මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණ ඇත්තේ මූලික එකගතාවක් පමණක් බවත්, අවම වශයෙන් එය කාර්ය මණ්ඩල ගිවිසුමක්වත් නොවන බවත් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු මෙන්ම ආර්ථික විශ්ලේෂකයකු වන ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.
කාර්ය මණ්ඩල ගිවිසුම පවා අස්සන් කරනුයේ මෙම ගිවිසුමට අස්සන් කිරීමෙන් පසුව බවද ඒ මහතා සදහන් කොට තිබේ.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ මූලික එකඟතාවකට පැමිණ ඇත්තේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සහ වේගවත් මූල්‍ය පහසුකමත් (RFI) සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට යාමට පෙර අවස්ථාවකට පමණක් බව ඒ මහතා ප්‍රකාශ කොට ඇත.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදිසි ණයක් සම්බන්ධයෙන් මූලික එකඟතාවකට පැමිණ ඇති අතර, ඒ සම්බන්ධයෙන් විධිමත් නිවේදනයක් අද (1) නිකුත් කිරීමට නියමිත බව මූලාශ්‍ර හතරක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඊයේ වාර්තා කළේය.
ඊට පිළිතුරු දෙමින් විජේවර්ධන මහතා කියා සිටියේ ‘“මූල්‍ය අරමුදල රොයිටර් වාර්තාව තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නැත. එය ඇත්තද නැත්තද යන්න අපි නොදනිමු. නමුත් මූලික අදහස් වන්නේ අපට තවදුරටත් උපදේශන පැවැත්විය යුතු බවයි. මෙය අවසන් ගිවිසුම නොවේ,” යැයි කියාය.
එම රොයිටර් වාර්තාවෙන් පසුව, IMF ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer සහ ශ්‍රී ලංකාව සඳහා IMF දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බලධාරීන් සමඟ තවමත් සාකච්ඡා පැවැත්වෙන බැවින් IMF කොළඹ දූත මණ්ඩලය එහි රැඳී සිටීම එක් දිනකින් දීර්ඝ කර ඇති බවයි. එම මෙහෙයුම අවසන් කර අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර තිබුණේ.
ආචාර්ය විජේවර්ධන පැවසුවේ මූලික ගිවිසුමක් යනු ශ්‍රී ලංකාව කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීම සඳහා මූල්‍ය අරමුදල සමඟ තවදුරටත් උපදේශන පැවැත්විය යුතු බවට තහවුරු කෙරෙන එකක් බවකි.
දෙපාර්ශවයට අවසන් තීරණයකට එළැඹීමට නොහැකි වීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ රැඳී සිටීම තවත් දිනකින් දීර්ඝ කළ බව ඔහු පැවසීය.










