මිහිදුම් තීරුවෙන් හරිත පැහැයක් බලාපොරොත්තු වූ වනය වසා ගෙන ඇත. ධවල වලාවන් අතුරින් යන්තමට පෙනෙන මැටි පාර දිගේ සෆාරි රථය ඉදිරියට ඇදෙමින් පවතී. රන්පැහැයක් එක්කරමින් හිරු රැස් මීදුම් කපා හෙළන්නට වෙර දරයි. සිසාරා හමායන සිහින් සුළං ගත හිරිවට්ටනාසුලුය. උදෑසන හය කණිසම පසුවී ඇතත් වනාන්තරය තුළ රාත්‍රියක ගුප්ත බව දැනෙන්නේ හාත්පස සිසාරා පවතින මඳ අඳුරු බව හේතුවෙනි. පෙරදින රාත්‍රියේ ළහිරුත්, චතුරත්, ශ්‍රීමාලි හා මමත් කොළඹ සිට පැමිණ ආරම්භ කළ ගමනට අතරමඟදී එක්වූ සුමේධත්, චමරිත් සෆාරි ගමනට එකතු වූ අපගේ මිතුරිය නවෝදාද සමඟ අප සත්දෙනා මේ ගමන් කරන්නේ දෙස් විදෙස් දැඩි සංචාරක ආකර්ෂණයට ලක්වූ උඩවලව ජාතික වනෝද්‍යානයේ නැරඹුම් චාරිකාවකටයි.
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයටත්, ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයටත් අයත්ව වලවේ ගඟ හරස්කොට ඉදිවුණු උඩවලව ජලාශය මැදිකරගනිමින් උඩවලව ජාතික වනෝද්‍යානය පිහිටයි. ජලාශය ඉදිකිරීම නිසා අසරණ වූ සතුන්ට රැකවරණය හා මානව කටයුතු සඳහා අත්‍යාවශ්‍ය ජලාධාරක ප්‍රදේශ රැකගැනීම උදෙසා හෙක්ටයාර 39,821ක් පුරා ව්‍යාප්තව පවතිනා පරිදි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වර්ෂ 1972 ජුනි 30 දින උඩවලව වනෝද්‍යානය පිහිටුවන ලදී. පිහිටුවීමට පෙර හේන් ගොවිතැන් කරමින් සිටි ගොවීන් භූමියෙන් ඉවත් කිරීම සිදුකෙරිණි.

කොළඹ සිට කිලෝමීටර 165ක දුරින් පිහිටි අලි ඇතුන්ගේ හා ජලජ ජීවීන්ගේ තෝතැන්නක් වන උඩවලව සංචාරකයන්ගේ ජනප්‍රිය නැවතුම්පළකි. දිවයිනේ තෙවැනියට සංචාරකයන් පැමිණෙන වනෝද්‍යානය මෙයයි. ජලාශය අවට වගුරුබිම්, තණබිම් සහ වනාන්තරය සිය නිජබිම කරගත් ශාක විශේෂ 94ක්, මත්ස්‍ය විශේෂ 21ක්, උභය විශේෂ 12ක්, උරග විශේෂ 33ක්, පක්ෂි විශේෂ 184ක් (සංක්‍රමණික විශේෂ 33ක්ද ඇතුළත්ව), ක්ෂිරපායි විශේෂ 43ක් හා සමනලුන් විශේෂ 135ක් ආදී වශයෙන් නිරීක්ෂණය කළ හැක. වලවේ ගඟ හා මව් ආර මේ හරහා ගලා බසී. සත්ත්ව ප්‍රජාවන් අතරේ වන අලින්ට ප්‍රමුඛස්ථානයක් උඩවලවේ පවතී. 500කට අධික වන අලිගහනයක් දැකගත හැකි වනයේ, ප්‍රවේණික සංකූලතාවක් හේතුවෙන් ඇතිවූ ලෝප්‍රකට කුරු අලියකු හා ඇතින්නකද දැකගත හැක.
වර්ෂ 1963 ඉදිකරන ලද ලංකාවේ තෙවැනි විශාලතම ජලාශය වන උඩවලව ජලාශය ඉදිවීම උඩවලව, ඇඹිලිපිටිය, හම්බන්තොට ආශ්‍රිතව ජනාවාසකරණයට හේතුවිණි. ජලාශය සතුව විදුලි බලාගාර දෙකක් පවතින අතර ජාතික විදුලිබල පද්ධතියේ ධාරිතාවට එක්ව ඇත. උඩවලව ඇත් අතුරු සෙවණ, සංඛපාල විහාරය මීට නුදුරින් පිහිටා තිබේ.
කොළඹ- ඇඹිලිපිටිය මාර්ගයේ කිලෝමීටර 165ක් පමණ පැමිණ තිබොල්කැටිය උඩවලව හංදියෙන් හැරී මොනරාගල පාරේ ගමන් කිරීමේදී කිලෝමීටර 5ක දුරකින් උඩවලව වනෝද්‍යාන පිවිසුමට ළඟාවිය හැක. උඩවලව වැව් බැම්ම මතින් සිදුවන ගමන නෙතට මෙන්ම සිතටද රසඳුනකි. එසේ ගමන් කිරීමේදී විදුලි වැටට එපිටින් ජලාශය ඉහත්තාවේ අලින් සැරිසරමින් සිටීම සුලබ දසුනකි.
