• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

විමල්ලා ආණ්ඩුව වට්ටන්න ලෑස්තියි! රහස් සාකච්ජාවක් තියා රාජපක්ෂවරු ගත් තීන්දුව! පාර්ලිමේන්තුවම හොල්ලපු ‘මව්රට’ නිව්ස් එක! ලෑස්තිවෙන්න ඔන්න ජන්දයක් එනවා! ශ්‍රීලනිපය ඇතුළේ කොන්ත්‍රාත්තුවක් කරන තුන් දෙනා! (රාජ්‍ය රහස්)

March 13, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 20 mins read
A A
ආණ්ඩුව ඇතුළේ පිපිරුමක්! ගෝඨාගෙන් සිංගප්පූරුවේ සිට තහනමක්! බැසිල් අමෙරිකා ගියේ නොඑන්නමද? ප්‍රබල ඇමැති විපක්ෂයට දෙමළෙන් දුන් පණිවුඩය! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව ගම්මන්පිලගේ කට වහයි!

චන්ද්‍රිකා ඉදිරියට දමා විමුක්ති එන්න යනවාද!

වොෂින්ටන් ජන්දයෙන් දිනන්න ආණ්ඩුවට පුලුවන් වෙයිද?

ආණ්ඩුව මේ වන විට බරපතළ ආර්ථික අර්බුදයකට පමණක් නොව උග්‍ර දේශපාලන අර්බුදයකටද එකවර මුහුණ දී සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ආණ්ඩුව විසින්ම ගනු ලැබූ ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් සහ ගෝලීය අර්බුද හේතු කරගෙන ආර්ථික අර්බුදයක් පැනනැගී ඇති අතර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමත් සමග ආණ්ඩුව ඇතුළේ මේ වන විට දේශපාලන අර්බුදයක්ද පැනනැගී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. විමල් සහ උදය ආණ්ඩුවෙන් ඉවත් කිරීමත් සමග මේ වන විට ඔවුන් සමග කටයුතු කරන පක්ෂ 10ක කැරලිකාර කණ්ඩායම තීන්දු කොට ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමටය. මෙම කණ්ඩායම මන්ත්‍රීවරුන් 30කගෙන් සැදුම් ලත් පිරිසකි.

විමල්ලා ආණ්ඩුවට එරෙහිව ගහන්න යන ගේම!

කෙසේ වෙතත් මේ වනවිට ඇමැතිකම්වලින් ඉවත් කර ඇති විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම ඊළඟට සිදුකරන්නට සැලසුම් කර ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. විමල්ලා සැලසුම් කර ඇත්තේ 2015 මහින්ද පරාජයට පත්වීමෙන් පසු යළිත් මහින්දව බලයට ගෙන ඒම සඳහා නුගේගොඩින් ආරම්භ කළ ‘මහින්ද සුළඟ‘ වැනි දැවැන්ත රැලියක් නුගේගොඩදීම පවත්වා අලුත් ආරම්භයක් ලබාගැනීමටය. මේ සඳහා විමල් සමග සිටින පක්ෂ 11ක නායකයන් දැනටමත් එකඟතාව පළකොට ඇති බවද ආරංචිය. මුල් අදියරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම රැස්වීමට සහභාගි වීම සම්බන්ධයෙන් යම් දෙගිඩියාවක සිටියත්, මේ වන විට ඔවුන්ද තීරණය කර ඇත්තේ ඊට සහභාගි වීමටය.

ජනපති ශ්‍රීලනිපයට එන්න කියයි!

මේ ආකාරයට විමල් ඇතුළු කැරැලිකාර කණ්ඩායම ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව ඇතුළේ සිටම කිසියම් මෙහෙයුමක් දියත් කරන අතරවාරයේ ආණ්ඩුවද නිකම් සිටියේ නැත. පසුගිය සතිය පුරාම දැකගන්නට ලැබුණු සිදුවීම්වලින් පෙනෙන්නට තිබුණේ ආණ්ඩුවද දැන් ඊට මුහුණදීම සඳහා විවිධ මෙහෙයුම් දියත් කරමින් සිටින ආකාරයකි. එම මෙහෙයුමට පොහොට්ටුවේ මහ මොළකාරයා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා පමණක් නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවා සක්‍රීයව සම්බන්ධව සිටීම එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය. ඒ අනුව ආණ්ඩුවට වුවමනා වී තිබුණේ විමල් ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙන් එළියට බසිද්දී පොහොට්ටුවේ ප්‍රධාන පාර්ශ්වකරු ලෙස සැලකිය හැකි ශ්‍රීලනිපය එම පිලට වැටෙන්නට නොදී තවදුරටත් ආණ්ඩුව සමග තබාගැනීමය. එම මෙහෙයුම ආරම්භ කළේ වෙන කවුරුවත් නොව ජනාධිපතිවරයාමය. ජනාධිපතිවරයා ඊට ප්‍රයෝජනයට ගත්තේ කාලයක් තිස්සේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ යුතු බවට ශ්‍රීලනිපය විසින් කර තිබූ නිල ඉල්ලීමය.

දයාසිරිට ආපු කෝල් එක!

ඒ අනුව පසුගිය සතියේ ජනාධිපතිවරයා කෙළින්ම කතා කළේ දයාසිරිටය. එසේ දයාසිරිට කතා කළ ජනාධිපතිවරයා බොහෝ සැහැල්ලු ස්වරයකින් යුතුව දයාසිරි සමග කතා කරමින් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස ආරාධනා කිරීමට පියවර ගත්තේය. නමුත් දැනට මතුව ඇති තත්ත්වය හමුවේ ඒ සම්බන්ධයෙන් තමන්ට තනිව තීන්දුවක් ගත නොහැකි බව ජනාධිපතිවරයාට කී දයාසිරි පක්ෂය සමග ඒ පිළිබඳ සාකච්ඡා කොට ජනාධිපතිවරයාට පිළිතුරක් ලබාදීමට කටයුතු කරන බව කියා සිටියේය. ඒ අනුව දයාසිරි ජනාධිපතිවරයාගෙන් ආ ආරාධනාව පිළිබඳ ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පැවැති ඉතා කෙටි සාකච්ඡාවකින් පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට එකඟතාව පළවූ අතර, දයාසිරි විසින් එය ජනාධිපතිවරයා වෙත දැනුම් දීමටද පියවර ගත්තේය. ඒ අනුව ජනාධිපතිවරයා අඟහරුවාදා දින ශ්‍රීලනිප නායකයන්ට තමන් හමුවන ලෙස දැනුම් දී සිටීමට පියවර ගත්තේය.

මහින්දයි බැසිලුයි ඇවිත්!

