• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලර් අවුල මෙන්න සුද්ද සිංහලෙන්! කියවලම බලන්න!

December 13, 2021
in Exclusive, News
Reading Time: 12 mins read
A A
ඩොලර් අවුල මෙන්න සුද්ද සිංහලෙන්! කියවලම බලන්න!
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුවේ සාමන්‍ය දැනුම බින්දුවක් බව ලෝකයටම ප්‍රදර්ශනය කළ තිබුණද ජී.ආර්. ආණ්ඩුව බලයට පත්වූ දා සිට ජනතාවගේ නම් සාමාන්‍ය දැනීම නම් දිනෙන් දින ඉහළ යන අතර අලුතින් භෞතික විද්‍යා, රසායන විද්‍යා පමණක් නොව ආර්ථික විද්‍යා දැනුම ලබාදීම සිදුවන්නේය. උදාහරණයක් ලෙස දශක ගණනාවක් පුරා ගොවිතැන්බත් කළ ඔවුන්ට පොහොරවල රසායනික සංයුතිය ගැන අලුතින් දැනගැනීමට අවශ්‍ය නොවීය. එහෙත් ආණ්ඩුවට පින් සිදුවන්න දැන් ඔවුන් රසායනික පොහොර ගැන පරිපූර්ණ දැනුමක් ලබාගෙන හමාරය. දැන් ඔවුන්ට අවශ්‍ය නම් පී.එච්.ඩී. එකක් වුව ඒ දැනුම ඇසුරින් ලබාගත හැකිය. ගෑස් ගැන දැනුමද එසේමය. ගෑස්වල රසායනික සංයුතිය ගැන මේ ලෝකයේ වඩාත්ම දැනුවත් පුරවැසියන් දැන් නම් ශ්‍රී ලාංකිකයන් විය යුතුය.

රසායනික පොහොරවල සූත්‍ර, ගෑස් සූත්‍ර අතර දැන් ජනතාවට ආර්ථික විද්‍යාවේ බරපතළ මාතෘකා වන ‘විදේශ සංචිත’ ගෙවුම් ශේෂ අර්බුද, විදේශ සංක්‍රාම / ප්‍රේෂණ ගැනද අලුතින් ඉගෙන ගැනීමට අවස්ථාව උදාවී තිබෙන්නේය. ඒ, මේ වන විට ලංකාවේම අවධානය යොමුව ඇති ප්‍රමුඛම ගැටලුව බවට ආණ්ඩුව සතු ‘විදේශ සංචිත කොපමණ ද? එය කොපමණ කාලයකට ප්‍රමාණවත් වන්නේද ආදී ගැටලු’ බවට පත්ව ඇති නිසාය.

විදේශ සංචිත යනු

මෙහිදී හතර අතේ කතා කරන ‘විදේශ විනියමය සංචිත – හෙවත් බොහෝ දෙනෙක් කියන ආකාරයට නිල විනිමය සංචිත’ යනු කුමක් දැයි අප සරල අවබෝධයක් ලබාගත යුතුය. මන්ද දේශපාලනඥයන් සහ තවත් අය ගිරවුන් සේ මේ ගැන කතා කළද සාමාන්‍ය පුරවැසියන්ට ඒ ගැන නිවැරදි දැනුවත්භාවයක් ලබාගත හැකි බවක් අපට දැකගත නොහැකිය.

විදේශ විනිමය සංචිත යනු රටේ ගෙවීම් සමතුලිත කිරීමට, එහි මුදල්වල විදේශ විනිමය අනුපාතිකයට බලපෑම් කිරීමට සහ මූල්‍ය වෙළෙඳපොළවල විශ්වාසය පවත්වා ගැනීමට මූලික වශයෙන් ලබාගත හැකි මහ බැංකුවක් හෝ වෙනත් මූල්‍ය අධිකාරියක් සතු රන් වැනි මුදල් සහ අනෙකුත් සංචිත වත්කම් වශයෙන් සරලව නිර්වචනය කළ හැකිය.
ලෝ ප්‍රකට වෙබ් අඩවියක් වන සබඩැිඑදචැාස්ගජදප අනුව, විදේශ විනිමය සංචිත යනු විදේශ මුදල්වලින් මහ බැංකුවක් විසින් සංචිතයේ තබා ඇති වත්කම් වේ. මෙම සංචිත වගකීම් සඳහා සහ මුදල් ප්‍රතිපත්තියට බලපෑම් කිරීමට භාවිත කරයි. එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුව වැනි මහ බැංකුවක් සතු ඕනෑම විදේශීය මුදල් එයට ඇතුළත් වේ.

