ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (29) පස්වරුවේ ඉන්දීය තානාපති නිල නිවසේ දී පැවැත්විණි.
මේ ව්‍යසනකාරී මොහොතේ ශ්‍රී ලංකාව වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන ඉන්දියාවට සිය ස්තූතිය පුද කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ඉන්දියාව විසින් මෙරටට මෙතෙක් කල් ලබා දුන් සහයෝගය පිළිබඳව ද සිය ප්‍රණාමය පුද කළේය. දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා ද්විපාර්ශ්වීය සබැඳියාව පිළිබඳවද සිහිපත් කරනු ලැබූ විපක්ෂ නායකතුමා ආර්ථික සංස්කෘතික සාමාජීය යනාදී වශයෙන් එය පැතිරී ඇති බවද සිහිපත් කළේය .
ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා උපරිම වශයෙන් ආධාර සහ සහයෝගය ලබා දෙන ලෙස එහිදී ඉල්ලා සිටි විපක්ෂ නායකතුමා, එලෙස ලබා දෙන ආධාර උපකාර ජනතාවට වඩාත් ප්‍රතිඵලදායි ලෙස භාවිතා කිරීම සඳහා වූ වැඩපිළිවෙළට ද අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න,වඩිවෙල් සුරේෂ් යන මහත්වරුද විපක්ෂ නායකතුමා සමග එම අවස්ථාවට එක්ව සිටියහ.










