දේශපාලනය එක අතකින් පුදුමාකාරය. එහි අතීත සිදුවීම් වර්තමානයේ ප්‍රතිනිර්මාණය වන්නේ අපූරු ආකාරයෙනි. විටෙක එකී සිදුවීම දෛවයේ සරදම්දැයි සිතෙනා තරමට පුදුමාකාරය. තවත් විටෙක සමස්ත දේශපාලනය ගැනම කලකිරෙනා තරමට ජුගුප්සාජනකය. කුමනාකාරයෙන් බැලුවද මේ සිදුවීම් බොහෝවිට අභියෝගයට ලක් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජනතා පරමාධිපත්‍යයේ මූලධර්මයන්ය. මේ දිනවල ලාංකේය දේශපාලනය විමසා බැලීමේදීද අපට දැකගත හැකි වන්නේ කලකට පෙර මෙරට දේශපාලන කරළිය කිළිටි කළ නාඩගමක පුනරාවර්ථනයක් යයි පැවසීමේ වරදක් නැත.
2015 වසරේ පැවැති ජනාධිපතිවණය මෙරට දේශපාලන වංශකතාවේ වැදගත් සංධිස්ථානයකි. කිසි දිනෙක කිසිවකුටවත් පරාජය කළ නොහැකි යැයි බොහෝ දෙනෙක් සිතා සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බරපතළ පරාජයකට ලක්කරමින් එතරම් ඡන්ද පදනමක් නොතිබුණු මෛත්‍රීපාල සිරිසේන ලංකාවේ හයවැනි විධායක ජනාධිපති බවට පත්වෙන්නේ එකී ජනපතිවරණයෙනි. ඉන්ද නොනැවතී ඒ ජයග්‍රහණය ඔස්සේ වෙනත්ම දේශපාලන කතාවක් නිර්මාණය වන්නට පටන් ගන්නේ සදාකාලික පසමිතුරු දේශපාලන පක්ෂ දෙකක් වන ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජතික පක්ෂය මුල්ව පිහිටුවාගෙන තිබූ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව එක්ව ජාතික රජයක් පිහිටුවීම හේතුවෙනි. පසුකාලීනව ලාංකේය දේශපාලන වංශකතාවට යහපාලන රජය යන වචනය එක්කිරීම හැර වෙන කිසිම වැඩක් නොවූ එකී යහපාලන රජය වර්ෂ 2018 බිඳවැටෙනුයේ ලාංකේය දේශපාලන ඉතිහාසයේ දරුණුතම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව කරළියට නංවමිනි.
ජනාධිපතිවරයා එක දේශපාලන පක්ෂයකටත්, අගමැතිවරයා තවත් දේශපාලන පක්ෂයකටත් අයත්ව පිහිටුවා ගත් යහපාලන රජය ආරම්භයේ සිටම දිස්වූයේ එළහරකා සහ මීහරකා එකට ඈඳූවා සේය. විෂම දේශපාලන අදහස් දරන්නෝ රටේ යහපත උදෙසා පොදු කඳවුරක සිටගැනීම ලෝකයේ මොන යම් රටක ප්‍රායෝගිකව සිදුවිය හැකි දෙයක් වුවත් ලංකාවේ තවත් දශක ගණනාවකට එවැන්නක් සිදුවිය නොහැකි බව රනිල් – මෛත්‍රී යහපාලන රජය අපට පසක් කළ පැහැදිළි දේශපාලන සත්‍යය විය. සියලු කාර්යයකදීම රටේ මුල් පුටු දෙක දෙපසට අදිනවාට වඩා දෙයක් නොවූ යහපාලන රජය වර්ෂ 2018 ඔක්තෝබර් 26 දා නිල වශයෙන් බිඳවැටුණේය. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර තම පාර්ශ්වය ආණ්ඩුවෙන් ඉවත්වන බව කතානායකට නිල වශයෙන් දැනුම්දීමත් සමගය. ඒ සමගම එතුවක් කල් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
ඒ වන විට මහින්ද රාජපක්ෂ හට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිව නොතිබුණු අතර ඒකාබද්ධ විපක්ෂයේ සහ එක්සත් ජනතා සන්ධානය ලෙස යහපාලන රජයට එක්ව සිටි මන්ත්‍රීවරු සියල්ලම එක් වුවහත් එම සංඛ්‍යාව 90 ඉක්මවා ගියේ නැත. හිටපු අග්‍රාමාත්‍යවරයාට එක්සත් ජාතික පෙරමුණු රජයේ මන්ත්‍රීවරු 107 දෙනකුගේ සහාය හිමිවූ අතර දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් ඔහුට සහාය දක්වන්නට විය. එහෙත් පාර්ලිමේන්තුවේ බහුතරය ගැන නොතැකූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ තනි මතයට මහින්ද රාජපක්ෂ අගමැති කරවූයේය. කෙසේ වෙතත් ජනාධිපතිගේ අත්තනෝනතික තීන්දුවට එරෙහිව බලයෙන් පහකරන ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සටන් කරන්නට වූ අතර අරලියගහ මන්දිරයෙන් නික්ම යාමද ඔහු ප්‍රතික්ෂේප කරන්නට විය. රනිල්ගේ එකී ක්‍රියාවලිය නිසා ලෝකයම ඔහුගේ ක්‍රියාව අගය කරන්නට විය. ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ යුරෝපා රටවල් දැඩි උනන්දුවක් දක්වන්නට වූ අතර බැලූ බැල්මට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පිළිබඳ හෝ ඔහුගේ ආණ්ඩුව පිළිබඳ ජාත්‍යන්තරයේ ප්‍රසාදයක් නැති බව පැහැදිලි විය.
