයක් නෙවෙයි. බත්තලංගුණ්ඩුවේ ජීවත් වෙන බහුතරය මීගමුවේ පදිංචිකරුවන්. ඔවුන් ඡන්දදායකයන් ලෙස ලියාපදිංචි වෙලා ඉන්නෙත් මීගමුව අවට. ඒ හින්දා බත්තලංගුණ්ඩුව සහ මීගමුව අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. හැබැයි මේ හින්දා බත්තලංගුණ්ඩුවේ ජනතාවට ලොකු අවාසියකුත් වෙලා තියෙනවා. භෞමික වශයෙන් බත්තලංගුණ්ඩුව අයිති කල්පිටියට. ඒ කියන්නේ වයඹ පළාතට. හැබැයි එහි ජීවත් වන ජනතාව අයිති වෙන්නේ බස්නාහිර පළාතට. මේ හේතුව හින්දා වයඹ පළාතේ දේශපාලනඥයෝ බත්තලංගුණ්ඩුවට මොකුත් කරන්නේ නැහැ. බස්නාහිර පළාතේ දේශපාලනඥයන්ට එහෙ ගිහින් වැඩ කරන්න විදියක් නැහැ. ඒ හින්දා අදටත් බත්තලංගුණ්ඩුවේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා පවා ඉතාම අවම මට්ටමකයි තියෙන්නේ. දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය මැදිහත් වීම අවම හින්දම බත්තලංගුණ්ඩුවේ මිනිස්සු තමන්ට ආවේණික පාලන රටාවකට හුරු වෙලා තියෙනවා. දූපතේ ධීවර සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා තමයි ජනතාව සම්බන්ධ තීන්දු තීරණ බොහොමයක් ගන්නේ. ජනතාවගෙන් ඒකට විරෝධත්වයකුත් නැහැ.

බත්තලංගුණ්ඩුවේ මිනිස්සුම කියන විදියට තමන්ගේ ජනාධිපති සහ අගමැති තමයි ධීවර සමිතියේ සභාපති සහ ලේකම්.
බත්තලංගුණ්ඩුව සහ පල්ලියවත්ත නමින් දූපත කොටස් දෙකකින් යුක්ත බව කලින් කිව්වනේ. ඒ විතරක් නෙවෙයි බත්තලංගුණ්ඩුව කියන කොටසත් ජනතාව විසින් කත්තරපල්ලිය, මූක්කම සහ ශින්නගුණ්ඩුව කියන නමින් කලාප තුනකට බෙදලා තියෙනවා. හැබැයි මේ සියලු ජනතාව ජීවත් වෙන්නේ බත්තලංගුණ්ඩුවේ නැඟෙනහිර පැත්තේ විතරයි. දූපතේ බටහිර පැත්ත සම්පූර්ණයෙන්ම ජනශූන්‍යයි. දූපතේ ජනතාව එක්ක කතාබහ කරමින් ධීවර කටයුතු විමසමින් දූපතේ බටහිර පැත්ත දිගේ පල්ලියවත්තට ගමන් කරන්න තමයි අපි තීරණය කළේ. ඒ ධීවර නිවාස ඉදි වෙලා තියෙන්නේ එකකට එකක් බොහොම ආසන්නයේ. ඒ අතරමඟ ඉදිවූ කුඩා කඩ කිහිපයක් සහ තවත් පල්ලියකුත් අපිට දකින්න හම්බ වුණා. දූපතේ බොහෝ දෙනකු වැඩිපුරම කරන්නේ කරවල වේළීම. බත්තලංගුණ්ඩුවේ ධීවර නිවාස පෙළ ඉවර වෙන්නේ වැලිවැටිය ආසන්නයෙන්. එතැනි ඉඳන් පල්ලියවත්තට යනකම් අතරමඟ කවුරුවත් නැහැ. ඇත්තටම මේ පල්ලියවත්තට පයින් යන එකත් එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒක කරන්න බැරි වැඩක් විදියට තමයි ඒ ගැන ඇහුව ගොඩ දෙනෙක් අපිට ප්‍රතිචාර දැක්වූවේ. ඒත් බෝට්ටුවකින් පල්ලියවත්තට යනවට වැඩිය පයින්ම යන එක තමයි හොඳ. අපේ ඒ තීරණය කොච්චර සුන්දර එකක්ද කියලා තේරුණේ ටිකක් දුර ගියාට පස්සේ. මේ සටහන ආරම්භයේදීම විස්තර කරලා තියෙන්නේ ඒ අත්දැකීම තමයි.
