ලංකාවෙ පිහිටලා තියෙන වනෝද්‍යාන අතරින් ඉතාම සුවිශේෂී එකක් තමයි ගල්ඔය ජාතික වනෝද්‍යානය. මහා ජලාශයක් හරහා බෝට්ටුවකින් ගිහින් වන සතුන් නරඹන්න අපට අවස්ථාව ලැබෙන්නෙ මේ වනෝද්‍යානයේ, සේනානායක සමුද්‍රයේදී. ඒක තරමක් විශේෂ අත්දැකීමක්. වාහනයකින් වන උද්‍යානයක ගිහිල්ලා සතුන් නරඹනවා කියන එක සංචාරයට හුරු පුරුදු අයට අමුතු අත්දැකීමක් නෙවෙයිනෙ. මේ වනෝද්‍යානයට ඇතුළු වෙන්න අවසර ගන්න වෙන්නෙ ඉඟිනියාගල පිහිටලා තියෙන ගල්ඔය වනෝද්‍යාන මූලස්ථාන කාර්යාලයෙන්. අම්පාරෙ ඉඳලා කිලෝ මීටර් 20ක් විතර දුරින් තමයි ඉඟිනියාගල පිහිටලා තියෙන්නෙ.
බෝට්ටු සවාරියට වැඩි පිරිසක් එන දවසක නම් බෝට්ටුවක් වෙන් කර ගැනීම තරමක් අපහසු වෙනවා. ඒ හින්දා ප්‍රධාන කාර්යාලයට දැනුම් දීලා කලින් වෙන් කර ගැනීමක් කරන්නත් පුළුවන්. සංචාරකයන් පැමිණීම අඩු දවසකදී ඒ වෙලාවෙම බෝට්ටු සවාරිය සංවිධානය කරගන්නත් පුළුවන්. ගල්ඔය වනෝද්‍යානය ඇතුළේ වාහනයකින් ගමන් කරලා වන සතුන් නරඹන්න අවසර ගන්න වෙන්නෙත් මේ කාර්යාලයෙන්. සියඹලාණ්ඩුව-අම්පාර පාරෙදි මුණගැහෙන වඩිනාගලින් හැරිලත් මෙතැනට එන්න පුළුවන්.

පරිපාලනමය වශයෙන් ගල්ඔය ජාතික වනෝද්‍යානයෙන් වැඩි ප්‍රමාණයක් අයිති වෙන්නෙ මොනරාගල දිස්ත්‍රික්කයට. අම්පාර දිස්ත්‍රික්කයටත් කොටසක් අයත් වෙනවා. 1954 අවුරුද්දෙදි ප්‍රකාශයට පත් කෙරුණු ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානයට අයිති මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 25,900ක් හැටියටයි කියැවෙන්නෙ. සේනානායක සමුද්‍රය සහිත අභය භූමියේ මූලික ජලාධාර ප්‍රදේශය
ලෙසට පවතින මේ වනෝද්‍යානයට වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නෙ ඊසානදිග මෝසමෙන්.
ඩී. එස්. සේනානායක මැතිතුමන්ගේ සංකල්පයක් මත ආරම්භ කෙරුණු ගල්ඔය බහු කාර්ය ව්‍යාපාරයේ ප්‍රධානම අංගය තමයි ගල් ඔය හරස් කරලා ඉදිකරපු මේ මහා ජලාශය. මහා සාගරයක් වගේ විශාලව පෙනුණු හින්දා තමයි සේනානායක සමුද්‍රය කියලා හඳුන්වලා තියෙන්නෙ. ජලාශයේ පෝෂක ප්‍රදේශය විදියට වගේම මේ ව්‍යාපාරය යටතේ අවතැන් වුණු වන සතුන්ට ආරක්ෂාව සැලසීම තමයි උද්‍යානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නෙ. ගල් ඔයට අමතරව කුඩා කඳු, මිටියාවත්, නිම්න අතරින් ගලාගෙන එන දිය පාරවල් මේ මහා ජලාශයට එක් වෙනවා.