ඒ අනුව ශ්‍රීලනිපය අඟහරුවාදා දින ජනාධිපති ලේකම් කාර්යාලයට යද්දී එම සාකච්ඡාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාත් එක්ව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී සාකච්ඡාවේ ආරම්භයේ සිටම ශ්‍රීලනිපය පැත්තෙන් පසුගිය කාල වකවානුව පුරාම ආණ්ඩුව කළ කෙනෙහිලිකම් පෙන්වා දීමට පියවර ගත්හ. ඒ සඳහා වැඩි කාලවේලාවක් ගත්තේ චාමර සම්පත් දසනායකය. චාමර කියා සිටියේ ආණ්ඩුව ශ්‍රීලනිපය ගණන් නොගෙන කටයුතු කරන බවත්, අවම වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවකට හෝ ශ්‍රීලනිපයට ආරාධනා නොකරන බවත්ය.

දිලුම්ට ප්‍රහාරයක්!

මෙහිදී දිලුම් අමුණුගම ඉලක්ක කරගෙන ශ්‍රීලනිපයෙන් ප්‍රබල චෝදනාවක්ද එල්ල විය. ඊට මුල්වී තිබුණේ අවශ්‍ය නම් ශ්‍රීලනිපයටද ආණ්ඩුවෙන් ඉවත්විය හැකි බවට දිලුම් කර තිබූ ප්‍රකාශයකි. ඒ සම්බන්ධයෙන් ශ්‍රීලනිපය සිය විරෝධය පළ කරද්දී ජනාධිපතිවරයා සිනහ පළකර සිටි අතර, අගමැතිවරයා කියා සිටියේ දිලුම්ගේ එම ප්‍රකාශය වැරැදි එකක් යැයි කියාය. ආණ්ඩුවේ අමාත්‍යවරු වශයෙන් අදහස් ප්‍රකාශ කරද්දී මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවද මහින්ද එහිදී කියා සිටියේය.

මෛත්‍රීගේ යෝජනාවට කොළ එළිය!

ඉන් අනතුරුව ශ්‍රීලනිප නායකයන් තමන් සකස් කරගෙන ආ යෝජනාවලිය ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඉදිරිපත් කිරීමය. රට මේ වන විට මුහුණදී ඇති ආර්ථික, සමාජයීයමය අර්බුදයෙන් ගොඩගැනීම සඳහා යෝජනා 15ක් එහි ඇතුළත්ව තිබූ අතර, සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම ප්‍රධාන එකක් බවට පත්ව තිබිණි. දැනට රට තුළ මතුව ඇති අර්බුදය එක් පක්ෂයකට තනිව විසඳිය නොහැකි බව එහිදී පෙන්වා දුන් ශ්‍රීලනිප නායකයෝ සියලු පක්ෂ ඒ සඳහා සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතු බව පෙන්වා දුන්හ. මෙහිදී ජනාධිපතිවරයාගෙන් එම යෝජනාවට පළවූයේ සුබවාදී ප්‍රතිචාරයකි. ඉදිරියේදී ඒ සඳහා දින වකවානු නියම කරන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සාකච්ඡාව අවසන් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

රාපක්ෂවරුන් වෙනම සාකච්ජාවක!

ඒ අනුව ශ්‍රීලනිප නියෝජිත පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නික්ම ගිය පසු ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා අතර තවත් විශේෂ සාකච්ඡාවක්ද එහිදී පැවැත්විණි. එම සාකච්ඡාවේදී ශ්‍රීලනිපය ඉදිරිපත් කළ කරුණු පිළිබඳ බරපතළව සාකච්ඡා නොකෙරුණු නමුත් ඊට යම් ප්‍රතිචාරයක් දැක්විය යුතු නිසා සර්ව පාක්ෂික සමුළුවට දින නියම කිරීමට පිරිස කටයුතු කළහ. මෙහිදී මහින්ද පෙන්වා දුන්නේ කොරෝනා අර්බුදය උග්‍ර වූ අවස්ථාවේ පවා තමාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වූ බවත්, එම නිසා මේ අවස්ථාවේදී එවැනි සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු කරන ලෙසත්ය. ඒ අනුව ලබන 29 වැනිදා සර්ව පාක්ෂික සමුළුව කැඳවීමට තීරණය වූ අතර එදින සවසම එය සියලු පක්ෂ නායකයන්ට දැනුම් දීමට කටයුතු කරන ලෙස සිය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය.

ඉමු! නෑ.. යමු! ශ්‍රීලනිපයේ මත දෙකක්!

මේ ආකාරයට අඟහරුවාදා ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වූ ශ්‍රීලනිපය එදිනම පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්කොට ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මෙහිදී සාකච්ඡාවට ලක්වූයේ විමල් ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් කර ඇති තත්ත්වයක් යටතේ ඉදිරියේදී ආණ්ඩුවත් සමග කවර ආකාරයෙන් ගනුදෙනු කරන්නේද යන්න පිළිබඳවය. එහිදී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම මත දෙකක සිටින ආකාරයක් දැකගත හැකි විය. එක් කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා මෙය අවස්ථාව නොවන බව පෙන්වා දෙමින් තවදුරටත් අමාත්‍ය ධුරවල රැඳී සිටිය යුතු බව සඳහන් කළ අතර, තවත් කණ්ඩායමක් ඇමැති ධුර අත්හැර ආණ්ඩුවට එරෙහිව විශාල ජන බලවේගයක් ගොඩනැගිය යුතු බව පෙන්වා දුන්හ. මුල් ස්ථාවරයේ සිටි පිරිස අතර දුමින්ද, නිමල් සිරිපාල, ලසන්ත අලගියවන්න වැනි පිරිස් සිටි අතර, මෛත්‍රි සහ දයාසිරි සිටියේ ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම බලවේගයක් ගොඩනැගිය යුතුය යන ස්ථාවරයේය. කෙසේ වෙතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් නොගත් නමුත් එක් වැදගත් තීන්දුවක් ගැනීමට පිරිස පියවර ගත්හ. ඒ තව දුරටත් පොහොට්ටුවත් සමග එක්ව ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් නොවන බවට වූ තීන්දුවය.

විමල්ලා ආණ්ඩුව වර්ජනයක!

