පසුගියදා අවසන් වුණු ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණයක් බවට පත්විය. ඒ සඳහා වැඩිම අපේක්‍ෂකයන් පිරිසක් ඉදිරිපත් වුවද තරගය තිබුණේ දෙදෙනකු අතරය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කළ සජිත් ප්‍රේමදාස මහතාත්ය. කරට කර මැතිවරණ සටනක නිරත වූ මේ දෙදෙනාගෙන් කවුරුන් ජයගනීවිද යන සැකයට යම් ඉඟියක් ලබාදුන්නේ ජ්‍යොතිෂවේදීන් යැයි පැවසුවද වරදක් නැත. ඒ ජ්‍යොතිෂ විද්‍යානුකූල අනාවැකි ඉදිරිපත් කරමිනි. එහිදී සමාජ මාධ්‍ය මෙන්ම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යද තරගකාරීව අනාවැකිකරුවන්ට අවස්ථාව ලබාදෙන ආකාරයද දක්නට ලැබිණි. කෙසේ වෙතත් ඇතැම් මුද්‍රිත මාධ්‍ය සමඟ සජිත් ප්‍රේමදාස ජයගන්නා බවට ජ්‍යොතිෂ අතිරේක පවා බෙදාහරිද්දී ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිසැකවම ජයග්‍රහණය කරන මුලසිටම නොවෙනස්ව අනාවැකි කළේ අගලවත්තේ චන්දන වීරක්කොඩි මහතාය. ඉතින් එදා “මව්රට” හරහා ගෝඨාභය දිනන බව රටටම කියූ ඔහු මැතිවරණයෙන් පසුව “මව්රට” සමඟ සම්බන්ධ වුණේ මේ විදියටයි.
ශ්‍රි ලංකාවේ ජ්‍යොතිෂවේදීන් වැඩි පිරිසකට සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව පෙනෙද්දීත්, ගෝඨාභය මැතිතුමා ඒකාන්තයෙන්ම මෙරට ජනපති වන බවට හරියටම අනාවැකියක් කියන්න ඔබට හැකිවුණේ කොහොමද?
මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් අතරින් කවරෙක් ජයග්‍රහණය කරාවිද යන්න ගණනය කරන ක්‍රමයක් ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළදී මට මෙතෙක් හමුවෙලා තිබුණේ නැහැ. කොහොම වුණත් කෙනකුට ජන බලයක් ලැබී නිල බලයක් ලැබීමට ඔහුගේ කේන්දරය බලවත් වෙන්න ඕනෑ. ඊළඟට මැතිවරණය පවත්වන දිනය වන විට කේන්දර හිමියා ගෙවන දශාව සහ අතුරු දශාව ඔහුට බලවත් ලෙස පිහිටා තිබෙන්නත් ඕනෑ. අනෙක් කාරණය තමයි මැතිවරණය පවත්වන අවස්ථාවේ විශ්වයේ ගමන් ගන්නා ග්‍රහයන්ගෙන් ලැබෙන ගෝචර ඵල අපේක්‍ෂකයාට යහපත් ආකාරයෙන් පිහිටන්න ඕනෑ.
මුලින්ම මම ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේත්, සජිත් ප්‍රේමදාස මැතිතුමාගේත් උපන් වේලාවල් ගෙන මේ දෙදෙනාගේ ජන්ම පත්‍ර දෙක පිළියෙල කර ගත්තා. 1949 ජුනි 19 උපත ලැබූ ගෝඨාභය මැතිතුමා වෘශ්චික ලග්නය හිමිව උපත ලබා ඇති බවත්, ඔහුගේ ජන්ම පත්‍රයේ රවි, මිථුන රාශියේ අංශක 04 කලා 15කින්ද, සඳු, මීන රාශියේ අංශක 14කින්ද, කුජ, වෘෂභ රාශියේ අංශක 13.14කින්ද, බුධ, වෘෂභ රාශියේ අංශක 15 කලා 52කින්ද, ගුරු, මකර රාශියේ අංශක 7.41කින්ද, සිකුරු, මිථුන රාශියේ අංශක 21 කලා 01කින්ද, ශනි, සිංහ රාශියේ අංශක 08 කලා 08කින්ද, රාහු, මීන රාශියේ අංශක 29 කලා 20කින්ද, කේතු, කන්‍යා රාශියේ අංශක 29 කලා 20කින්ද පිහිටා ඇති බව නිවැරැදිව සලකුණු කරගත්තා.