අපේ බෝට්ටු සවාරිය පටන් ගත්තෙ ඉඟිනියාගල, ගල්ඔය සංචාරක නිවාසය අසලින්. වනෝද්‍යාන මූලස්ථාන කාර්යාලය ළඟ ඉඳලා ජලාශයේ වැව් බැම්ම හරහා එතෙන්ට එන්න ඕනෑ. මඟ පෙන්වන්නන් දෙදෙනකුත් මේ ගමනට අපිත් එක්ක එකතු වුණා. උදේ අටට විතර තමයි ගමන පටන් ගත්තෙ. උදෑසන නම් 6ට විතරත් හවස වරුවේ නම් 3ට විතරත් ගමන පටන් ගැනීම වඩාත් හොඳ බවයි අපේ මාර්ගෝපදේශකයන් පැවසුවේ. ඒකට හේතු වෙන්නෙ මේ වෙලාවට වැවේ දූපත්වල වගේම වැව් පිට්ටනියේ සත්තු වැඩි වශයෙන් දැකගන්න ලැබීම. ඒ වගේම ඉර අව්වත් තදින් දැනෙන්නෙ නැති හින්දා සංචාරය අපහසු වෙන්නෙත් නැහැ. කොහොමත් බෝට්ටු සවාරියට පැය තුනක්වත් ගතවෙනවා. යන පිරිස අනුව තෝර ගන්න පුළුවන් එක එක ච්ජන්ටැ තියෙනවා. ගල්ඔය ජාතික වනෝද්‍යාන කාර්යාලයේ 0632242002 දුරකතන අංකයට කතා කරලා වැඩි විස්තර දැනගෙන යනවනම් වඩාත් හොඳයි.

කාලවකවානු හැටියට ගත්තොත් ජලාශයේ වතුරත් හොඳ මට්ටමක පවතින මාර්තු මාසෙ ඉඳලා ජූලි මාසය දක්වා කාලය තමයි බෝට්ටු සවාරියට වඩාත් සුදුසු විදියට සැලකෙන්නෙ. ජූලි මාසෙන් විතර පස්සෙ වතුර මට්ටම ගොඩක් පහළ බහිනවා. වතුර මට්ටම ගොඩක්ම වැඩි කාලෙටයි අඩු කාලෙටයි බෝට්ටු සවාරියෙන් ඒ තරම් ප්‍රයෝජනයක් නැහැ. හැබැයි කාලගුණයේ වෙනස්වීම් අනුව මේ තත්වය වෙනස් වෙන්න පුළුවන්.
ගමන පටන් අරන් ටික දුරක් යද්දී ජලාශය මැද තියෙන කුඩා දූපත් සමූහයක්ම දැකගන්න ලැබෙනවා. ඒ හැම දූපතක්ම වාගෙ කුරුල්ලන්ගෙ පාරාදීස බවයි දැකගන්න ලැබුණෙ. ගොඩබිම වගේම ජලාශ්‍රිත පක්ෂීන් සියයකට වැඩි ප්‍රමාණයක් මේ වනෝද්‍යානය ආශ්‍රිතව ජීවත් වෙන බව දැනගන්න ලැබුණා. ඒ වගේම සංචාරක කුරුල්ලන් පැමිණෙන කාලයට හැම දූපතක්ම කුරුල්ලන්ගෙන් පිරිලා යන බව මඟ පෙන්වන්නන් අපට පැවසුවා. කුරුල්ලන්ගේ පාරාදීසයක් වුණු එක දූපතක් හැඳින්වෙන්නෙම කුරුලු දූපත නමින්. සමහර දූපතක තියෙන ගල් තලාවන් සුදු පාටින් පෙනෙන්නෙ කුරුල්ලන්ගෙ වසුරුවලින් වැසී ගිහින් තියෙන හින්දා.
