• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

විම-ලේ සහ රාජපක්ෂ ලේ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

March 5, 2022
in Exclusive, Gurudawa
Reading Time: 15 mins read
A A
විම-ලේ සහ රාජපක්ෂ ලේ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2002 රනිල්ගේ ආණ්ඩුවේ ඇමැති ධුර පවරාගන්න කලින් එවක ජනාධිපතිනි චන්ද්‍රිකා මාධ්‍ය ප්‍රධානීන්ට ජනාධිපති මන්දිරයේ පාටියක් දුන්නාය. ඒ පාටියට එවක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද පැමිණ සිටියේය. ඒත් චන්ද්‍රිකා ඔහුට දී තිබුණේ කොනක අසුනකි. චන්ද්‍රිකා හිටියේ ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, සරත් අමුණුගම වටකරගෙනය. චන්ද්‍රිකාගේ දෝෂදර්ශනයට ලක්වේදෝයි බියෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද මහින්ද සමීපයට යෑමට මැළි විය. මහින්ද ළඟ හිටියේ දමිළ පුවත්පතක කර්තෘවරයෙකි.

‘චන්ද්‍රිකාට පිස්සු. ඇයි ජවිපෙ සමග සන්ධානයකට යන්න හදන්නේ…’

මහින්ද දමිළ කර්තෘගේ කනට කර කීවේය.

‘ඇයි ඔබ එයට විරුද්ධ වෙන්නෙ…?’

දමිළ කර්තෘ මහින්දගෙන් ඇසුවේය.

‘ඒගොල්ලො ඇතුළට ගත්තා වගේ නෙමේ. රණ්ඩු කරගෙන එළියට යනකොට සර්පයෝ වගේ ගහන්නේ…’

මහින්ද උත්තර දුන්නේය. මහින්ද කිව්වා හරිය. ජවිපෙ චන්ද්‍රිකා සමග 2004 සන්ධානගත විය. 2005 සන්ධානයෙන් ඉවත් වුණේ චන්ද්‍රිකාට දුවන්න ගහලාය. හැබැයි අරම කිව්ව මහින්දත් 2005 ජනාධිපති වෙන්න ජවිපෙ සමග සන්ධානගත විය. 2007 දෙසැම්බරයේ අයවැයේදී ජවිපෙ සන්ධානයෙන් ඉවත් වෙන්න තීරණය කළේය. ජවිපෙ තමන්ට දුවන්න ගහන බව මහින්ද දැන සිටියේය. ඔහු ජවිපෙ දෙකඩ කළේය. ඒ වැඩේ ඔහු භාරදුන්නේ බැසිල්ටය. මහින්දට ඕනෑ වුණේ එකල ජවිපෙ සුපර් ස්ටාර් විමල්ව කඩන්නටය. විමල්ව කඩාගතහොත් ජවිපෙ ගහන ගැහිලි වදින්නේ නැතැයි මහින්ද හිතන්න ඇත. බැසිල්, විමල් එක්ක විශාල පිරිසක් ජවිපෙන් කැඩුවේය. එතැන් සිට විමල් ජවිපෙ නොව රාජපක්ෂලාගේ සුපර් ස්ටාර් විය. පහත දැක්වෙන්නේ විමල් ගැන මහින්ද කී අපූරු කතාය.

‘විමල් ලෑස්ති වෙන්න අපි දෙන්නටම එකට හිර ගෙදර යන්න වෙයි…’
01.05.2016

‘සතුරෝ විමල්ටයි, මටයි දෙන්නාටම ගැහුවා. ඒ ප්‍රහාරයේදි විමල් දෙවැනි වුණේ මට විතරයි…’
23.02.2020

‘මහින්ද රාජපක්ෂව මැදමුලනේ ජනේලේ එල්ලුවා කියලා ෂැම්පේන් බොන්න වාඩිවුණු උදවිය ෂැම්පේන් බෝතලය කඩන්නත් කලින් විමල් ඇතුළු කණ්ඩායම මාව නුගේගොඩට ගෙනාවා…’
23.02.2020

මහින්ද මෙහෙම කියද්දී මහින්දගේ පුතා ඔටුන්න හිමි කුමාරයා නාමල් කීවේ මෙහෙමය.