මහින්ද රාජපක්ෂගේ නීති විරෝධී ආණ්ඩුව දින 52ක් පුරා ක්‍රියත්මක වුවද ඊට එකදු ලෝක නායකයෙක් වත් අවම වශයෙන් සුබ පතන්නටවත් ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවට මෙරට සිටි තානාපතිවරුන් පවා අඛණ්ඩව රනිල් වික්‍රමසිංහ සමග සබඳතා පවත්වාගෙන යනු දක්නට හැකිවිය. ලෝක නායකයන් සහ සංවිධාන ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳා ගන්නා ලෙස නිවේදන නිකුත් කරමින් ඉල්ලා සිටින්නට වූහ. එහෙත් ජනාධිපතිවරයා අඛණ්ඩව තම ප්‍රජාතන්ත්‍ර විරෝධී මතයේ පිහිටා කටයුතු කරන්නට විය. මන්ත්‍රීවරුන් 127 දෙනකු වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස අස්සන් සහිත ලේඛනයක් ඉදිරිපත් කළ පසු පවා ඔහු පාර්ලිමේන්තුවේ බහුතරය මහින්ද රාජපක්ෂට හිමි බවට ප්‍රකාශ කළේය. අවසානයේ 2018 නොවැම්බර් නවවැනිදා රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය තනි කැමැත්තට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. එකී විසුරවා හැරීමේ ගැසට් නිවේදනය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්නට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි පාර්ශ්ව කටයුතු කළේය. එහිලා ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් විශේෂ මෙහෙයක් ඉටුකරන ලදී. අවසන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම නීති විරෝධී බව අධිකරණය තීරණය කිරීම නිසා මහින්ද මෛත්‍රී එක්ව ක්‍රියාවට නැගූ ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් මෙරට පාලන බලය ලබාගැනීම ව්‍යර්ථව ගියේය. රනිල් යළි අගමැති ලෙස දිවුරුම් දුන් අතර මහින්ද රාජපක්ෂ යළි විපක්ෂයේ අසුන් ගන්නා ලදී.
එහෙත් වසර හතරකට පසු එදා 2018 ව්‍යවස්ථා කුමන්ත්‍රණය ඉතා සුළු වෙනස්කම් කිහිපයක් සහිතව යළිත් ලාංකේය දේශපාලනයේ ක්‍රියාවට නැගෙමින් තිබේ. එදා මෛත්‍රීපාල සිරිසේනගේ භූමිකාව මෙදා ගෝඨාභය රාජපක්ෂ විසින් හොබවන අතර ප්‍රධාන නළුවන්ගේ වෙනස් කමක් දැකගන්නට නොහැකි තරම්ය. එදා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ සිට අරගලය දියත් කරමින් පාර්ලිමේන්තු ක්‍රමයේත් නියෝජිත ප්‍රජාතාන්ත්‍රවාදයේත් වීරයා බවට පත් රනිල් වික්‍රමසිංහ මෙදා ප්‍රජාතාන්ත්‍රවාදයේ මෙන්ම පාර්ලිමේන්තු ක්‍රමයේත් උත්තරීතරභාවයට හානි වන භූමිකාවක් රඟපාමින් සිටී. මැයි 9 වැනිදා රටටම ගිනි තබා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත්වූ පසු දින දෙක තුනක් අරාජිකව පැවැති රටක අගමැති ලෙස පත්වූයේ රනිල් වික්‍රමසිංහය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ධුරයට පත්විය යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහාය ලබන තැනැත්තාය. එහෙත් වත්මන් පාර්ලිමේන්තුවේ රනිල්ට සහායට එකම මන්ත්‍රීවරයෙක්වත් නොසිටි අතර ඔහු පාර්ලිමේන්තුවට පත්ව සිටින්නේද එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට පින් සිදුවන්නටය.