මේ අතරවාරයේ ඉකුත් සතියේදී විමල් පිල සම්බන්ධයෙන් තීරණාත්මක සිදුවීම් දෙකක් සිදුවිය. ඉන් පළමු සිදුවීම වූයේ බදාදා පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමය. මෙහිදී විමල් ඇතුළු කණ්ඩාම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වනු ඇති බව බොහෝ දෙනා සිතා සිටියද, විමල්ගේ පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් හය දෙනාත්, විමල්ගේ කැරැලිකාර කණ්ඩායමේ අනෙකුත් පක්ෂ 10ක නියෝජිතයනුත් ඊට සහභාගි නොවීම විශේෂ සිදුවීමක් විය. මීට අමතරව ශ්‍රීලනිපය නියෝජනය කරමින් ඊට සහභාගි වී සිටියේය නිමල් සිරිපාල, අංගජන් රාමනාදන්, ජගත් පුෂ්පකුමාර ඇතුළු මන්ත්‍රීවරුන් පස්දෙනකු පමණි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිසිවකුත් ඊට සහභාගි වී නොසිටි අතර, මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙද්දී මෛත්‍රි, විමල් ඇතුළු සියලු දෙනාම පාර්ලිමේන්තු සභා ගැබේ සාකච්ඡා කරමින් සිටින ආකාරයක් දැකගත හැකි විය. ඒ හරහා විමල් ඇතුළු කණ්ඩායම නිල වශයෙන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වර්ජනය කරමින් සිය විරෝධය ආණ්ඩුවට පළකර සිටි ආකාරයක්ද දැකගත හැකි විය.

ගම්මන්පිලට නොදුන් වේලාව!

මීට අමතරව බ්‍රහස්පතින්දා දිනයේදී බලශක්ති අර්බුදය පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් කල්තැබීමේ විවාදයක් ඉල්ලා තිබිණි. මෙහිදී උදය ගම්මන්පිල, බලශක්ති අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීම නිසා තමන්ටද මෙම ගැටලුවලට පිළිතුරු දීම සඳහා කතාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඊට කාලවේලාව වෙන්කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයෙන් ඉල්ලීමක් කිරීමට පියවර ගෙන තිබිණි. විවාදය සම්බන්ධයෙන් ලොකුම ගැටලුව මතුවූයේ මේ ආකාරයට ගම්මන්පිල කතාවක් කිරීම සඳහා ආණ්ඩුවෙන් වෙලාව ඉල්ලීමත් සමගය. මන්ද යත් ඊට පෙර දිනත් උදය දෙරණ නාලිකාවට පැමිණ ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක්කර තිබීම ඊට හේතුවය. මේ නිසා යම් හෙයකින් ආණ්ඩුවේ වේලාව ලබාදී කථික ලැයිස්තුවට උදයගේ නම ඇතුළත් කළහොත් නිසැක වශයෙන්ම ආණ්ඩුවෙන් කාලවේලාව ලබාගෙන ආණ්ඩුවටම ප්‍රහාර එල්ල කිරීමට උදය කටයුතු කරනු ඇති බව බොහෝ දෙනාගේ මතය විය.

දිනේෂ් මැද තැනක!

නමුත් මෙහිදී දිනේෂ් නම් සිටියේ යම් මධ්‍යස්ථ තැනකය. දිනේෂ් එහිදී කියා සිටියේ උදයට ආණ්ඩුවෙන් වෙලාව ලබාදී එම වෙලාව ගෙන ආණ්ඩුවට ප්‍රහාර එල්ල නොකරන ලෙසට උදයගෙන් ඉල්ලා සිටිය යුතු බවකි. ඒ අනුව උදයට කාල වේලාව ලබාදීම පිළිබඳ මත දෙකක් තිබූ බැවින් එහි අවසන් තීන්දුව ගැනීම ආණ්ඩුවේ ප්‍රධානීන්ට භාරකිරීමට ජොන්ස්ටන් ඇතුළු පිරිස පියවර ගත්හ. මොහොතක් යෑමට මත්තෙන් ජොන්ස්ටන්ලා බලාපොරොත්තු වූ අවසන් තීන්දුව ඉහළින් ලැබිණි. ඒ අනුව දැනුම්දී තිබුණේ කිසිසේත්ම ගම්මන්පිලට අදහස් දැක්වීම සඳහා ආණ්ඩුවෙන් වේලාව වෙන් නොකරන ලෙසය. එම උපදෙසට අනුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය කථික ලැයිස්තුවෙන් උදයගේ නම ඉවත් කිරීමට කටයුතු කළේය.

www.mawratanews.lk නිව්ස් එක පත්තු කරයි!

ආණ්ඩුවේ මෙම තීන්දුව වාර්තා වීමත් සමග අප www.mawratanews.lk වෙබ් අඩවිය අතිවිශේෂ පුවතක් ලෙස එම පුවත පළකිරීමට කටයුතු කළෙමු. අප එම පුවත පළකරන තෙක් විපක්ෂය හෝ ආණ්ඩුව විසින් ගම්මන්පිලට එසේ කර ඇති බවක් දැන සිටියේ නැත. ඒ අනුව අප පුවත පළකිරීමත් සමගම විපක්ෂයේ මන්ත්‍රීවරු වහාම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මුණගැසී මේ පිළිබඳ දැනුම් දී සිටීමට පියවර ගත්හ.

කිරිඇල්ල වෙලාව දෙන්න ලෑස්තියි!

‘අන්න ආණ්ඩුවෙන් ගම්මන්පිලට කතා කරන්න වෙලාව දීලා නෑ කියලා ‘මව්රට’ වෙබ් එකේ ගහල තියෙනවා. අපි මේකට මොකක්හරි දෙයක් කරන්න ඕන..’ යනුවෙන් මන්ත්‍රීවරුන් කියද්දී, ගත් කටටම ඊට පිළිතුරු දෙමින් කිරිඇල්ල කියා සිටියේ එසේ නම් ගම්මන්පිලට විපක්ෂයෙන් වෙලාව වෙන් කිරීමට කටයුතු කළ හැකි යැයි කියාය. එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන්ද විමසා සිදු කළ හැකි බව කිරිඇල්ල එහිදී මන්ත්‍රීවරුන්ට කියා සිටියේය. ඒ අනුව සජිත් පාර්ලිමේන්තුවට පැමිණි පසු මන්ත්‍රීවරුන් ගොස් ගම්මන්පිල පත්ව සිටින තත්ත්වය පිළිබඳ සජිත්ට දැනුම්දී ඔහුට විපක්ෂයෙන් කාලවේලාව ලබාදිය යුතු බව දැනුම් දීමට කටයුතු කළහ. නමුත් සජිත් එහිදී සිටියේ තරමක් වෙනස් ස්ථාවරයකය.

සජිත් වෙනස් ස්ථාවරයක!