හිතේ මිම්මට කිව්වොත් බත්තලංගුණ්ඩුවේ ඉඳන් පල්ලියවත්තට දුර කිලෝමීටර් 2කට වැඩිය ඇති. මඟ දිගට නැවති නැවතී මේ දුර යන්න අපිට පැය දෙකකටත් වැඩිය ගියා. මේ සුන්දරත්වය විඳිමින් පල්ලියවත්තට ගියාට පස්සේ දකින්න ලැබුණු දර්ශනය නම් හරිම කනගාටුදායකයි. අද වෙද්දී පල්ලියවත්ත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම මුහුදු ඛාදනයට ලක් වෙලා. ඒත් ඒක වසර ගණනාවක ඉඳන් සිද්ධ වෙන ස්වාභාවික මුහුදු ඛාදනය නම් නෙවෙයි. මොනයම් හෝ පාරිසරික වෙනස්වීමක් හින්දා වසර කිහිපයක් ඇතුළත සිද්ධ වුණු අස්වාභාවික ඛාදනයක් කියන එක පැහැදිලිවම පේන්න තියෙනවා. පල්ලියවත්තට බෝට්ටු ගොඩ බෑම සඳහා ඉදිකළ ජැටිය අද තියෙන්නේ මුහුද මැද්දේ. කණු කිහිපයක් විතරක් පේන්න තියෙන ඒ ජැටියට අද ගොඩබිම ඉඳන් තියෙන දුර හිතාගන්නත් බැරි තරම්. පල්ලියවත්තේ තිබුණු බොහොමයක් පැල්පත් අද වෙද්දී වහල මට්ටමට වැලිවලින් වැහිලා. ඒ ඛාදනය ඒ තරම්ම දරුණුයි. ඒ හින්දා අද පල්ලියවත්තේ ජීවත් වෙන්නේ ඉතාම සීමිත පවුල් ගණනක් විතරයි. හැබැයි පල්ලියවත්තට ඒ නම ලැබුණු පල්ලිය නම් අදටත් කිසිම කරදරයකින් තොරව බොහොම විරාජමානව බැබළෙනවා. මුහුද අයිනටම වෙන්න මනස්කාන්ත පරිසරයක ඉදි කරලා තියෙන පල්ලිය බොහොම දියුණු මට්ටමක තියෙනවා. මේ පල්ලියේ වාර්ෂික මංගල්ලයට බත්තලංගුණ්ඩුවේ ජනතාව පමණක් නෙවෙයි මීගමුව හලාවත අවට ජනතාවත් පැමිණෙන බව තමයි අපිට දැන ගන්න ලැබුණේ.

පල්ලියවත්ත බලාගෙන ආපහු අපි බත්තලංගුණ්ඩුවට එද්දී කළුවර වැටෙන්න පටන් අරගෙන. ඇනීටා අම්මගේ නිවස ආසන්නේ ඉදි කරලා තියෙන තාවකාලික නවාතැනේ රාත්‍රිය ගත කරන්න අවස්ථාව තිබුණත්, මුහුද අයිනේ ඉදිකෙරුව කූඩාරමක රැය ගත කරන්න තමයි අපි තීරණය කළේ. ටික වෙලාවක් මුහුදේ නාලා තෙත පිටින්ම ඇනීටා අම්මගේ ගෙදරට ගිහින් ගේ පිටිපස්සේ තිබුණු පුංචි ළිඳෙන් නාගෙන ආපහු මුහුදු වෙරළට ගියේ කූඩාරම අටවගන්න. සාමාන්‍යයෙන් බත්තලංගුණ්ඩුවට එන සංචාරකයන් විසින් කූඩාරම් ඉදි කරන්න වෙනම ප්‍රදේශයක් වෙන් කර ගෙන තියෙනවා. මුහුද ආසන්නයේද තරමක් ගස් කොළංවලින් යුතු ඒ ප්‍රදේශය තමයි දූපතේ කූඩාරම් ඉදි කරන්න සුදුසු හොඳම සහ එකම තැන. ඒත් අපිට ඕන වුණේ එතැනිනුත් ඈතට ගිහින් මුහුදු වෙරළ අයිනෙම කූඩාරම ඉදි කරන්න. මොකද රාත්‍රියට ලයිට් එළි නැති, සද්ද බද්ද නැති කාත් කවුරුවත් නැති ඒ වගේ මුහුදු වෙරළක රැයක් ගත කරනවා කියන එක සංචාරයට කැමැති හැමෝගෙම සිහිනයක්. අපිටත් ඕනේ වුණේ ඒ සිහිනය ඉටු කර ගන්න.