විදේශ විනිමය සංචිත යනු මහ බැංකුවක් විසින් පවත්වාගෙන යනු ලබන විදේශ මුදල් ඒකකයක් ලෙස නම් කරන ලද වත්කම් වේ.

මේවාට විදේශ මුදල්, බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් සහ වෙනත් රජයේ සුරැකුම්පත් ඇතුළත් විය හැකිය.

බොහෝ විදේශ විනිමය සංචිත එක්සත් ජනපද ඩොලර්වලින් පවතින අතර චීනය ලෝකයේ විශාලතම විදේශ මුදල් සංචිත හිමියා වේ.

රටේ මුදල් ඒකකයට ඍජුව සම්බන්ධ නොවන මුදල් ඒකකයකින් විදේශ විනිමය සංචිත තබා ගැනීම වඩාත් සුදුසු බව ආර්ථික විද්‍යාඥයෝ යෝජනා කරති.

විදේශ සංචිත වැදගත් වන්නේ ඇයි?

විදේශ විනිමය සංචිත යනු එහි මුදල් ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම වැනි හදිසි අවස්ථාවකදී ජාතියේ උපස්ථ අරමුදල් වේ. ස්ථාවර විදේශ විනියම අනුපාත අගයක් තබා ගැනීමට, තරගකාරී මිල ගණන් සහිත අපනයන පවත්වා ගැනීමට, අර්බුදයකදී ද්‍රවශීලව සිටීමට සහ ආයෝජකයන්ට විශ්වාසය ලබාදීමට රටවල් විදේශ මුදල් සංචිත භාවිතා කරයි.

රටක විදේශ සංචිත අවසන් වූ විට කුමක් සිදුවේද?

සංචිත අවසන් වූ පසු, මහ බැංකුවට එහි මුදල් අවප්‍රමාණය කිරීමට බල කෙරෙනු ඇති අතර රටට කළ හැකි ආනයන දැඩිව පාලනය කිරීමට සිදුවීම අනිවාර්ය කරුණුකි. එසේම රට ලබාගෙන ඇති විදේශ ණය ආදිය ගෙවීමට නොහැකි වනු ඇති අතර එහි අවසන් ප්‍රතිඵලය ‘බංකලොත්භාවය’යි.

ශ්‍රී ලංකාව සතු විදේශ නිල සංචිත කොපමණද?

මේ දිනවල 2022 අයවැය ලේඛනය ගැන පාර්ලිමේන්තු කාරක සභා විවාදය සිදුවන නිසා රජය සතු නිල විදේශ සංචිත ගැන වඩාත් පුළුල් සහ ගැඹුරු සංවාදයක් සිදුවේ. එසේම විපක්ෂයද ජනමාධ්‍යද වෙන කවරදාවත් මේ ගැන නොදැක්වූ තරම් උනන්දුවක්ද දක්වන අතර එනිසාම ආණ්ඩුවටද මේ ගැන සංවාදයෙන් ගැළවී යා නොහැකි වාතාවරණයක් නිර්මාණය වී තිබෙන්නේය.

මේ තත්ත්වය හමුවේ ජවිපෙ නායකයා පසුගිය 03 වැනිදා ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න හතරකට පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.පසුගිය නොවැම්බර් මාසයේ 30 වැනිදා වන විට විදෙස් විනිමය සංචිතයේ සත්‍ය වටිනාකම ශීර්ෂ අනුව වෙන්වෙන්ව කොපමණද? මහ බැංකුව සතු ක්ෂණිකව ගෙවීම් සඳහා භාවිත කළ හැකි විදෙස් විනිමය ප්‍රමාණය කොපමණද?

රටේ විදෙස් විනිමය සංචිත ඉහළ නැංවීම සඳහා ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක්ද? ඒ සඳහා වන කාලරාමුව කවරේද?

2021 වසරේ ජංගම ගිණුමේ හිඟය පියවීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන්නේ කවර ක්‍රියාමාර්ගයක්ද?

කොළඹ වරායේ ගොඩගැසී ඇති ආනයනය කරන ලද අත්‍යාවශ්‍ය භාණ්ඩ බහාලුම් නිදහස් කිරීම සඳහා බැංකුවලට ඩොලර් ලබාදීමට පියවර ගන්නේද? ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදය කුමක්ද? ඒ සඳහා වන කාලරාමුව කවරේද?