එදා මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිව විපක්ෂයේ සිටි මහින්දට අගමැති කම දුන්නා සේම මෙවර ගෝඨාභයද විපක්ෂයේ සිටි දුර්වලතම මන්ත්‍රීවරයාට අගමැතිකම දුන්නේය. 2018 මෛත්‍රී අගමැති කළේ ජනාධිපතිවරණයේදී තමාගේ ප්‍රතිවාදියා වූ මහින්දය. යම් හෙයකින් එදා මහින්ද ජයගත්තේ නම් තමා අඩි හයක් යට බව මෛත්‍රීපාල ප්‍රසිද්ධියේම කීවේය. එමතුද නොව රාජපක්ෂවරු මෙරට කෝටි ප්‍රකෝටි ගණන් ධනය කොල්ල කා ඇති බව ඔහු ජනාධිපතිවරණය පුරාම කීවේය. සැකෙවින් කිවහොත් මෛත්‍රී ජනාධිපති වූයේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයන් හිරේ දාන්නය. එවැනි අරමුණකින් බලයට පැමිණි මෛත්‍රී හිර ගෙදරට යවන්නට සූදානම් වූ මහින්ද රාජපක්ෂ අවසානයේ අනීතිකව රජගෙදරට යවන්නට පාර කැපුවේය.
මෙවරද එහි ලොකු වෙනසක් නැත්තේය. පසුගිය මැතිවරණය පුරාම පොදුජන පෙරමුණ මහබැංකු හොරා යැයි රනිල්ට චෝදනා නැඟුවේය. හම්බන්තොට වරාය විකිණූ බවට දොස් තැබුවේය. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට සාප කළේය. පොදුජන පෙරමුණේ ප්‍රධාන කථිකයා වූ විමල් වීරවංශ රනිල්ට කීවේ මිස්ටර් බීන් කියාය. ඒසා අපහාස උපහාසයන්ට ලක්වූ රනිල් පොහොට්ටු ආණ්ඩුවක් ආ කල නිසැකවම හිරේ යනු ඇතැයි ගම් මට්ටමේ පොහොට්ටුකාරයෝ බලාපොරොත්තු වූහ. එහෙත් 9 වැනිදා සිට දින දෙක තුනක් තිස්සේ කරළියට නැගුණු දේශපාලන නාඩගම අවසානයේ නිම වූයේ සුරංගනා කතාවකවත් අසන්නට නොලැබෙන අවසානයක් සහිතවය. ඒ පාර්ලිමේන්තුවේ එකම අසුනක් පමණක් හිමිව සිටි රනිල් වික්‍රමසිංහ අගමැති කරවීමෙනි. ගිය වර රනිල්ගේ අගමැති ධුරය මෛත්‍රීපාල සිරිසේන කොල්ලකාගත් අවස්ථාවේ ඔහු වෙනුවෙන් ප්‍රශස්ත මෙහෙයක නියැළුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මෙවර ඉන්නේ වෙනමම තැනකය. ඔහු පාර්ලිමේන්තුවේදී රනිල් අගමැති ධුරය භාරගැනීම ලැජ්ජා නැති දෙයක් ලෙස හඳින්වූයේය.
රනිල් වෙනුවෙන් අදහස් දක්වන බහුතරයක් පවසනුයේ ඔහුගේ රාජ්‍යතාන්ත්‍රිකභාවය නිසා ලංකාවට ආධාර ගැනීම පහසු වන බවයි. එහෙත් රනිල් අගමැතිවී දැන් සතියකට ආසන්නය. අවම වශයෙන් අසල්වැසි ඉන්දියාවේ නායකයාවත් ඔහුට සහ නව රජයට සුබ පතනට ඉදිරිපත්වී නැත. මේ වන තුරු ඔහුට සුබපතා ඇත්තේ මෙරට තානාපතිවරු පමණි. මෛත්‍රීපාලගේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූ අවස්ථාවේ යුරෝපා රටවල් බහුතරයක් රනිල් සමග සිටියේය. ඒ, එදා ඔහුට ප්‍රජාතන්ත්‍රවාදීව එම ධුරයේ රැඳී ඉන්නට අයිතියක් තිබූ නිසාය. එහෙත් අද තත්ත්වය ඉඳුරාම වෙනස්ය. මේ දේශපාලන නාඩගම දෙස සමස්ත ලෝකයම බලන්නේ පිළිකුලෙනි. හිටපු අගමැති සමගවත් අලුතින් පත්වූ අගමැති සමගවත් ජාත්‍යන්තරය සිටගන්නේ නැති බව පැහැදිලිය. මේ යන විදියට ඉදිරියේදී මානුෂික ආධාරවලට වඩා වැඩි යමක් අපට බලාපොරොත්තු වන්නට බැරි බව අකැමැත්තෙන් හෝ කිව යුතුය. ලෝකයෙන් හරිහමන් ආධාර ක්‍රමයක් අප වෙනුවෙන් යෝජනා වන්නට නම්, සංවර්ධන ආධාර අපට ලැබෙන්නට නම් අවංක දේශපාලන නායකත්වයකින් යුත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් මෙරට පාලන බාරගත යුතුය. එවැනි පාලනයක් බිහිවනතෙක් මෙරට දෙස හැරී බලන්නටවත් ආයෝජකයන්ට ඕනෑකමක් නැත.