මේ ආකාරයටම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේත් ජන්ම පත්‍රය නිවැරැදිව ගොඩනඟාගෙන එතුමාගේ මිථුන ලග්න ජන්ම පත්‍රයේ එක් එක් ග්‍රහයා සිටින අංශක කලා ගණන් වෙන වෙනමම සටහන් කරගත්තා. ඉන්පසුව පැරැණි ජ්‍යොතිෂ මූලාශ්‍ර කිහිපයකටම අනුව මෙතුමන්ලා දෙදෙනාගේ ජන්ම පත්‍ර වෙන වෙනම රාජ යෝග සඳහාද පොදුජනයා සමඟ වැඩ කර වැඩිපුර පොදුජන කැමැත්ත ලබාගැනීමට ඇති හැකියාව සඳහාද, ගැඹුරු පරීක්‍ෂණයකට ලක්කළා.
මෙහිදී ගෝඨාභය මැතිතුමාගේ ජන්ම පත්‍රයේ තුන් වැනි කොටුවේ (මකර රාශියේ) ගුරු ග්‍රහයා මකර රාශියේ අංශක 07 කලා 41කින් නීචව සිටීම ගැන මගේ අවධානය යොමු වුණා. ගුරු මකරයේ නීච වීම සියුම් ඥානයක් ඇති වීමටත් දක්‍ෂ ලෙස වැඩ කිරීමටත් දුකට පත් අයට උදව් කිරීමටත් හේතු වෙනවා. ගුරු ග්‍රහයා පරම උච්ච බව ලබාගත්තේ කටක රාශියේදී අංශක 5ත් 10ත් අතර. ඒ අනුව මෙතුමාගේ ගුරු නීච රාශිය තුළ පරම නීච තත්ත්වයට පත්වෙනවා. මේ කරුණ ගැඹුරින් සලකා බැලූ විට මෙම ගුරු ග්‍රහයාගේ පිහිටීම මෙතුමාගේ ලෞකික දියුණුව ඉතාම ඉහළ මට්ටමකට ගෙන ඒමට සමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි 2019 නොවැම්බර් 05 වන දින සිදුවූ ගුරු මාරුවත් එතුමාගේ ජන්ම පත්‍රයේ දෙවැන්න වන ධනස්ථානයට ගුරු ග්‍රහයාගේ ගෝචර වශයෙන් පැමිණීමත් ගෝඨාභය මැතිතුමාට ආශීර්වාදයක් බව දැකගැනීමට හැකි වුණා.
වෘශ්චික ලග්නයට සඳු යෝගකාරක ග්‍රහයෙක් වෙනවා. එම සඳු අභිනව ජනපතිතුමාගේ ජන්ම පත්‍රයේ රාහු සමඟ පස්වැන්නේ යෝගව සිටිනවා. පස්වැන්න කේන්දරයේ විශේෂ සුබ ස්ථානයක්. වෘශ්චික ලග්නකරුවන්ට සඳු පස්වැන්නේ පිහිටීම ඉතා සෙමෙන් ක්‍රියාත්මක වන රාජ යෝගයක් හැටියට ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. බලන්න ගෝඨාභය මැතිතුමා ජීවිතය ආරම්භ කරන්නේ දේශපාලනඥයකු හැටියට නෙවෙයි. එතුමා රජයේ නිලධාරියෙක්. පසුව එකවරම ජනපති පුටුවේ වාඩි වුණු හැටි.
අතිගරු ජනාධිපතිතුමාගේ ජන්ම පත්‍රයේ කේන්ද්‍රස්ථානයක් වන හත්වැන්නේ රවි/කුජ සහ බුධ ග්‍රහයන් තිදෙනා යෝගව සිටිනවා. මෙම යෝගය පිහිටි අයට පුදුමාකාර නිර්භීත බවක් තිබෙන බවත්, කිසිවිටෙකත් අනුන්ට යටත් නොවන බවත් මෙම යෝග හිමියෙක් කිසියම් සටනකට යොමුවුව හොත් එම සටනින් අනිවාර්යයෙන්ම ඔහු ජයගන්නා බවත් සඳහන් වන පැරැණි ජ්‍යොතිෂ මූලාශ්‍රයන් මට හමුවුණා. මේ අනාවැකිය කියන්න මම නිර්භීත වුණෙත් එතුමාගේ ජන්ම පත්‍රයේ තිබෙන මෙම යෝගය නිසා.
ගෝඨාභය මැතිතුමාගේ අටවැන්නේ සිකුරුගේ පිහිටීම සහ 2019 නොවැම්බර් මාසයේ සිකුරුගේ ගෝචර ගමන සැලකීමේදී ඔහු වටා පුදුමාකාර ජන බලයක් ගොඩනැඟෙන බවත් ඔහු කතා කරන සෑම වචනයක්ම පොදු ජනයාගේ හදවත් දිනා ගැනීමට සමත් වන බවත් ජ්‍යොතිර් විද්‍යාත්මකව තහවුරු කරගත්තා. ඒ විතරක් නෙවෙයි මෙම සිකුරු දුෂ්ට ස්ථානයක් වන අටවැන්නේ ඉන්නේ. දුෂ්ට ස්ථානයක් වන දොළොස් වැන්නේ අධිපති හැටියටයි. දුෂ්ට ස්ථානයක අධිපතියෙක් දුෂ්ඨ ස්ථානයක සිටීම විපරීත රාජ යෝගයකි. මෙය විමලා යෝගය ලෙස ජ්‍යොතිෂයේදී හඳුන්වා දී තිබෙනවා. මෙම විමලා යෝග හිමියන් ස්වාධීනව, නිදහස්ව, නිවහල්ව, එඩිතරව කටයුතු කරන නියමම පාලකයන් වෙනවා.
