ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් කිරීමට ඇප කැපවූ බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව වූයේ එතුමා යටතේ මෙරට නව දේශපාලන සංස්කෘතියක් සහ ආර්ථික පිබිදීමක් ඇති වනු දැකීමය. ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් බොහෝ තීරණයන් ජනතාව අතර දැඩි ප්‍රසාදයකට ලක් වූයේද ඒ නිසාය. ජනාධිපතිවරයා ලෙස පෞද්ගලිකව ගත් තීරණ මෙන්ම රජයට අදාළව ගත් තීන්දු තීරණ කිහිපයක්ම ඒ ආකාරයෙන් ජනතාව අතර දැඩි ප්‍රසාදයට ලක් විය. ඒ අතර ඉදිරියෙන්ම වූ එක් තීරණයක් වූයේ රජයේ ප්‍රධාන ආයතන සඳහා දේශපාලනයට සම්බන්ධ පිරිස් පත් කිරීම වැළැක්වීමට ගත් තීරණයය. දේශපාලනඥයන් වෙනුවට මේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්, විද්වතුන් සහ වෘත්තීයවේදීන් ඒ සඳහා යෙදවීම ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව බව දැන ගන්නට ඇත.
ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයන් දෙදෙනකු වන ධම්මික පෙරේරා සහ අශෝක් පතිරගේ මහතාගේ නමද එලෙස ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයන්හි සභාපති ධුරය සඳහා තෝරා ගෙන ඇති බවට ආරංචි පැතිර යමින් ඇත. ධම්මික පෙරේරා මහතා මීට පෙරද රජය සමඟ සමීපව කටයුතු කර ඇති අතර තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන හැරී ජයවර්ධන මහතාද පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළේය.
අනාවරණය වන අන්දමට අශෝක් පතිරගේ මහතා පත් කිරීමට සූදානම් වන්නේද ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපති ලෙසින්ය. ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයකු වූ හැරී ජයවර්ධන මහතාද මීට පෙර ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර අශෝක් පතිරගේ මහතාගේ නව තනතුර පිළිබඳව මේ වන විට බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇත.
දකුණු ලක ගාල්ලේ උපත ලද අශෝක් පතිරගේ මහතා Softlogic Holdings (Pvt) Ltd. අරඹමින් ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1991 වසරේදීය. තම පළමු රැකියාව වූ ජෝන් කීල්ස් ආයතනයේ වසර 9ක සේවය නිමා කරමින් ජීවිතයේ අලුත් පියවරක් තැබූ පතිරගේ මහතා තම ප්‍රියතම ක්ෂේත්‍රය වූ පරිගණක තාක්ෂණය සමඟ සම්බන්ධ වෙමින් සොෆ්ට්ලොජික් සමාගම ආරම්භ කර ඇත. පතිරගේ මහතාම ප්‍රකාශ කර ඇති පරිදි ඒ සඳහා එකල වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 10ක් වන අතර ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ සේවකයන් 12 දෙනකුගෙන් යුතුවය. එලෙස ආරම්භ කළ ව්‍යාපාරය අද වන විට සමාගම් 15කින් යුක්ත වන අතර සමස්ත සේවක සංඛ්‍යාව 700කට අධිකය. මේ වන විට ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, පාකිස්තානය සහ ඕස්ටේ්‍රලියාව යන රටවල සොෆ්ට්ලොජික් සමාගම් ජාලය පැතිර ඇත. එමෙන්ම සමාගම් ජාලය සතු වත්කම් ප්‍රමාණය බිලියන 07කට අධික බව සඳහන්ය.

කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවකු වන පතිරගේ මහතා පාසල් කාලය තුළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසින්ද කැපී පෙනුණු අතර පාසල් අධ්‍යාපනය නිමවීමෙන් පසු ව්‍යාපාර කළමනාකාර සහායකයකු ලෙස ජෝන් කීල්ස් ආයතනය සමඟ එක්ව ඇත්තේ 1983 වසරේදීය. “ලංකාවේ පරිගණක තාක්ෂණය හා සම්බන්ධ සමාගමක ලොකු අඩුවක් තියෙන බව ජෝන් කීල්ස් ආයතනයේ සේවය කරන කාලයේදී මට තේරුම් ගියා. අනිත් එක පාසල් කාලේ ඉඳන්ම ගණිතය තමයි මගේ ආසම විෂය. ඒ හා සම්බන්ධ පරිගණක තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්නත් මට කැමැත්තක් තිබුණා. ඒ වෙනුවෙන් තමයි සොෆ්ට්ලොජික් සමාගම ඇරඹෙන්නේ.” පතිරගේ මහතා තම අතීතය සම්බන්ධව පවසන්නේ එසේය.