‘විමල් කියන්නේ අපේ පවුලේ සහෝදරයෙක්…’

අද එක පෑන් පහරින් රාජපක්ෂවරු විමල්ගේ සහෝදරකම අයින් කරගෙන ඇත. බ්‍රහස්පතින්දා රාත්‍රියේ විමල්වයි, උදය ගම්මන්පිලවයි ඇමැති ධුරවලින් ඉවත් කිරීම රාජපක්ෂ පවුලේ කෙනෙක් ඉවත් කෙරුවා සමානව මිනිස්සු අතර ආන්දෝලනයකට ලක්විය. 2007 ජවිපෙ මහින්දගෙන් ඉවත් වෙන විට මහින්ද බය වුණේ විමල්ටය. විමල්ව තියාගත්තේ ඒ නිසාය.

‘ඇයි මහින්ද ගෝඨායි බැසිල් එක්කයි එකතු වෙලා විමල්ව අතහැරියේ, විමල්ගෙන් වැඩක් නැහැ කියලා හිතලද?’

1975 එවක අගමැතිනි බණ්ඩාරනායක මැතිනියත්, ඇන්.ඇම්. ගැන, කොල්වින් ගැන එහෙම හිතුවාය. එහෙම හිතල ඇය ඇන්.ඇම්.වත් කොල්වින්වත් ඇමැතිකම්වලින් ඉවත් කළාය. පහත දැක්වෙන්නේ මැතිනිය සහ ඇන්.ඇම්.ලා අතර දීගයට කපුකම් කළ ටී.බී. ඉලංගරත්න ඒ ගැන ‘යුගයක ගමන’ පොතෙහි ලියපු කතාවය.

“මෙම අවධියේ එක්තරා අඟහරුවාදා රාත්‍රියක අගමැතිනිය දුරකතනයෙන් මා අමතා මුදල් ඇමැති ඇන්.ඇම්. කොළඹ ප්‍රසිද්ධ රැස්වීමකදී රජය හා ශ්‍රී.ල.නි.පයේ නිර්මාතෘවර දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමා දරුණු වචනවලින් විවේචනය කර ඇති බව රාජ්‍ය පාක්ෂික පත්‍ර කර්තෘවරයකුගෙන් ඇයට ආරංචි වූ නිසා පසුවදාට නියමිත ඇමැති මණ්ඩල රැස්වීම නොකැඳවීමට අදහස් කරන බව කීවාය.

එවැනි බරපතළ තීරණයක් වහාම නොගෙන පසුවදා සියලුම පත්‍ර වාර්තා පරීක්ෂා කර බලා ක්‍රියාකිරීම මැනවැයි මම උපදෙස් දුනිමි.

පත්‍ර කිහිපයක්මත්, ල.ස.ස.ප.යේ නිල පත්‍රය වූ ජනදිනයේත් ඇන්.ඇම්.ගේ කතාව අගමැතිනියට ආරංචි වූ ආකාරයෙන්ම පළවී තිබිණි. ඒ අනුව ඇමැති මණ්ඩල නිල රැස්වීම කල්දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් පමණක් කැඳවා පැනනැඟී ඇති තත්ත්වය ගැන සාකච්ඡා කළාය.

නොයෙක් මත ඉදිරිපත් කළහ. මා කියා සිටියේ අපේ ප්‍රතිචාරය වශයෙන් පියවර ගන්නා විට කාරණා තුනක් සිත තබාගත යුතු බවය. එනම් ල.ස.ස.ප.යට දොර නොවැසීම, විනය තහවුරු කිරීම හා මෙවැනි සිද්ධියක් නැවත සිදුවීමට ඉඩ නොතැබීමත් යන්නයි.

කලින් යොදාගෙන සිටි පරිදි පසුවදා මම මොස්කව් බලා යන විට ‘ජනදින’ පිටපත් කිහිපයකුත් රැගෙන ගොස් එහි නිල සංචාරයක යෙදී සිටි සුබසිංහ හා ජෝර්ජ් රාජපක්ෂ ඇමැතිවරුන්ට අදාළ වාර්තා පෙන්වීමි. ඔවුහු පුදුම වූහ.