රනිල් සහ මහින්ද යනු දේශපාලනයේ සදාකාලික පස මිතුරෝය. එහෙත් සැබෑ ජීවිතයේ ඔවුන් කළණ මිතුරෝය. 2018 ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් අගමැති වූ මහින්ද අරලියගහ මැදුරෙන් ඉවත් නොවන්නැයි රනිල් වික්‍රමසිංහට පවසන්නේය. දේශපාලන මතය කුමක් වුවත් දෙදෙනාගේ මිතුරුකම එතරම්ම ප්‍රබලය. දශක ගණනාවක සිට මේ දෙන්නා අගමැති ඇඳුම මාරුවෙන් මාරුවට බොහෝ සමගියෙන් මරු කරගෙන අඳිමින් ඉන්නා බව රහසක් නොවේ. මෙහි ආරම්භය 2004 අප්‍රේල් 06 වැනිදාය. එදා රනිල්ට අගමැති ධුරය අහිමි වූ අතර මහින්ද අගමැති විය. අනතුරුව 2015 ජනවාරි 08 මහින්දට අගමැති ධුරය අහිමි වූ අතර රනිල් අගමැති විය. 2018 ඔක්තෝබර් 26 රනිල්ට අගමැති ධුරය අහිමි වූ අතර මහින්ද අගමැති විය. නැවතත් 2018 දෙසැම්බර් 15 මහින්දට අගමැති ධුරය අහිමි වූ අතර රනිල් අගමැති විය
2019 නොවැම්බර් 21 රනිල්ට අගමැති ධුරය අහිමි වූ අතර මහින්ද අගමැති විය. 2022 මැයි 12 මහින්දට අගමැති ධුරය අහිමි වූ අතර අද රනිල් අගමැතිය. තව කෙතරම් කාලයක් මේ ධුර මාරුව වික්‍රමසිංහ සහ රාජපක්ෂ අතර සිදුවේදැයි කීමට නොහැකි මුත් ඉන් මේ රටට හෝ ජනතාවට කිසිම සෙතක් සිදු නොවන බව ඉතිහාසය විසින් ඔප්පු කරමින් තිබෙන බව පැවසිය හැකිය.
මහින්ද මෙන්ම රනිල්ද නීති වෘත්තිකයෝ වෙති. එහෙයින් දෙදෙනාම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම පාර්ලිමේන්තු ක්‍රමය ගැන නොදන්නෝ නොවෙති. එදා මහින්ද අගමැති ධුරය බාරගත්තේ එය තමාට නොහිමි බව නොදැන නොවේ. මෙවර රනිල්ද බාරගන්නේ තමන්ට හිමි නැති අගමැතිකමකි. ඒ බව ඔහුද ඉඳුරාම දනී. කෙසේ වෙතත් දිවුරුම් දී පැයක් යන්නටත් පෙර නාවික හමුදාවේ ආරක්ෂාව සහිතව ත්‍රිකුණාමලය සෝබර් දිවයිනේ සැඟව සිටි මහින්ද රනිල්ට සුබ පතන්නේය. ඒ, නොහිමි අගමැතිකමක් ලැබීම වෙනුවෙනි. දැන් රාජපක්ෂවරුනගේ සහායෙන් පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ උපකාරයෙන් රනිල් අගමැතිකම කරගෙන යන්නට උත්සාහ ගන්නේය. එහෙත් එකී ධුරය දිග දුරටත් කරගෙන යෑම ඔහු ජාතිය අමතා කියූ සේම ගෲෂා ගිය වැල් පාලමේ ගමන මෙන්ය. අසීරුය. අමාරුය.
අරුණ ප්‍රනාන්දු ලක්ෂ්මන්