මහා ජලාශය හරහා දූපත් අතරින් යන ගමන හරිම සුන්දරයි. ජලාශය මැද තියෙන කුඩා කඳු ගැට වගේම ඈතිනුත් කඳු වැටිවලින් වටවෙලයි තියෙන්නෙ. ඉඟිනියාගල, වඩිනාගල, ගෝවින්ද හෙල වගේ කඳු ඒ අතරින් මතුවෙලා පෙනෙනවා. මෙහෙම යන අතරෙ දැකගන්න ලැබුණෙ වැව් පිට්ටනියට ඇවිත් ඉන්න අලි දෙන්නෙක්. බෝට්ටුව පදවපු අපේ මාර්ගෝපදේශකයා හෙමින් සීරුවේ බෝට්ටුව පුළුවන් තරම් අලි දෙදෙනාගෙ ආසන්නයට අරන් ගියාට පස්සෙ එන්ජිම නවත්තලා අපට හිතේ හැටියට අලි බලන්න සැලැස්සුවා.
ටික වෙලාවකින් ආයෙත් ගමන ආරම්භ කළා. කුඩා දූපතක ගල් තලාවක් මත හිටපු කිඹුලෙක් බෝට්ටුවේ ශබ්දයෙන් කලබල වෙලා ජලාශයට බැහැලා නොපෙනී ගියා. මෙහෙම තවත් ටිකක් ඉදිරියට යද්දී වැව් පිට්ටනියෙ දැකගන්න ලැබුණෙ කුළු හරක් රංචුවක්. බෝට්ටුව ඒ ආසන්නයෙන් ගමන් කරවන්න අපේ මාර්ගෝපදේශකයන් කටයුතු කළා.
ජලාශය හරහා මෙහෙම ගමන් කරද්දී දැකගන්න ලැබුණෙ හරිම අපූරු දර්ශනයක්. කඳු ගැටයක් සහිත කුඩා දූපතක මුදුනේ අලියකු කොළ අතු කඩමින් හිටියා. බෝට්ටුවත් දූපතට කිට්ටු කළා. ශබ්දයත් එක්කම වල් අලියා ආහාර ගැනීම නවත්තලා බෝට්ටුව පැත්තට හැරුණා. ගල්ඔය වනෝද්‍යානයේ ඉන්න අලි මේ විදියට ජලාශයේ දූපතෙන් දූපතට පීනලා යමින් ආහාර සොයන බවයි දැනගන්න ලැබුණෙ. මේ විදියට ගමන් කරන අතරෙ ජලාශය මැද තියෙන කුඩා දූපතකට අපිව බස්සවන්නත් මාර්ගෝපදේශකයන් කටයුතු කළා. ඒ දේ කළේ බොහොම පරෙස්සමෙන්. මුලින්ම දූපත වටා රවුමක් ගියේ අලි ඇවිත් ඉන්නවද බලන්න. හොඳින්ම නිරීක්ෂණය කරලා අලි නැති බව හොඳින්ම දැනගත්තට පස්සෙයි දූපතට බහින්න අවසර දෙන්නෙ. හුදෙකලාව මහා ජලාශයක් මැද කුඩා දූපතක දැනෙන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් හරිම නිදහස් බවක්.
මෙහෙම ටික වෙලාවක් දූපතේ ගත කරලා ආපහු ඇවිත් පටන් ගත්තු තැනින්ම අපි ගමන අවසන් කළා. පැය තුනක විතර කාලයක් ගත කරපු අපූරු සුන්දර සංචාරයක්. ඔබත් ගල්ඔය ජාතික වනෝද්‍යානයට ඇවිත් සේනානායක සමුද්‍රයේ බෝට්ටු සවාරියේ අපූරු අත්දැකීම් විඳගන්න. මේ සංචාරයත් සමඟ ගල්ඔය වනෝද්‍යානයේ බොහෝ තැන්වලත් ජලාශය කෙළවර තියෙන මකරය වැනි තවත් තැන්වලටත් සංචාරයන් සැලසුම් කරගන්නව නම් තවත් හොඳ අත්දැකීමක් වෙයි.
මහේෂ් ඉන්දික විජේතිලක