සතියක සංචාරයකින් පසු මා කොළඹට ආ විට අගමැතිනියගේ පණිවුඩය අනුව ඇය හමුවීමට මම ගියෙමි. ඇයගෙන් මට දැනගන්නට ලැබුණේ ඇන්.ඇම්.ට මුදල් ඇමැතිකම වෙනුවට වෙළෙඳ ඇමැතිකමත්, කොල්වින්ට ඔහු දැරූ ඇමැතිකමේ අංශයකුත්, ලෙස්ලිට ප්‍රවාහන ඇමැතිකම වෙනුවට කම්කරු ඇමැතිකමත් ප්‍රදානය කළ බවත්, එයට ඒ අය අකැමැති නිසා ඇමැති රැස්වීම් නොපවත්වන බවත්ය.

මේ තත්ත්වය මට තර්කානුකූලව අවබෝධ කරගත නොහැකි විය. ලංකා සමසමාජ පක්ෂය සමග දිගටම වැඩකිරීමට අගමැතිනිය එකඟ වූවා නම් ඇමැති මාරුව කොන්දේසියක් කරගැනීම කාලෝචිත නොවූ හෙයිනි. මා එවැනි තර්ක දිරිපත් කළොත් ගැටය තවත් තදවිය හැකි නිසා ඒ ගැන නොවෙහෙසුණෙමි. අවශ්‍යව තිබුණේ මතුව ඇති අවදානමෙන් ගොඩ ඒමය.

ඒ අනුව මහ මැතිවරණයට පෙර ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනා ඇන්.ඇම්.ගේ තනි මතයට සකස් කිරීම නුවණට හුරු නොවන්නේ යැයි සිතන්නේ නම් කළ යුතුව ඇත්තේ මුළු ඇමැති මණ්ඩලයම උචිත යැයි පිළිගත හැකි අයවැය රාමුවක් සකස්කොට ඒ අනුව ක්‍රියා කිරීමට ඔහු එකඟ නම් මුදල් ඇමැතිකම නැවතත් ඔහුට භාරදීමත්, එකඟ නොවුණොත් අන් කෙනකුට දීමත් බව මම අගමැතිනියට වාචිකවත් පසුව ලිඛිතවත් දැන්වීමි.

මගේ ඉල්ලීම අනුව ඇමැති මණ්ඩල රැස්වීමක් පවත්වන ලදී. පක්ෂ තුනේම සියලු ඇමැතිවරු පැමිණ සිටියහ. අගමැතිනිය ඇතුළු සියල්ලෝම මා දෙස බැලූහ. එයින් කෙරුණේ සාකච්ඡාවට මුලපිරීම මගෙන් බලාපොරොත්තු වන බවය.

මම ඒ ඇරයුම භාරගතිමි. හර්තාල රැස්වීමේදී ඇන්.ඇම්. කළ ප්‍රසිද්ධ කතාව නිසා සමගිය කෙරෙහි ජනතා විශ්වාසය පිරිහී ඇති බවත්, එම කතාව සමගියෙන් වෙන්වීම අරමුණු කරගෙන කරන ලද්දක් යනු ජනතා මතය බවත්, එසේ නැතහොත් සමගි රජය කෙරෙහි ජනතා විශ්වාසය නැවත හරවා ගැනීම පිණිස පිළියම් යෙදවිය යුතු බවත් පවසමින් මම සාකච්ඡාව ආරම්භ කළෙමි.

ඇන්.ඇම්. කියා සිටියේ සමගිය බිඳ හෙළීමේ වේතනාවෙන් එය නොකළ බවත්, එම කතාවෙන් යමෙක් හිත් තැවුලට පත්වී නම් තමා කනගාටු වන බවත්ය.

ඒ සම්බන්ධව දීර්ඝ ලෙස අදහස් පළකළ පසු අගමැතිනියටත්, කොල්වින්ටත් සාකච්ඡා කර සමථයකට බසින ලෙස දෙදෙනාගෙන්ම ඉල්ලා අපි මෑත් වූයෙමු.

