ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සමඟ ඒකාබද්ධ වාණිජ මණ්ඩල සභා ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේ අන්තර්වාර අග්‍රාමාත්‍යවරයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දක්‍ෂ පුද්ගලයෙකු පත් කොට අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර කුඩා අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.
රටේ නීතිය හා සාමය සහ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම සඳහා මෙය වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කළ යුතු බව එම ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.
“..නිත්‍යානුකූල රජයක් නොමැතිකම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ ගිවිසුම සැලසුම් කළ පරිදි නියමිත වේලාවට අවසන් කිරීම අනතුරට ලක්විය හැකි බව ඉතා පැහැදිලිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමග ඉදිරි මාස 6 තුළදී ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාව මූල්‍යකරණය සුරක්ෂිත කර ගැනීම ඉතා වැදගත්” යැයි ඒකාබද්ධ නිවේදනයේ සදහන්ය.
සියලු දෙනා පිළිගන්නා නායකත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවීමට සහාය දැක්වීම සඳහා තම දේශපාලන න්‍යාය පත්‍ර සහ මතභේද පසෙකලා එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීමටද ඔවුන් පියවර ගෙන ඇත.
සම්මුතිවාදී ප්‍රවේශයකින් සාධාරණ කාලසීමාවක් තුළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් කළ යුතු බව ද ඒකාබද්ධ නිවේදනයේ සදහන් වේ.
අන්තර්වාර රජය ස්ථිරව ක්‍රියාත්මක වූ වහාම මහජනතාවගේ හඬට ගරු කරමින් ඉල්ලා අස්වන ලෙස ඒකාබද්ධ සභා නියෝජිතයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.
ලංකා වාණිජ මණ්ඩල, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය, තරුණ ලංකා ව්‍යවසායකයින්ගේ මණ්ඩලය, ICC ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය, වාණිජ මණ්ඩලය,ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා ඇමරිකානු වාණිජ මණ්ඩලය සහ ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය යන ආයතනවලින් ඒකාබද්ධ නිවේදනය සමන්විත වේ..