ගොඩ හුළං මැද බොහොම අමාරුවෙන් කූඩාරම ඉදි කර ගෙන එක්කෙනෙක් එතැන නවත්තලා ආපහු පාර හොයාගෙන ඇනීටා අම්මගේ ගෙදරට ගිහින් රෑ කෑමත් අරගෙන කූඩාරමේ එළිය දිහා බලාගෙන ආපහු ආව ඒ ගමනත් අමතක නොවන එකක්. ඒ වගේම බත්තලංගුණ්ඩුවේ ගෙවුණු ඒ රාත්‍රියත් ජීවිතේ අමතක නොවන සුන්දර අත්දැකීම්වලින් එකක්.
බත්තලංගුණ්ඩුව කියන්නේ තනිකරම වැලි පොළොවක්. ඒ හින්දා ඒ දූපතේ මිනිස්සු මුහුණ දෙන ප්‍රධානම ප්රශ්නය තමයි පානීය ජලය සපයා ගන්න එක. මුහුදින් ටිකක් ඈතට වෙන්න හාරා ගත් වළවල්වලින් තමයි ඔවුන් ඒ සඳහා අවශ්‍ය ජලය ලබා ගන්නේ. උදේ පාන්දර එන කාන්තාවන් වැලි පොළොවේ හාරන වළවල්වලින් ජලය පෙරා ගෙන ඒවා බැරල් කිහිපයකට පෙරා ගන්නවා. ඊට පස්සේ ඒ වළවල් නැවත වසා දමනවා. ඒ විදියට පුරවා ගත්ත බැරල් දූපතේ තියෙන එකම ප්‍රවාහන ක්‍රමය වෙන ගොන් කරත්තයක් මඟින් නිවෙස්වලට ප්‍රවාහනය කරලා දෙනවා. ඒ සඳහා එක් බැරලයකට අය කරන මුදල රුපියල් 60ක්. කොහොම වුණත් එහෙම ගන්න වතුර පොඞ්ඩක්වත් කිවුල් රහක් හෝ නොමැති වීමත් විශේෂයි. ඒත් පිරිසිදු වතුරට වඩා පැහැයෙන් නම් තරමක් වෙනස්. හැබැයි ඇනීටා අම්ම නම් කියන්නේ මේ ලෝකේ හොඳම වතුර තියෙන්නේ බත්තලංගුණ්ඩුවේ කියලයි. බත්තලංගුණ්ඩුවේ හිටිය කාල සීමාව පුරාම අපි බිව්වෙත් ඒ වතුරම තමයි. ඒත් ඒ වතුර ලෝකේ හොඳම වතුර වෙන්නේ වහින කාලයට විතරයි. දැඩි පෑවිල්ල ආවම ඒ වතුර බොන්න බැරි තරමට රස වෙනස් වෙනවලු. ඒ කාලයට බත්තලංගුණ්ඩුවේ මිනිසුන්ට තියෙන එකම පිහිට කල්පිටියෙන් බෝතල් කළ වතුර ගේන එක විතරයි. ඒක ඉතාම වියදම් අධික වැඩක්. බත්තලංගුණ්ඩුවේ විදුලි බලය තියෙන්නේ හවස 06 ඉඳන් රෑ 10 වෙනකම් විතරයි. සාමාන්‍ය ප්‍රමාණයේ ජෙනරේටර් යන්ත්‍රවලින් තමයි ඒ විදුලිය ලබා දීම සිදු කරන්නේ. එක් යන්ත්‍රයකින් නිවාස කිහිපයක් සඳහා විදුලිය ලබා දීම සිදු කෙරෙනවා. ඒ සඳහා අය කෙරෙන මාසික ගාස්තුව රුපියල් 600ක්.

ඔය තමයි බත්තලංගුණ්ඩුවේ මතුපිටින් දකින්න තියෙන විස්තර. ඒත් මේ සුන්දර දිවයිනේ අපේ ඇස් රවටන ලස්සන යටින් තවත් බොහෝ භයානක කටයුතු රාශියක් සිද්ධ වෙනවා. මුළු දූපතේම ආරක්ෂාවට තියෙන්නේ පොලිස් භටයන් කිහිප දෙනකුගෙන් යුතු මුරපොළ සහ නාවුක භටයන් කිහිප දෙනකුගෙන් යුතු නාවුක හමුදා කඳවුර විතරයි. ඒ හින්දා රහසේ කරගෙන යන ඒ වැඩකටයුතු බොහොම ජයට කෙරීගෙන යනවා. නාවුක හමුදාවට දූපත වටා ගමන් කරන්න තියෙන්නේ බෝට්ටු. ඒත් පොලිස් නිලධාරීන්ට තමන්ගේ රාජකාරි කරන්න වෙන්නේ පයින් ගිහින් විතරයි. මේ දූපතේ ස්වභාවය හින්දා මෝටර් සයිකලයක්වත් ධාවනය කරන්න බැහැ. කලිනුත් කිව්වනේ මුළු දූපතටම තියෙන වාහන දෙක ගොන් කරත්ත දෙකක් විතරයි.