සෑහෙන වෙලාවකින් පසුව දෙදෙනා අතර සංවාදය හමාර විය. කිවයුතු සියලු දේ අගමැතිනියට කී බව කොල්වින් ප්‍රකාශ කළෙන් ඇමැති මණ්ඩලය විසිර ගියේය. ඉන් පසු අගමැතිනිය තම පක්ෂයේ මන්ත්‍රීන්ට දන්වා සිටියේ ඇගේ ස්ථාවරයේ වෙනසක් නැති බවය.

අයවැය යෝජනා රාමුව මුළු ඇමැති මණ්ඩලය විසින්ම සකස් කර, එය අනුව ඇන්.ඇම්. මුදල් ඇමැතිකම් භාරගන්නට කැමැති නම් ඔහුට එය දීමට මා කළ යෝජනාවට මම අගමැතිනියගේ අවධානය නැවතත් යොමු කළෙමි.

වෙළෙඳ ඇමැති අංශයට ලංකාව පුරාම ඇති සමුපකාර සමිති මගින් ජනතා සම්බන්ධය මුදල් ඇමැති අංශයට වඩා ලබාගත හැකි බවද පෙන්වා දුනිමි.

අගමැතිනියගේ ස්ථාවරය වූයේ මුදල් ඇමැති ධුරය දරන්නාත් සමග නොයෙකුත් රාජකාරි අගමැති විසින් කළ යුතුව ඇති නිසා අවශ්‍ය සහයෝගය ඇන්.ඇම්.ගෙන් ලබාගත නොහැකි බවය.

මුදල් ඇමැතිකම ඇන්.ඇම්.ට නොදීමට පූර්ව නිගමනයකට ඇය බැස සිටි බව මට අවබෝධ විය. එහෙයින් තර්කවලින් පලක් නොමැති බව වටහා ගතිමි.

සුබසිංහ සහ කොබ්බෑකඩුව ඇමැතිවරුන්ද ඇමැති මණ්ඩල ලේකම් ඇම්.ඇෆ්. ආලිප් මහතාද හමුවී අර්බුදය ගැන සාකච්ඡා කළෙමු. අනතුරුව ල.ස.ස.ප.යටද අප හා සාකච්ඡාවට සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටියෙමු. ඒ අනුව කොල්වින් හා ලෙස්ලි ඇතුළු කිහිප දෙනෙක් අප නිවෙසට ආහ.

පැනනැඟී ඇති දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කර වෙළෙඳ ඇමැති අංශය මුදල් ඇමැති අංශයට වඩා ජනතා සම්බන්ධය අතින් බලවත් බව පෙන්වා දී, ඇන්.ඇම්. එය භාර නොගන්නේ මන්දැයි මම ඇසුවෙමි.

එයට කොල්වින්ගේ පිළිතුර වූයේ ප්‍රගතිශීලියකු ලෙස සලකන ලද මා දැරූ එම ඇමැති අංශය ල.ස.ස.ප.යට පවරා ගැනීම නොමනා යැයි ඔවුන් කල්පනා කළ බවයි.

එවැනි මාරුවකට කිසිම විරෝධයක් මගේ නම් නොමැති බව කීවෙමි. එයින් පලක් වූයේ නැත. ඒ වන විට ල.ස.ස.ප.යද තමන් අවඥාවට භාජනය වන අන්දමේ යටත්වීමකට අවනත නොවීමට තීරණය කර ඇති බව අනාවරණ විය.

ල.ස.ස.ප.යේ නිල ස්ථාවරය වූයේ ඇන්.ඇම්.ට මුදල් ඇමැතිකම නොලැබෙන්නේ නම් ල.ස.ස.ප.ය කැබිනට් මණ්ඩලයෙන් හා රජයේ මන්ත්‍රී කණ්ඩායමෙන්ද අස්වී විරුද්ධ පාක්ෂිකයන් ලෙස ක්‍රියාකරන බවය.

මේ බව ශ්‍රී.ලං.නි. පාක්ෂික අපි අගමැතිනියට වාර්තා කළෙමු. ල.ස.ස.ප.ය රජයෙන් අයින් වුවහොත් රජය දුර්වල වන බවත්, කොමියුනිස්ට් පක්ෂයත් එම පියවර ගැනීමට ඉඩ ඇති බවත්, එයින් ජනතාව කලකිරෙන නිසා මහ මැතිවරණයෙන් අප පරාජය විය හැකි බවත්, එසේ වුවහොත් ඊළඟට බලයට එන එජාප රජයේ පළිගැනීම්වලට අප ලක්වනු නියත බවත් පැවැසුවෙමි.