අතිගරු ජනාධිපතිතුමාගේ ජන්ම පත්‍රයේ 10 වැනි භාවයේ තමයි සෙනසුරු ග්‍රහයා තැන්පත්ව සිටින්නේ. උත්‍රපුටුප නැකැතින් උපදින එතුමාගේ නැකැත් අධිපතියා වන්නේද සෙනසුරුමයි. සෙනසුරු පොදු ජනතාව නියෝජනය කරනවා. 10 වැන්නෙන් කෙනකුගේ නිල බලය ගැන කියැවෙනවා. සෙනසුරු එහි ඉන්නේ අංශක 08 කලා 08කින් කේතුට අයත් මා නැකැතේ තුන් වැනි පාදයේ. කේතු මෙම ජන්ම පත්‍රයේ වර්ගෝත්තම බලයෙන් යුතුව අයස්ථානය වන 11 වැන්නේ සිටිනවා. මෙම පිහිටීමත් කේන්දර හිමියා ජන නායකයකු බවට පත්කරන පිහිටීමක්.
ඊට පස්සේ මම නාමයෝජනා භාර දෙන වේලාව ගැන ඉතා ඕනෑකමින් බලාගෙන හිටියා. සජිත් ප්‍රේමදාස මැතිතුමා නාම යෝජනා භාර දුන්නේ 2019 ඔක්තෝබර් 07වැනි දින පෙරවරු 10.04ටයි. ගෝඨාභය මැතිතුමා නාමයෝජනා භාරදුන්නේ එදින පෙරවරු 10.16ටයි. මෙම වේලාවල් පදනම් කරන තත්කාල කේන්දර දෙකක් නිර්මාණය කරගෙන ජ්‍යොතිෂයේ එන තත්කාල ශාස්ත්‍රයට අනුව පලාපලයක් කියන්න උත්සාහ ගත්තා. එය ඉතාම දුෂ්කර කාර්යයක් වුණා. මොකද වෙලාවල් දෙක අතර පරතරය තිබුණේ විනාඩි 12යි. කොහොම වුණත් පංච පක්‍ෂි ශාස්ත්‍රයද උපයෝගී කරගෙන කරන ලද අධ්‍යයනයකින් පසුව ගෝඨාභය මැතිතුමාට වැඩි වාසියක් අත් වන බව දැකගන්න පුළුවන් වුණා.
මෙම සටනින් ගෝඨාභය මැතිතුමාට වැඩි වාසි අත්වන බව පෙනිලත් මම තවත් පරීක්‍ෂණයක් කළා. ඒ තමයි 2019 නොවැම්බර් 16 වැනි දින මැතිවරණය ආරම්භ වන වේලාවෙන් මැතිවරණය පවතින සම්පූර්ණ වේලාව තුළත් ග්‍රහයන්ගේ ගමන් රටා. මෙතැනදී මට ලැබුණේ ගෝඨාභය මැතිතුමා ජයග්‍රහණය කරන බවට ඉඟියක්. ඒ අනුව තමයි මං සාර්ථකව එම අනාවැකිය ඉදිරිපත් කළේ.
ඔබ කිව්වා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කේන්දරය බලවත් කියලා. එතුමාගේ දේශපාලන අනාගතය කොහොම වේවිද?
එතුමාට ලංකාවේ ජනපති වෙන්න පුළුවන්. හැබැයි ඉවසීමෙන් දේශපාලනයේ රැඳී ඉන්න ඕනෑ.
ගරු ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිතුමාගේ පාලන කාලය කොහොම වෙයිද?
එතුමාගේ කේන්දරය බලවත්. ඉතා හොඳින් රට පාලනය කරාවි. අනිවාර්යයෙන්ම එතුමා මෙරට දියුණු කිරීමට ශක්තිය ලැබේවි.
මේ රටට වැඩදායී බොහෝ කටයුතු කරන, ජනතාවට හිතවත්, ශක්තිමත්, නායකයකු වීමේ ග්‍රහ බලය එතුමාට තිබෙන බවක් කියන්නට ඕනෑ.
කුමාර රත්නායක