වන පිවිසුමේ කාර්යාලයෙන් මාර්ගෝපදේශකයකු සහායට ගෙන, ටිකට්පත් ගාස්තු ගෙවා ඇතුළුවිය යුතුය. වනසංරක්ෂණ දෙපාර්තමේන්තු නිතීරීතිවලට අනුගත වීමට සංචාරකයන් මෙහිදී සැලකිලිමත් විය යුතුය. කාර්යාලයෙන් උඩවලව වනෝද්‍යානය පිළිබඳව වැඩිදුර තොරතුරු හා දැනුම ලබාගත හැක. කල්තොට කඳුවැටිය, දියවිනි ඇල්ල උද්‍යානයේ උතුරින් පිහිටන අතර, ඒත් සමඟම රෙමිනිකෙත හා බඹරගල පිහිටයි. වම්පසින් වලවේ ගඟටත්, දකුණු පසින් මව් ආරටත්, මැදිව අතරමැදි ගල් අමුණ වැනි කුඩා වැව්වලටත් උරුමකම් කියන වනෝද්‍යානයට අතරමැදි වියළි කාලගුණික දේශගුණයක් පවතී. මෝසම් වර්ෂා මගින් ඔක්තෝබර් සිට ජනවාරි දක්වාත්, මාර්තු සිට මැයි දක්වාත් වර්ෂාව ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1,500ක් පමණ අගයක් ගනී. උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 32ක් පමණ වන කලාපයේ සාපේක්ෂ ආර්ද්‍රතාව 70%-82% අගයන්හි පවතී.

වනෝද්‍යානයට සමීපව වර්ෂ 1995දී පිහිටුවන ලද උඩවලව ඇත් අතුරු සෙවණ අලින් ඇතුන් සංරක්ෂණය කිරීමේලා සුවිශේෂ කර්තව්‍යයක් සිදුකරනු ලබයි. ප්‍රධාන වශයෙන් අලින් හා මීහරකුන්, වල් ඌරා, තිත්මුවා, ගෝනමුවා, නරියා, මුගටියා, ඌරුමීයා, හඳුන් දිවියා, කැලෑ පූසන් සිව්පාවුන් ලෙස දැක ගත හැක. ඉඳහිට දක්නට හමුවන දිවියන් ගහනයක්ද උඩවලව තුළ සැරිසරයි. උදෑසන හා සවස් කාලයේ අලින්, තනිඅලියන්, තුන් පත් රෑන් හා රංචු වශයෙන් සුලබව දැකිය හැක. පක්ෂීන් ජායාරූපකරණයේ නමගිය ඉසව්වක් වන උඩවලව වලිකුකුළා, හබන් කුකුලා, බටගොයා, දියකාවා, මහනීලගොයා, සුදුරෙදි හොරා, මුහුදු ලිහිණියා, රාජාලියන්, සමනලුන් විශේෂවල තෝතැන්නකි. ශාක විවිධත්වය සැලකීමේදී, ජලාශ්‍රිත කුඹුක්ද, බුරුත, තේක්ක, කැටකැරැල්ල, කුණුමැල්ල, කිරිකෝන් ගහනය ඉහළ වේ. තෘණබිම් ලෙසින් ගිනිතණ, දමිණිය ව්‍යාප්තව පවතී. ගඳපාන, මරං ආක්‍රමණික ශාක ලෙස පවතී. කටුස්සන්, කිඹුලන්, කබරයන් ඇතුළු සර්ප විශේෂයන් පාරිසරික සමතුලිතතාවයට උපකාරී වී ඇත.
වනෝද්‍යානය තුළ සංචාරක බංගලා හා කඳවුරු බිම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය මත වෙන්කරවා ගත හැක. සීනුග්ගල, තිඹිරිගස්මංකඩ, වෙහෙරගොල්ල, ගෝනවිද්දගල සංචාරක බංගලා පවතී. කඳවුරු බිම් ලෙස වෙහෙරමංකඩ හා පුන්දසාර යොදා ගත හැක. වලවේ ගඟ අසබඩ පුන්දසාර කඳවුරු බිම වෙනස්ම වූ ආකර්ෂණීය අත්දැකීමක් සංචාරකයන්ට ලබාදේ. විදේශිකයන්ගේ අනිවාර්ය නැවතුම් පළක් වීම නිසා සංචාරක කර්මාන්තයට ලැබෙන ආදායමට උඩවලව විශාල දායකත්වයක් සපයා ඇත. සෆාරි ජීප් හා මාර්ගෝපදේශනයෙන් ප්‍රදේශයේ විශාල පිරිසක් ආදායම් සපයා ගනී.
පැය 5ක පමණ වින්දනීය කාලයක් වනය හා සතුන් අතර ගත කළ අප මතක ගොන්නක් එක්කරගනිමින්, උඩවලවේ කඳවුරු රැයකට නැවත දිනක පැමිණෙන බලාපොරොත්තුවෙන් ගමන අවසන් කළෙමු. ගමනේදී පරිසර දූෂණයෙන් වැළැකී, වනජීවීන්ට අහිතකර තත්වයන් ඇතිනොවන පරිදි ගමන් කිරීමට වගබලා ගන්න.
අකිල දහනායක