‘අපෙන් තවම ගම්මන්පිල මන්ත්‍රීතුමා වෙලාව ඉල්ලලා නෑනෙ. ඒ නිසා අපි කලබල වෙන්නෙ නැතුව ඉමු. එතුමා කතා කරන්න ඕනෙ කියලා වෙලාවක් ඉල්ලුවත් විතරක් අපි ඒ ගැන සාකච්ඡා කරලා තීන්දුවක් ගමු..’ යනුවෙන් එහිදී සජිත් මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේය. නමුත් සජිත් එසේ කීවද මන්ත්‍රීවරුන් වැඩේ අතහැරියේ නැත. ඒ අනුව මන්ත්‍රීවරු කළේ ආණ්ඩු පක්ෂ ලොබිය පැත්තේ ඇවිදිමින් මේ පිළිබඳ විපරම් කර බැලීමය. එහිදී ඔවුන්ට විමල්ගේ පක්ෂ එකොළහේ නියෝජිතයකු හමුවූ අතර ඔවුන් එම නියෝජිතයාට කියා සිටියේ ගම්මන්පිලට වෙලාව ලබාදී නොමැති බව mawratanews වෙබ් අඩවියේ පළකොට ඇති බවත්, එම කතාවේ ඇත්තක් තිබේද යන්නත්ය. එවිට එම නියෝජිතයා කියා සිටියේ එම කතාව සත්‍ය බවත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් ඒ පිළිබඳ දැනුම් දීමක් කොට ඇති බවත්ය. එවිට සජබෙ මන්ත්‍රීවරුන් එම නියෝජිතයාට කියා සිටියේ උදයට කතා කිරීමට අවශ්‍ය නම් විපක්ෂයෙන් ඊට අවශ්‍ය වෙලාව ලබාදිය හැකි බවකි. එවිට එම නියෝජිතයා එම ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් තම කණ්ඩායමට ඒ සම්බන්ධයෙන් වෙනත් සැලසුමක් ඇති බව දැනුම්දී සිටියේය.

විමල්ලාට වෙන සැලසුමක්!

‘නෑ අපි දැන්ම ඒ විදියට කරන්න තීන්දුවක් අරන් නෑ. අපේ වෙන සැලැස්මක් තියෙනවා. අපි ඒකට ලෑස්ති වෙලයි ආවේ…’ යනුවෙන් එම නියෝජිතයා සජබෙ මන්ත්‍රීවරුන්ට කියා සිටියත්, සැලැස්ම කුමක්ද යන්න පිළිබඳ වචනයක්වත් එළියට දැම්මේ නැත. ඒ අනුව අප එම පුවතද www.mawratanews.lk අප වෙබ් අඩවිය ඔස්සේ විශේෂ පුවතක් ලෙස පළකිරීමට පියවර ගත්තෙමු.

ආණ්ඩුවත් කලබල වෙයි!

අප එම පුවත පළකරන තෙක්ම ආණ්ඩුවද විමල් පිල එවැනි සැලසුමක් සකස් කොට ඇති බව දැන සිටියේ නැත. ඒ අනුව ආණ්ඩුවද ඒ පිළිබඳ සොයාබැලීමක නිරත වූ අතර විමල් පිල වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් උදයට කතාවක් ලබාදීමට සූදානමින් සිටිනවාද, එසේත් නැතිනම් පක්ෂ නායකයකු ලෙසට උදයට කතාවක් ලබාදීමට සූදානමින් සිටිනවාද යන්න පිළිබඳ සොයා බැලීමට පියවර ගෙන තිබිණි. ආණ්ඩුව සිතා සිටියේ විවාදය අතරමැදදී කණ්ඩායමක් ලෙසින් පැමිණ උදය කතා කිරීමට කටයුතු කරනු ඇතැයි කියාය. නමුත් විවාදය යන අතරවාරයේ විමල් පිලේ කිසිවකුත් සභා ගැබේ නොසිටි අතර, පසුව කළ සොයාබැලීමකදී දැනගන්නට ලැබුණේ ඔවුන් එක්තරා ස්ථානයක රැස්ව ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පවත්වමින් සිටිනවා යැයි කියාය.

කොළඹ නිල් වෙයි! ජනපති බය වෙයි!

මේ කලබල අතරවාරයේ පසුගිය සතියේ කොළඹ සෑම තැනක්ම දැවැන්ත නිල්පාට කොඩිවලින් සරසා ඇති ආකාරයක් දැකගත හැකි විය. සිය කාර්යාලයට එන අතරවාරයේදී ජනාධිපතිවරයාද මේ බව දැක වහාම මහින්ද අමරවීර අමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ලබාදී ඒ පිළිබඳ විමසා සිටීමට පියවර ගත්තේය.

අමරවීරට කතා කරලාම අහයි!

‘මොකද ඇමැතිතුමා මේ හැම තැනම නිල් පාට කොඩි දාලා සරසලා…’ යනුවෙන් ජනාධිපතිවරයා අමරවීරගෙන් අසද්දී අමරවීර කියා සිටියේ කොළඹ දිස්ත්‍රික් සමුළුව හේතුවෙන් එසේ මුළු නගරයම සැරසීමට කටයුතු කර ඇතැයි කියාය. එවිට සිනාසෙමින් පිළිතුරු දුන් ජනාධිපතිවරයා, ‘අයියෝ අපටත් කියන්න එපායැ. අපිත් හිටපු පක්ෂෙනෙ. හිටපු ජනාධිපතිවරයට කියන්න අපේ සහයෝගයත් සම්පූර්ණයෙන්ම තියෙනව කියලා. මොකද ශ්‍රීලනිපය කියන්නේ පැරැණිම පක්ෂයක්නෙ..’ යැයි කියමින් දුරකතනය විසන්ධි කිරීමට කටයුතු කළේය.

ශ්‍රීලනිපයේ ගැටුමක් හදන්න යන තුන් දෙනා!

ඒ අනුව කොළඹදී පැවැති මෙම මහ සමුළුවේදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ආණ්ඩුවටත් නැති විපක්ෂයටත් නැති දෙකට දෙවාරේ කතාවක් කරද්දී දයාසිරිත් මෛත්‍රිපාලත් ආණ්ඩුවට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කිරීමය. මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු සොයාගෙන යද්දී අපට දැනගන්නට ලැබුණේ නිමල් සිරිපාලත්, දුමින්ද දිසානායකත්, ලසන්ත අලගියවන්නත් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවට මතයක සිටීම නිසා මෙසේ නිමල් සිරිපාල ආරක්ෂිත ස්ථාවරයක සිට අදහස් දක්වා ඇති බවය. එමෙන්ම මේ තිදෙනා විසින් පසුගිය සති කිහිපයක සිටම කිසියම් අලුත් මතයක් ශ්‍රීලනිපය ඇතුළට කාවැද්දීමට කටයුතු කරමින් සිටින ආකාරයක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම මතය නම් ශ්‍රීලනිපය නැවත එක්සත් කළ යුතු බවත්, ඒ සඳහා පක්ෂය හැරගිය කොටස් යළි එකතු කළ යුතු බවත්ය. විශේෂයෙන්ම කලක් පක්ෂයේ අනුශාසකවරිය ලෙස කටයුතු කළ චන්ද්‍රිකා නැවත පක්ෂයට ගෙන ආ යුතු බවද ඔවුන්ගේ මතය වී තිබේ. එසේ කිරීමෙන් අනතුරුව වෙනත් පක්ෂ සමග සන්ධානගත විය යුතු බව එම කණ්ඩායමේ මතය වී ඇති බව සඳහන්ය.

කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක්ද?

නමුත් මේ වන විට චන්ද්‍රිකා සිටින්නේ මෛත්‍රි ඇතුළු ශ්‍රීලනිප නායකයන්ට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරමිනි. එම නිසා දුමින්ද, ලසන්ත, නිමල් ඇතුළු කණ්ඩායම මේ වන විට පක්ෂය ඇතුළේ ගෙන යන මතයට එරෙහිව මෛත්‍රිපාලගේ කණ්ඩායම දැඩි විරෝධයක් මතුකොට ඇති බවක්ද දැනගන්නට ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීම වැළැක්වීමටත්, තවදුරටත් අමාත්‍ය ධුර දැරීමට ඇති අවශ්‍යතාවත් නිසා මෙම පිරිස ශ්‍රීලනිපය ඇතුළේ යම් ගැටුමක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බවකි. බැසිල්ගේ සැලැස්මකට අනුව මෙම පිරිස ශ්‍රීලනිපය ඇතුළේ මෙම කුමන්ත්‍රණය දියත් කරමින් සිටින බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබිණි.

චන්ද්‍රිකා ඉදිරියට දමා විමුක්ති එන්න යනවාද!

කෙසේවෙතත් චන්ද්‍රිකා සම්බන්ධයෙන් කතා කරද්දී මීට මාස කිහිපයකට පෙර අප විශේෂ කරුණක් මෙම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ සටහන් කිරීමට පියවර ගත්තෙමු. ඒ, චන්ද්‍රිකාගේ පුතණුවන් වන විමුක්තිත්, දියණිය වන යශෝධරාත් ලංකාවට පැමිණ මාසයක පමණ කාලයක් හොරගොල්ලේ ගතකොට ඇති බවය. මෙම ගමනේදී විමුක්ති වෙනදාට වඩා දේශපාලනය සම්බන්ධයෙන් කතාකොට ඇති බවත්, ඊට අදාළ පාර්ශ්ව කිහිපයක්ම හමුවී සාකච්ඡා කොට ඇති බවත් අප එහිදී වාර්තා කොට සිටියෙමු. ඒ අනුව අප මෙවර වාර්තා කරන්නේ විමුක්ති පිළිබඳ තවත් විශේෂ පුවතක්ය. එනම් මේ වන විටද විමුක්ති ලංකාවට පැමිණ ඇති බවය. මින් පෙර කිසිදු අවස්ථාවක මාසයක වැනි කාලයක් ඇතුළත දෙවතාවක් විමුක්ති මේ ආකාරයට ලංකාවට පැමිණ නැති නිසා බොහෝ දෙනා කියා සිටින්නේ දේශපාලනයට පිවිසීමේ අරමුණ ඇතිව මෙසේ විමුක්ති ලංකාවට පැමිණ ඇතැයි කියාය. වෙනත් දරුවන්ට වඩා විමුක්තිට සිය මවගේ පාර්ශ්වයෙන් මෙන්ම පියාගේ පාර්ශ්වයෙන්ද දේශපාලන ලේ උරුමක්කාරකම ලියැවී ඇති නිසා බොහෝ දෙනා සිතා සිටින්නේ චන්ද්‍රිකාව ඉදිරියට දමා විමුක්ති මේ වන විට සිය දේශපාලන ගමන ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කියාය. දුමින්දලා, අලගියවන්නලා, නිමල් සිරිපාලලා මේ වන විට කරමින් සිටින්නේ එම පෙරහැරේ කස පිපිරවීම බවත් ඔවුන්ගෙ මතය වී තිබේ.

සදුදා ලංකාව එන අමෙරිකානුවන්!

පසුගිය කාලය පුරාම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා එක් බාධකයක් වී තිබුණේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදීන් ඒ සම්බන්ධයෙන් ගෙන ගිය විරෝධතාය. නමුත් මේ වන විට විමල් ඇතුළු කණ්ඩායමම ආණ්ඩුවෙන් ඉවත් කොට ඇති නිසා බැසිල් මේ වන විට සූදානමින් සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට ගොස් දැනට රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා මඟ පාදා ගැනීමටය. ඒ අනුව මීට මාස දෙකකට පෙර සිටම බැසිල් මූල්‍ය අරමුදල සමග කිසියම් සංවාදයක නිරතව සිටියේය. ඒ සඳහා බලපෑ තවත් හේතුවක්ද තිබිණි. ඒ, ඉන්දියාව විසින් මෙන්ම මැදපෙරදිග රටවල් සහ චීනය විසින්ද චීනය විසින්ද කර තිබූ දැනුම්දීමකි. බැසිල් මෙම රටවලින් දිගින් දිගටම ආධාර ලබාදෙන ලෙස ඉල්ලීම් කරද්දී ඔවුන් දැනුම්දී තිබුණේ පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කිසියම් වැඩපිළිවෙළක් සකසා ගන්නා ලෙසත්, ඉන් අනතුරුව තම රටවලටද ලංකාවට උපකාර කළ හැකි බවත්ය. ඒ අනුව මාස දෙකක් පුරා සිදුකළ සංවාදයකින් අනතුරුව පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට දැනුම්දී තිබුණේ සඳුදා (14) දින සිය සංවිධානයේ ඉහළම නියෝජිතයන් දෙදෙනකු ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවකි. එසේ සඳුදා පැමිණෙන නියෝජිතයන් දෙදෙනා එදිනම බැසිල් හමුවීමට නියමිත අතර අඟහරුවාදා දිනයේදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

සාකච්ජාවට එන්නෙ කව්ද?