දැන ගන්න ලැබුණු තොරතුරු අනුව වර්තමානය වෙද්දී බත්තලංගුණ්ඩුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තිප්පොළක්. ඊට අමතරව ඉන්දියාව සමඟ සිදු කෙරෙන නීති විරෝධී රත්තරන් වෙළෙඳාමත් මේ දූපත සම්බන්ධ කර ගෙන ක්‍රියාත්මක වෙනවා. අද වෙද්දී බත්තලංගුණ්ඩුවෙන් ලෝකයේ තියෙන ඕනම නීති විරෝධී මත්ද්‍රව්‍යයක් හොයා ගන්න පුළුවන්. දූපත ඇතුළේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයන් ඉඳ හිට අත්අඩංගුවට පත් වුණත්, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවන් අත්අඩංගුවට පත් වීම බොහොම විරල දෙයක්.
දෙවියන් පිළිබඳ දැඩි භක්තියකින් ජීවත් වෙන බත්තලංගුණ්ඩුවේ සාම්ප්‍රාදායික පදිංචිකරුවන් මේ දේවල්වලට දැඩි සේ විරුද්ධයි. දූපතේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විදියට සැලකෙන ධීවර සමිතියේ නිලධාරීන් පවා මේ දේවල් වළක්වන්න දැඩි උත්සාහයක් ගන්නවා. ඒත් බත්තලංගුණ්ඩුව කියන්නේ ඕනම කෙනකුට ගිහින් ඉන්න පුළුවන් තැනක්. ඒ හින්දා දූපත ඇතුළේ ඉන්නේ කවුද කියලා දූපත්වාසීන්ටවත් හරි දැනීමක් නැහැ. ඒ හින්දා මේ ජාවාරම් නවත්තන එක එච්චර ලේසි පාසුත් නැහැ. බත්තලංගුණ්ඩුවේ සංචාරය කරනවා නම් ගිය ගමන් පොලිසිය දැනුවත් කරන්න කියලා මුලින්ම මතක් කළෙත් ඒ හේතුව හින්දමයි.
බත්තලංගුණ්ඩුවෙන් ආපහු එන බෝට්ටුව තියෙන්නේ හවස 1.30ට. උදේ කල්පිටියෙන් එන බෝට්ටුවම තමයි ආපහු යන්නෙත්. ඒ බෝට්ටුව කල්පිටියට එද්දී මීගමුව බස් එක වරාය අයිනේ නවත්තගෙන ඉන්නවා. මොකද බත්තලංගුණ්ඩුවෙන් එන ගොඩ දෙනෙක් යන්නේ මීගමුවට. ඒ බස් එක මිනිසුන්ගෙන් විතරක් නෙවෙයි බඩු මුට්ටුවලිනුත් පිරිලා ඉතිරිලා යනවා.
ඇවිදින්න ආස කෙනෙක් නම් බත්තලංගුණ්ඩුව කියන්නේ ජීවිතේ එක පාරක් හරි ගිහින් එන්න ඕන තැනක්. ඒ වගේම බත්තලංගුණ්ඩුවේ රැයක් ගත කරන එකත් ජීවිතේ ලබන්න පුළුවන් අමතක නොවන අත්දැකීම්වලින් එකක්. කවුරුහරි බත්තලංගුණ්ඩුවේ යන්න හිතා ගෙන ඉන්නවා නම් ඒ එන අය වෙනුවෙන් කෑම බීම ලැහැස්ති කරලා දෙන්න ඇනීටා අම්මා සූදානම්. කූඩාරමක ඉන්න අකැමැති නම් ඇනීටා අම්ම හදලා තියෙන නවාතැනේ රාත්‍රිය ගත කරන්නත් පුළුවන්. 0770600714 මේ තමයි ඇනීටා අම්මගේ දුරකතන අංකය. යන්න දවස් දෙක තුනකට කලින්වත් කතා කරලා විස්තර අහගන්න. දැන ගත්තේ පත්තරෙන් කියලා කිව්වම ඇනීටා අම්මා අපිට වගේම ඕගොල්ලන්ටත් හොඳට සලකාවි.
චන්දන පොන්නම්පෙරුම