මොනම කරුණක් නිසාවත් ඇන්.ඇම්.ට මුදල් ඇමැතිකම දීම ඇයට කොහෙත්ම කළ නොහැකි බව තරයේම අගමැතිනිය කීවාය. ඒ ආකල්පයෙන් මට හැඟී ගියේ අප නොදන්නා පසුබිමක් ඇගේ එම තීරණයට තිබෙන බවය.

ඇතැමුන්ගේ මෙන් තමාගේ අල්මාරියේ ඇටසිකිළි නැති නිසා පළිගැනීම්වලට ඇය බිය නැතැයි ඒ සම්බන්ධව තම හිතවතුන්ට කී බව ප්‍රචාර විය.


ල.ස.ස.ප. ඇමැතිවරු කැබිනට් රැස්වීම් වැරුවෝය. ඒ අනුව 1975 සැප්තැම්බරයේදී ල.ස.ස.ප.ය ඇමැති මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබිණි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රීතියෙන් ඔදවැඩී ල.ස.ස.ප.යත් සමග එක්වී රජය විරෝධී ක්‍රියා උග්‍ර කළේය.”

ඒ, ටී.බී.ගේ කතාවය. පහත දැක්වෙන්නේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා තමාව මුදල් ඇමැති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවේ කළ කතාවෙන් උපුටාගත් කොටසකි.

“මා වෑයම් කළේ සමගිය කැඩෙන්නට හේතුව හර්තාල් රැස්වීමේදී කළ කතාව නොවන බව ඔප්පු කරන්නටයි. එය දක්වා තිබෙන්නේ ප්‍රශ්නය ව්‍යාකූල කරන්නටයි. නියම ප්‍රශ්නය තිබෙන්නේ එතැන නොවෙයි.

මගේ විශ්වාසයේ හැටියට අගමැතිනිය සහ එතුමිය අවට ඉන්න උදවිය මේ තීන්දුව ගෙන තිබෙන්නේ අද ඊයේ නොව බොහොම වේලපහිනුයි. පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා දොම්පේදී කියා තිබෙනවා, සැප්තැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩලයේ වෙනසක් වෙනවාය කියා. මුදලාලිලා ඔක්කොම පැහැදිලි වශයෙන් ඒ බව ප්‍රකාශ කර තිබෙනවා. අගමැතිනියගේ පුතණුවන්ගේ ‘අද’ පත්‍රයත් පැහැදිලි වශයෙන් ඒ බව කියා තිබෙනවා. ඇතැම් අය කියනවා ඔහු කියන දේවල් භාරගන්න එපා කියා. අම්මට බැරි නම් පුතා මට්ටු කරන්න අනික් අය මට්ටු කරන්නෙයි කියා අපට කියන්නෙ කොහොමද? තමන්ගෙ පුතා මට්ටු කරන්න බැරි අය අපට කියනවා, ‘ඒයි උඹලාගේ මිනිස්සු ඔක්කොම මට්ටු කරපන්’ කියා. 1974 දෙසැම්බර් 29 වැනිදා ‘අද’ කියනවා, ‘ඇමැති මාරුවක් අත ළඟ’ කියා. මේවා අද ඊයේ ඇතිවූ දේවල් නොවෙයි. මම කියන්නම් කවදද ඇතිවුණේ කියා.