කෙසේ වෙතත් මෙම හමුවේදී මුදල් අමාත්‍යවරයා සමග එම සාකච්ඡාවට සම්බන්ධ වන පිරිස සම්බන්ධයෙන් මේ වන විට කිසියම් කසුකුසුවක් ආණ්ඩුව ඇතුළේ මතුව ඇති බවක් දැකගන්නට තිබේ. මන්ද යත් රටේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඉහළම වගකීම් දරන සිවුදෙනකුම මෙම මූල්‍ය අරමුදල සමග ගනුදෙනුවකට යෑම සම්බන්ධයෙන් විරෝධය පළකරන බවට බැසිල් විසින් හඳුනාගෙන තිබීම ඊට හේතුවය. ඉන් එක් අයකු ලෙස සැලකෙන්නේ හිටපු ජනාධිපති ලේකම්වරයා වන පී.බී. ජයසුන්දරය. දෙවැන්නා වන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වන එස්.ආර්. ආටිගලය. තෙවැන්නා වන්නේ මහ බැංකු අධිපතිවරයා වන අජිත් නිවාඩ් කබ්රාල්ය. සිවුවැන්නා වන්නේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක්ය. ඒ අනුව බැසිල් මෙම සාකච්ඡාවට මේ අයගෙන් කවුරුන් සම්බන්ධ කරගන්නවාද යන්න පිළිබඳ මේ වන විට ඇත්තේ මහත් ආන්දෝලනයකි.

මේ ආකාරයට ලංකාවට පැමිණෙන මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් දෙදෙනා රැගෙන එන්නේ වෙන කිසිවක් නොව, රටේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් යෝජනාවලියකි. නැතහොත් කොන්දේසි සහිත සැලැස්මකි. ඊට එකඟ වන්නේ නම් පමණක් ඉතා කෙටි කාලසීමාවකට ශ්‍රී ලංකා රජය වෙත මූල්‍ය ආධාර ලබාදීමට මූල්‍ය අරමුදල කටයුතු කරනු ඇත.

බැසිල් ඉල්ලන්න යන දේ!

ඒ අනුව මෙම කොන්දේසි අධ්‍යයනය කිරීමෙන් පසු බැසිල්ද සූදානමින් සිටින්නේ අප්‍රේල් දෙවැනි සතියේ වොෂින්ටනයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානය වෙත යෑමටය. එහිදී බැසිල් විසින් ඉල්ලීම් කිහිපයක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබාදීමට සූදානමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඉන් පළමුවැන්න නම් ගෙවීමට ඇති ණය සඳහා සහන කාලයක් ලබාදෙන ලෙසටව ඉල්ලීමය. ලබන ජුනි මාසය වන විට ඩොලර් බිලියන 7ක පමණ ණය මුදලක් ගෙවීමට ඇති නමුත් මේ වන විට ලංකාව පත්ව ඇත්තේ එම ණය ගෙවීමට හැකි තත්ත්වයකට නොවේ. එම නිසා ණය ගෙවීම පැහැරහැරියහොත් රට බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත්වීම වැළැක්විය නොහැකිය. ඒ අනුව බැසිල්ගේ තවත් ඉල්ලීමක් වී ඇත්තේ රට බංකොලොත් බව ප්‍රකාශයට පත්වීමට පෙර ණය ගෙවීම සඳහා මේ සහන කාලයක් ලබාගැනීමත්, සහන කොන්දේසි යටතේ එම ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමත්ය. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බංකොලොත් වීමට යන රටකට වසර එකහමාරක පමණ කාලයක් එම රටට ලබාදෙන අතර, බැසිල්ගේ අරමුණ වී ඇත්තේ එම කාලසීමාව කෙසේ හෝ ලංකාවට ලබාගැනීමය.

ජන්ද 11ක් නොගත්තොත් සුන්!

කෙසේ වෙතත් බැසිල් විසින් එම ඉල්ලීම් මාලාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබාදුන් පසු ඊට පසු දිනම එම අරමුදල විසින් මුදල් නිකුත් කරන්නේ නැත. ඒ සඳහා දීර්ඝ ක්‍රියාවලියක් පවතී. එමෙන්ම පසු කළ යුතු බාධකයන් කිහිපයක් පවතී. ඉන් පළමු බාධකය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටවල ඡන්ද විමසීමකට ලංකාවට යටත්වීමට සිදුවීමය. එහිදී අවම වශයෙන් 50%කවත් ඡන්දයක් ලබාගත යුතු අතර, එය රටවල් වශයෙන් ගතහොත් සාමාජික රටවල් 11ක ඡන්ද ප්‍රමාණයකි. දැනට පවතින තත්ත්වය යටතේ මූල්‍ය අරමුදලේ සාමාජිකයන් වන චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව වැනි රටවල ඡන්දය ලබාගැනීමට ලංකාවට අපහසු නොවනු ඇත. නමුත් ගැටලුව ඇත්තේ බි්‍රතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් ලංකාව සම්බන්ධයෙන් කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇද්ද යන්න පිළිබඳවය. ලංකාවට මූල්‍ය අරමුදල සහාය ලබාදෙනවාද යන්න තීන්දු වන්නේ එම රටවල් ගන්නා තීන්දුව මතය.

පුංචි ජන්දයට ආණ්ඩුව මාරු වෙයි!

මේ සියලු සිදුවීම් මැද ආණ්ඩුව පසුගිය සතියේ තවත් ඉතා රහසිගත සාකච්ඡාවක් පවත්වා බරපතළ දේශපාලන තීන්දුවක් ගෙන ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, ලබන සැප්තැම්බර් මාසයට පෙර නියත වශයෙන්ම පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් කිරීමටය. මේ සාකච්ඡාවට ජනාධිපතිවරයාද සහභාගි වී ඇති අතර ඊට ඔහුගේ එකඟතාවද ලැබී ඇති බව සඳහන්ය. මීට කලින් ආණ්ඩුව සිටියේ දිගින් දිගටම එල්ලවූ ඉන්දීය බලපෑම් හමුවේ අගෝස්තු මාසයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කිරීමටය. නමුත් පසුගිය සතිය වන විට ආණ්ඩුව ඇතුළේ පැවැති දීර්ඝ සාකච්ඡා වටයකදී පවතින තත්ත්වය යටතේ ආණ්ඩුවට වඩාත් වාසිසහගත තත්ත්වය වන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමද, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමද යන්න සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති බවක් දැනගන්නට ලැබිණි. යම් හෙයකින් පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් අනිවාර්යයෙන්ම උතුරු, නැගෙනහිර, බස්නාහිර, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ආණ්ඩුවට අවාසිසහගත තත්ත්වයක් මතුවිය හැකි බව මෙහිදී ඇතැමුන් පෙන්වා දී ඇති අතර එම නිසා පළාත් සභා මැතිවරණය කල්තැබීමටත්, ඒ වෙනුවට පළාත් පාලන මැතිවරණය සැප්තැම්බර් වන විට පවත්වා අවසන් කිරීමටත් යෝජනා කර ඇති බව ආරංචිය.