මෘදුකාංග සංවර්ධන සමාගමක් ලෙස 1991 දී ඇරඹි සොෆ්ට්ලොජික් සමාගම සාර්ථකව ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉදිරියට යමින් ශ්‍රී ලංකාව තුළ ඩෙල් බෙදාහැරීමේ බලයලත් ආයතනය බවට පත් විය. අනතුරුව ඩයලොග් ඇක්සියාටා සමඟ හවුල්කාරිත්වයක් ඇතිව ආයතනික හා තනි ඩයලොග් ජීඑස්එම් පැකේජ ලබා දීම සොෆ්ට්ලොජික් සමාගම විසින් ආරම්භ කර ඇත. ජංගම සන්නිවේදනයේ විභවය අවබෝධ කරගත් පතිරගේ මහතා 2000 වසරේදී භදනස් හි ජාතික අලෙවි නියෝජිත ආයතනය අත්පත් කර ගත්තේය. මේ ආකාරයෙන් ටිකෙන් ටික ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික බලය තහවුරු කළ සොෆ්ට්ලොජික් ආයතනය 2006 සහ 2009 අතර ආක්‍රමණශීලී වර්ධනයක් කරා ගමන් කළේය. ඒ අතර ඔවුන් යුනි වෝකර්ස් (පුද්ගලික) සමාගම තම හිමිකාරිත්වය යටතට පවරා ගත් අතර දිවයින පුරා ගෘහ භාණ්ඩ වෙළෙඳසල් සහ ප්‍රදර්ශනාගාර විවෘත කළේය. පැනසොනික්, සැම්සුන්, නොකියා, ඩෙල්, ඇපල්, කැන්ඩි, රසල් හොබ්ස්, කෙල්විනේටර් යන සමාගම්වල බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන්නේද සොෆ්ට්ලොජික් සමාගමය. 2009 දී ජීන්ස්වෙයාර් සන්නාමය වන “ලෙවිස්” සඳහා බලයලත් බෙදාහරින්නාගේ තත්ත්වය හිමි කර ගනිමින් ඇඟළුම් කර්මාන්තය තුළ තම අණසක පැතිරවීමට සොෆ්ට්ලොජික් සමාගමට හැකි විය.

සංචාරක කර්මාන්තය වෙත ඊළඟට අවතීර්ණ වූ සොෆ්ට්ලොජික් සීසැන්ඞ්ස් හෝටල් සහ නිකේතන අත්පත් කර ගෙන අලුත්වැඩියා කිරීමට කටයුතු කළේය. අනතුරුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින් මෙරට අංක එකේ පෞද්ගලික රෝහල් ජාලය ලෙස සැලකෙන ආසිරි රෝහල් ජාලය අයිති කර ගත් සොෆ්ට්ලොජික් සමාගම, ශ්‍රී ලංකාවේ අංක එකේ ඇඟළුම් ව්‍යාපාරයක් වූ ඔඩෙල් ආයතනයද තමන් සතු කර ගැනීමට සමත් විය.
කොළඹ නගරයට ආසන්නව පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් ලෙසින් තට්ටු 24කින් යුක්තව මූවන් පික් හෝටලය ඉදි කිරීමට සොෆ්ට්ලොජික් සමාගම කටයුතු කරන්නේ ඉන් අනතුරුවය.

සොෆ්ට්ලොජික් සමාගම් ව්‍යාපාර ජාලය මේ වන විට සියලුම ක්ෂේත්‍රයන් කරා පැතිර ගොස් ඇත. Asiri Central Hospital, Asiri Surgical Hospital, Asiri Medical Hospital, Asiri Hospital Matara iy Asiri Laboratorie සොෆ්ට්ලොජික් සමාගම සතු සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් ව්‍යාපාර ලෙස දැක්විය හැක. ඔවුන් සතු ආහාර පාන සහ ඇඟළුම් ව්‍යාපාර ලෙසGalleria, ODEL, Burger King Baskin Robbins ද, මූල්‍ය ව්‍යාපාර ලෙස Softlogic Finance PLC, Softlogic Life Insurance PLC, Softlogic Stockbrokers (Pvt) Ltd දැක්විය හැක. ඊට අමතරව පරිගණක මෘදුකාංග සහ ජංගම දුරකතන වෙළෙඳාම සමඟ සම්බන්ධ ව්‍යාපාර ලෙස Softlogic Informtion Technologies, Softlogic Computers, Softlogic Communications, Softlogic International, Office Automation, Softlogic Australia, Softlogic Mobile Distribution, Softlogic Automobiles සහ Future Automobile සොෆ්ට්ලොජික් සමාගම සතු අතර අනෙක් ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපාර ලෙස Abacus International Lanka, Centara Ceysands Resort & Spa සහ Movenpick City Hotel සඳහන් කළ හැක.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ පෙරළි රැසක් සිදු කළ පතිරගේ මහතා තම දියුණුවේ රහස පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ වැඩ කිරීම විනෝදාංශයක් බවට පත් කර ගැනීම ඒ සඳහා හේතු වූ බවය. වැඩිපුර වැඩ කිරීම සඳහා හොඳ නින්දක් අවශ්‍ය බව පවසන පතිරගේ මහතා ඒ හේතුවෙන් රාත්‍රී සාද සහ කොක්ටේල් තම ජීවිතයෙන් ඈත් කර ඇති බවද සඳහන් කර ඇත. දේශපාලනයට සම්බන්ධ වීමට කිසිදු අදහසක් නොමැති වුවත්, රජයේ ඉල්ලීමක් ලැබුණහොත් රට වෙනුවෙන් තම සේවය ලබා දීමට සූදානම් බව පතිරගේ මහතා කිහිප වරක්ම ප්‍රකාශ කර ඇත.
රට ගොඩනැඟීමට අවශ්‍ය වන්නේ මෙවැනි මිනිසුන් බවට විවාදයක් නැත. එබැවින් පැතිර යන ආරංචි සත්‍යය බවට හැරෙමින් අශෝක් පතිරගේ මහතා ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපති ධුරයට පත් වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් මඟ බලමින් ඇත. තමන්ටම ආවේණික රටාවකින් ව්‍යාපාර ලෝකය දිග් විජය කළ අශෝක් පතිරගේ මහතාට ශ්‍රී ලංකා ගුවන් සමාගම නඟා සිටුවීම එතරම් අසීරු කරුණක් නොවනු ඇත. එසේම අවස්ථාව ලැබුණහොත් රට වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට පතිරගේ මහතා කිසිවිටෙකත් නොපැකිළෙනු ඇතැයි යන්න සියලු දෙනාගේ විශ්වාසය වී ඇත.
චන්දන පොන්නම්පෙරුම