1974 නොවැම්බර් මාසයේ මා අයවැය ලේඛනය ඉදිරිපත් කළ දාට පසුවදා මේ රටේ මුදලාලිලා තීන්දු කළා කැබිනට් මණ්ඩලයේ වෙනසක් ඇතිකරන්න ඕනෑ කියා. ඒ අයවැය ලේඛනයෙන් මුදලාලිලාට විරුද්ධව මා යුද්ධ ප්‍රකාශ කළා. මා හිටියොත් මගේ මීළඟ අයවැය ලේඛනයෙන් මුදලාලිලා ටිකෙනුයි ඔවුන්ගේ ආර්ථික බලයෙනුයි ඉතිරි වන්නේ ටිකයි. හුඟක් අය කම්මුතු වෙනවා කියා ඔවුන් දැනගත්තා. ඒ නිසා ක්‍රමානුකූලව සූදානම් කරගත්තා එය වෙනස් කරන්නට. තමුන්නාන්සේලා මැතිනියගේ ලියුම් කියවන්න. හර්තාල් සිද්ධිය පමණක් නොවෙයි, තවත් දිග හෑල්ලක් එතැන තිබෙනවා. මුදලාලිලා පැහැදිලි වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා සැප්තැම්බර්වල ඇමැති මණ්ඩලයේ වෙනසක් වෙනවා කියා. අද එය ඉටුවී තිබෙනවා. ඒකයි ඇත්ත. එසේ නැතිව කැබිනට් මණ්ඩලය ප්‍රතිශෝධනය කරන්න ඕනෑකම තිබුණා නම් වෙනස් කරන්නට තවත් ඇමැති ධුර තිබෙනවා. ඇයි අපි තුන්දෙනා පමණක් වෙනස් කරන්නේ? එයිනුත් දෙදෙනයි වෙනස් කරන්න යන්නේ. මා හිතනවා මගේ අමාත්‍යාංශය වෙනස් කිරීම ගැන මා කැමැති වුණොත් අනික් ඇමැති ධුරයන් වෙනසක් නොකරන්නට කැමැති වන්නට තිබුණා කියා. වුවමනා වී තිබෙන්නේ මුදල් ඇමැතිකමින් මා අයින් කරන්නයි. කාටද වුවමනා වී තිබෙන්නේ? මැතිනියට වඩා වුවමනා වී තිබෙන්නේ මේ ආණ්ඩුවේ ආරක්ෂාව යටතේ ලොකු මුදලාලිලා වී සිටින පොඩි මුදලාලිලාටයි. අර දාසටයි, මේ දාසටයි, පියදාසටයි, දාස මුදලාලිලාටයි. තමුන්නාන්සේලා දන්නවද මේ රටේ කිසිම ටෙන්ඩරයක් දී නැති බව, දාසලා සම්බන්ධ වී නැති? විදේශීය හා දේශීය හැම ටෙන්ඩරයකටම දාසලා සම්බන්ධයි. හිතේ තබාගන්න. ඕවා අපි දැන් එළිකරන්නම්. දැන් අපි නිදහස්. මෙපමණ කල් අපි කට වහගෙන සිටියා. දැන් අපි එකක් එකක් පාසා ඉදිරිපත් කරන්නම් කරන දේවල්.

හර්තාල් රැස්වීමේදී මා කළ කතාව නරක නිසා මා අයින් කරනවා. එහෙත් මා හොඳයි, විදේශීය හා දේශීය වෙළෙඳ ඇමැතිකමට. ඒ කොහොමද? මගේ කතාව එතකොට වෙනස් වෙනවද? මොනවද මේ කියන්නේ? ඇයි ඇත්ත නොකියන්නේ? මැතිනිය රටටත් කියා තිබෙනවා තමුන්නාන්සේලාටත් කියා තියෙනවා එන්.එම්. මුදල් ඇමැති වශයෙන් බොහොම අදක්ෂයි කියා. පුදුමය මා අදක්ෂයි කියා තේරුම් ගන්න අවුරුදු පහ පමණ ගතවීමයි. පොඩි මුදලාලිලා ඔක්කොම අද ලොකු මුදලාලිලා වෙලා. ඒ අය තමයි අද පාලනය ගෙන යන්නේ. තවත් මිනිහෙක් සිටිනවා පාලනය ගෙන යන. ඔහු කවුද කියා අපේ ධීවර ඇමැතිතුමා දන්නවා. ඔහුගේ නම ‘කාතිගේ සුදා’ද කොහෙද. මුන්නේශ්වරම් කෝවිල්කාරයා. නැහැ කියන්න බැහැ. මෙවර පූජාවට රුපියල් 15,000ක් ගියා. ඔය අය තමයි රට පාලනය කරන්නේ.