සැප්තැම්බරයට ගන්න හේතුව!

එය සැප්තැම්බර් මාසයට ගැනීමටද ආණ්ඩුවට හේතු කිහිපයක් බලපා ඇත. ඉන් පළමුවැන්න වන්නේ සැප්තැම්බර් මාසයේදී ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ ආණ්ඩුවට එරෙහිව බරපතළ යෝජනාවක් සම්මත වීමට නියමිතව තිබීමය. පසුගියදා අවසන් වූ ජිනීවා කොමිසමේදී යුක්රේන යුද්ධය හේතුකොට ගෙන ලංකාව සම්බන්ධයෙන් වූ මාතෘකාවට වැඩි අවධානයක් යොමු නොවුණත් ජිනීවා මහ කොමසාරිස්වරිය වූ මිෂෙල් බැෂලේ සහ බි්‍රතාන්‍ය-ඇමෙරිකානු නියෝජිතයන් ලංකාවට එරෙහිව බරපතළ ප්‍රකාශයන් සිදුකර තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන සමුළුවේදී ලංකාවට එරෙහිව සම්බාධක පනවන මට්ටමේ යෝජනාවක් සම්මත වීමේ ඉඩකඩක් මතුවනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී ඇත. ඒ අනුව ආණ්ඩුව සැලසුම් කොට ඇත්තේ සැප්තැම්බරයට පෙරාතුව මැතිවරණය පවත්වා තවමත් ආණ්ඩුවට ජනබලය පවතින බව ජාත්‍යන්තරයට පෙන්වීමටය.

ආණ්ඩුව මෙම උපාය මීට පෙර අවස්ථා කිහිපයකදීම ක්‍රියාවේ යොදවා සාර්ථක කරගෙන තිබිණි. උදාහරණයක් ලෙස 2009 වසරේදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් යුද අපරාධ චෝදනා එල්ල වද්දී කඩින්කඩ මැතිවරණ පවත්වා, ඒවා ජයග්‍රහණය කරමින් ජනමතය තවමත් ආණ්ඩුවට පවතින බව පෙන්වා දීමට සමත් විය. ඒ හේතුවෙන් විපක්ෂය පවා එකල සිටියේ මැතිවරණයක් දිනනවා තබා කෙළින් කටින් සිටිය නොහැකි තත්ත්වයකය. එවැනි පසුබිමකදී ජාත්‍යන්තරයට පවා ලංකාවට කළ හැකිව තිබූ බලපෑම ඉතා අවම මට්ටමක පැවැතිණි. ඒ අනුව මෙවර බැසිල් සූදානම් වන්නේ 2009න් පසු ක්‍රියාත්මක කළ එම න්‍යාය නැවත වතාවක් ක්‍රියාවේ යෙදවීමටය.

දිනන්න පුලුවන් ගණන මෙන්න!

ඒ ආකාරයට ආණ්ඩුව හදිසියේම පළාත් පාලන මැතිවරණයට ගියහොත් කුමක් සිදුවනු ඇද්ද? ආණ්ඩුවද ඒ සම්බන්ධයෙන් විග්‍රහයක් සිදුකොට නැතුවා නොවේ. 2018 පැවැති පුංචි ඡන්දයෙන් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 300 ගණනකින් 290ක ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීමට පොහොට්ටුවට හැකියාව ලැබිණි. නමුත් මේ වන විට රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදයත්, අනෙකුත් දේශපාලන ප්‍රශ්නත් මුල් කොට ගෙන ආණ්ඩුවේ සැලසුම වී ඇත්තේ අවම වශයෙන් ප්‍රාදේශීය සභා 180ත් 190ත් අතර සංඛ්‍යාවක් ජයගහණය කිරීමටය. එවැනි ජයග්‍රහණයක් ලබාගතහොත් බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ බව කියමින් යම් මතයක් ජාත්‍යන්තරයට පෙන්වීම ආණ්ඩුවේ සැලසුම වී තිබේ. ඒ අනුව බැසිල් මේ දිනවල පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වේ.

අමුතු ජන්ද ක්‍රමයක් හදයි!

මේ සියල්ල අතරවාරයේ වැඩි සද්දයකින් තොරවම තවත් මෙහෙයුමකටද ආණ්ඩුව අතගසා ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ, පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ කටයුත්තටය. සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනයක සභාපති ධුරය ලබාගැනීම සඳහා 50%ක් ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබාගත යුතුය. නමුත් ආණ්ඩුව හඳුන්වා දීමට යන අලුත් ඡන්ද ක්‍රමයේදී ඒ සඳහා 50%ක ඡන්ද ක්‍රමයක් ලබාගැනීමට අවශ්‍ය නැත. 35%ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත හොත් සභාපති ධුරය ලබාගත හැකි බව ආණ්ඩුවේ නව ඡන්ද ක්‍රමයේ සැලසුම වී තිබේ. එම සැලැස්ම ක්‍රියාත්මක වුවහොත් සුළු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට කිසිදු පළාත් පාලන ආයතනයක බලය ඇල්ලීමට හැකියාවක් නොලැබෙන අතර ප්‍රධාන පක්ෂ දෙකට පමණක් එහි බලය බෙදීයෑම වැළැක්විය නොහැකිය.

මද්දුමබණ්ඩාරත් එකග වෙලා!

ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ සියලු පක්ෂ සමග සාකච්ඡාවක් පැවැති අතර එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් පැමිණි රංජිත් මද්දුමබණ්ඩාර මහතා ආණ්ඩුව පැත්තෙන් ගෙන ආ මෙම යෝජනාවට වාචිකව එකඟතාව පළකර තිබීමය. මේ තත්ත්වය මොහොතක් යෑමට මත්තෙන් සුළු පක්ෂවලටත්, ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකරටත් දැනගන්නට ලැබිණි. දයාසිරි ඒ බව මෛත්‍රිට දැනුම් දී සිටීමට පියවර ගත්තේය. එහිදී මෛත්‍රිද කියා සිටියේ ආණ්ඩුවේ මෙම යෝජනාවට විරෝධය පළ කළ යුතු යැයි කියාය. ඒ අනුව දයාසිරි රංජිත්ට කතාකොට ආණ්ඩුවේ සැලසුම පෙන්වා දීමෙන් පසු රංජිත්ද කියා සිටියේ එම සැලසුමට වාචිකව එකඟ වූ නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නැතැයි කියාය. එවැනි අවස්ථාවකදී සමගි ජන බලවේගය ඊට විරෝධය පළකරන බව රංජිත් එහිදී දයාසිරිටද කියා සිටියේය. මීට අමතරව විමල්ද පසුගිය දිනෙක මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ආණ්ඩුවේ මෙම සැලසුම පරාජය කිරීමට පියවර ගන්නවා යැයි කියාය.

සජිත්ට ලැබුණු අලුත්ම ගෞරව නාමය!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට’ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් ‘ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමය පිරිනැමීමේ පුණ්‍යමය කටයුත්ත සිකුරාදා (11) සිදුවිය. ආගමික සහ සංස්කෘතික වශයෙන් මෙය අතිශයින් දුර්ලභ සහ සුවිශේෂ අවස්ථාවක් විය.

අදාළ ගෞරව ගෞරව නාම සම්මානය වෙනුවෙන් දිවයිනේ ප්‍රකටතම සහ ගෞරවනීය’ භික්ෂුන් වහන්සේලා සජිත්ට සුබ පතන්නට අමතක කළේ නැත.

‘විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සිදුකරනු ලබන ජාතික, ආගමික, සමාජික’ කටයුතුද සැලකිල්ලට ගෙන මෙම සම්මාන උපාධිය පිරිනමන’ බව’අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන් සිය ප්‍රසාදය පළ කළහ.

‘සමාජ ප්‍රගමනය උදෙසාත්, ශාසනයේ සුරක්ෂාව උදෙසාත් ධර්මකාමීව කටයුතු කරන සත්පුරුෂයන් සම්මානයට පාත්‍ර කිරීම චිරාගත සාසනික චාරිත්‍රයක්. මල්වතු මහා විහාරය මගින්’ ‘ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන’ යන ගෞරව නාමයෙන් සම්භාවනාව පාත්‍රව සිටින ගරු සජිත් ප්‍රේමදාස මහතා’ සමාජිය, ආගමික හා සේවයට උපහාර වශයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් එතුමන් ගෞරව නාමයකින් සම්භාවනාවට පත් කිරීම සන්තෝෂයට කරුණක්.

සිය තනතුර හා ප්‍රතිබද්ධිත වගකීම් සමුදායන් මනාව’ පූර්ණය කරමින් සැබෑ මානව දයාවෙන් දේශයේ උන්නතිය උදෙසා කටයුතු කරනවා’ යැයි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන’මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ, මහානාහිමියෝ සුබපැතූහ.

‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස පසුගිය කාලසීමාවන්හිදී සිදුකළ ජාතික, ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික හා සමාජයීය සංවර්ධන ක්‍රියාවලිය පැසසුම්ශීලී වේ. වර්තමානයේ විපක්ෂ නායකවරයා ලෙස රට වෙනුවෙන් සිදුකරනු ලබන සේවය මම අගය කරනවා.

මහා විහාරවංශික ශ්‍රී රාමඤ්ඤ මහා නිකාය මගින් ගරු සම්භාවනාවට පාත්‍ර සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමන්ට තව තවත් රට දැය සමය වෙනුවෙන් වැඩ වඩන්නට චිරජීවනය හා ශක්තිය ධෛර්ය ලැබේවායි ආශිර්වාද කරනවා’යැයි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක,’අග්ගමහාපණ්ඩිත, දොඩම්පහළ චන්දසිරි මහනාහිමිපාණන් වහන්සේ පැවසූහ.

‘සජිත් ප්‍රේමදාස මැතිතුමා සත්පුරුෂ ගුණධර්මවලින් හා මහත්මා ගති පැවතුම්වලින් පිරිපුන් සුවිශේෂ චරිතයක්. එතුමා තුළ දක්නට ලැබෙන කාර්යශූරත්වය හා ශික්ෂණය තුළින් අප මාතෘ භූමිය වෙත සිදුකරනු ලබන සේවය ඉමහත්. එය ශ්‍රී ලංකික ජනතාව ලැබූ මහඟු දායාදයක් බව අප සැමගේ විශ්වාසයයි. මන්ත්‍රීවරයකු වශයෙන්ද, ඇැමතිවරයකු වශයෙන්ද වර්තමානයේ විපක්ෂ නායකවරයා වශයෙන්ද සිදුකරනු ලබන අනුපමේය සේවය පැසසුම් කටයුතුයි. තමන්ට බලය ඇති කල මෙන්ම බලය නැති කලද එක සේ ජනතාවට සේවය කරනු ලබන මහජන නියෝජිතයන් අතලොස්ස අතරින් නැපීපෙනෙන චරිතයක් වන සජිත් ප්‍රේමදාස මහතා තම පියා ගිය අඩිපාරේ යමින් ශ්‍රී ලංකාවාසී ජනයා වෙනුවෙන් සිදුකරනු ලබන සේවය මෙන්ම ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා සිදුකරනු ලබන උදාර මෙහෙවරද මෙම අවස්ථාවේදී පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරනවා’.

අතිපූජ්‍ය ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මහානායක ස්ථවිරයන් වහන්සේ විපක්ෂ නායක සජිත් ට ආශිර්වාද කළේ එසේය.

මීට පෙර මල්වතු අස්ගිරි පාර්ශ්වයන් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ට’‘’ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන‘ ‍ගෞරව නාමය පිරිනැමීය.

‘ත්‍රෛනිකායික මහා මහා සංඝරත්නයෙන්ම මේ විදිහට ආශිර්වාද ලබාගත්ත වෙන කිසිම නායකයෙක් ගැන අපි දන්නේ නැහැ‘ ගයන්ත කරුණාතිලක කීවේය.

‘ඔව් අපි අහල තියෙන්නෙ ජනරංජන අගමැති කියලා ඩඩ්ලි සේනානායක මහත්තයා ගැන. එතුමට මිනිස්සු එහෙම කීවා. ඔබතුමාට ත්‍රෛනිකායික මහා සංඝරත්නයම ජනරංජන නාමය පිරිනමලා තියෙනවා.ඒක විශාල භාග්‍යයක්‘ මහලේකම් රංජිත් එහෙම කීවේ ය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රන්ජන් තවත් ලෙඩක් දාගනී! පැන්ඩෝරා රහස් හෙළිකරනවා කිව්වාට සති 6ක් ගිහිල්ලත් මොනවත් කියලා නෑ! අන්තිමේදී දිව්රුම් ප්‍රකාශයක් එවලා!

Next Post

අපි කියපු කතාව ගම්මන්පිල තහවුරු කරයි! ‘ආණ්ඩුව මගේ කට වැහුවා!’ ගම්මන්පිල ට්විටර් පණිවුඩයකින් ලෝකෙටම කියයි!

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.