මම එකක් කියන්නම්. තමුන්නාන්සේලා හිතේ තබාගන්න. මුදලාලිලාට මේ වැඩේ කරන්න ඉඩදී තමුන්නාන්සේලාගේ ආණ්ඩුව නොපිටට පෙරළන්නට ඉඩ දුන්නොත් භයානක කරුණු දෙකක් සිදුවෙනවා. මුදලාලිලා ඕනෑවට වඩා ඔළුව ඉස්සූ විට බණ්ඩාරනායක මහතා කෙළින්ම මුදලාලිලා සමග හැප්පුණා. අන්තිමේදී මුදලාලිලාම ඔහු විනාශ කළා. ඒකයි වුණේ. බණ්ඩාරනායක මහතාට ආත්මශක්තියක් තිබුණා මුදලාලිලා සමග හැප්පෙන්නට. අන්තිමේදී එහි ප්‍රතිඵල වශයෙන් ඔහු විනාශ වුණා. එහි වරද එතැන නෙවෙයි. ඔහු එතැනදී මෝඩකමක් කළා. බණ්ඩාරනායක මහතා මුදලාලිලා සමග හැප්පෙන විට වමත් සමග අත්වැල් බැඳගත්තා නම් ඔහු බේරෙනවා. බණ්ඩාරනායක මහතාට දෙපැත්තම නැති වුණා. අනික් පැත්තෙන් මුදලාලිලා විරුද්ධව සිටියා. ඒකයි ඇත්ත. හිතේ තබාගන්න. මුදලාලිලාගේ ගතිය වැඩි වැඩියෙන් ලැබෙන විට තව තවත් බලාපොරාත්තු වීමයි. Their appetite grows with the eating. කන්න කන්න වැඩියෙන් කන්න ඕනෑ වෙනවා. සීමාවක් නැහැ. ඒකයි ඇත්ත. ඒ නිසා ඒ අය සතුටු කර සීමාවක් කර ගන්න බැහැ. අන්තිමේදී මැතිනිය විනාශ කරන තුරු මැතිනිය දන්නේ නැහැ. මම කිව්වා කියා ඕක හිතේ තබාගන්න. මගේ බය ඒක වන තෙක් ඔය මුදලාලිලාට ඉඩ දුන්නොත් මේ රටේ වාමාංශික ජනතාවට පහර වදින්නට ඉඩ තැබීම ගැනයි. ක්‍රමානුකූලව ජනතාවගේ ඉල්ලීම් තමයි පහළට යන්නේ. සමාජවාදී ගමන නම් කම්මුතුයි.”

13.09.1975
හැන්සාර්ඩ් වාර්තා
පිට 795-797

ඇන්.ඇම්. එදා කී කතාව හරියටම හරිය. මැතිනිය ඉවර වෙනවා මැතිනිය දන්නේ නැත.

‘විමල්ලාව අයින් කරලා රාජපක්ෂලාටත් ඒකම වෙයිද?’

කියන්න දන්නේ නැත.

හැබැයි ඇන්.ඇම්. මේ කතාවේ කියන ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකලා අද ගෝඨාගේ ආණ්ඩුවේත් ඉන්නා බව විමල් පසුගියදා කියා තිබිණි. එදා මැතිනිය ඇන්.ඇම්.ලාව ඉවත් කළේ ෆීලික්ස් ඩයස්වයි, බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරු අනුර බණ්ඩාරනායක නොහොත් ඇගේ පුතාවයි සතුටු කරන්නටය. ෆීලික්ස් ඩයස් සහ අනුර ඇන්.ඇම්.ව ඉවත් කරන්න මැතිනියට බලපෑම් කළේ මුදලාලිලයි, ධනපති පන්තියයි සතුටු කරන්නටය. අද ගෝඨා විමල්ලාව ඉවත් කළේ බැසිල් සහ ඔහුගේ මැති ඇමැති කණ්ඩායම සතුටු කරන්නටය. හැබැයි බැසිල් විමල්ලාව ඉවත් කරවා ගත්තේ නම් කාවවත් සතුටු කරන්න නොව, ජනාධිපති මන්දිරයට යන පාර කොට කරගන්නටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පුටින්ට ගහන්න අමෙරිකාව සූදානම්!

Next Post

සජිත් ‘නොනවතින රැල්ල’ අරඹයි!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.