අනුර කුමාර දිසානායක තම කඩඉම් ප්‍රශ්න හතර ඉදිරිපත් කරමින් මේ ප්‍රශ්න සඳහා මූල හේතු ද පැහැදිලිව විස්තර කළේය.

‘ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මෑත වසර දෙකක කාලය තුළ වේගයෙන් කඩාවැටෙමින් ඇති බව නිරීක්ෂණය වන අතර එය තවදුරටත් හුදු ආර්ථික දත්ත හා තොරතුරු පිළිබඳ විද්වත් සාකච්ඡාවකට පමණක් සීමාවී නැහැ. මෙම විදෙස් සංචිත හිඟය මේ වන විට රටේ ජනතාවගේ ජීවිතවලට බලපෑම් කරන මට්ටමකට තීව්‍රවී තිබෙනවා.
අද වන විට බහාලුම් 1000කට අධික සංඛ්‍යාවක ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ කොළඹ වරායේ සිරවී ඇති බවටත් එම භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා බැංකුවලින් ආනයනකරුවන්ට ඩොලර් නිකුත් නොකරන තත්ත්වයක් ඇතිවී තිබෙන බවටත් වාර්තා වනවා. විශේෂයෙන් බොර තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් නොමැති වීම නිසා දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වූ ඛනිජතෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ වන විට වසාදමා තිබෙනවා.

මෙරට විදෙස් සංචිත හිඟය හුදු කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිදු වූවක් බවට අර්ථකථනය කිරීමට හැකියාවක් නැහැ. කොවිඩ් වසංගතය ගෝලීය තත්ත්වයක්ව තිබියෙදීත් පොදුවේ ලෝකය තුළත් විශේෂයෙන් දකුණු ආසියාතික රටවල්වලත් විදෙස් සංචිත ප්‍රමාණයන් පසුගිය වසරක කාලය තුළ ඉහළ ගොස් තිබෙනවා.
2020 වසරේ දෙවැනි කාර්තුව හා 2021 වසරේ දෙවන කාර්තුව සලකා බැලුවහොත් ලෝකයේම විදෙස් සංචිතවල වටිනාකම පිළිවෙළින් ඩොලර් බිලියන 12,016.6ක සිට ඩොලර් බිලියන 12,817.19ක් දක්වා ඉහළ නැඟ තිබෙනවා. දකුණු ආසියානු කලාපීය රටවල් වන ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින පවා මේ වසංගත තත්ත්වය තුළ තමන්ගේ විදෙස් සංචිත ඉහළ නංවා ගැනීමට සමත් වී තිබෙනවා.

නමුත් ඊට පරස්පරව යමින් ශ්‍රී ලංකාව වසර දෙකක කාලය තුළ තමන්ගේ විදෙස් සංචිත වේගයෙන් අහිමි කරගනිමින් සිටිනවා. නිදසුනක් ලෙස 2020 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5ක අගයක් සටහන් කළ අතර එය මාස 4.5ක කාලයක ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. එම සංචිත ක්‍රමයෙන් හීනවෙමින් පැමිණ 2021 ජනවාරි වන විට ඩොලර් බිලියන 4.8ක අගයක් සටහන් කරන ලද අතර එය මාස 3.7ක ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. කෙසේ වුවද පසුගිය ඔක්තෝබර් අවසන් වන විට එම සංචිත අගයන් තවදුරටත් කඩා වැටී ඩොලර් බිලියන 2.3ක අගයක් සටහන් කර තිබෙනවා. එම සංචිත ප්‍රමාණවත් වන්නේ මාස 1.5ක කාලයක් වෙනුවෙන් ආනයන සිදුකිරීම සඳහා පමණයි.

මේ අගයන් සටහන් වන්නේ 2021 අගෝස්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙරටට ඩො.මි. 554.8ක විශේෂ මූල්‍ය පහසුකමක් ලැබී තිබියෙදීයි. මහ බැංකුවේ නොවැම්බර් 26 දින නිකුත් කළ සති මූල්‍ය තත්ත්ව වාර්තාවේ විදෙස් සංචිතයන්හි එම ශීර්ෂය යටතේ ඩොලර් මිලියන 128.5ක අගයක් පමණක් සටහන් වීමෙන් එයින් වැඩි කොටසක් දැනටමත් ඩොලර්වලට පරිවර්තනය කර තිබෙනවා විය හැකියි.

2021 ජනවාරි සිට සැප්තැම්බර් කාලය අතරතුර රටේ වෙළඳ ශේෂ හිඟය ඩොලර් මිලියන 6003.2ක් ලෙස සටහන් වෙනවා. මෙය ඔක්තෝබර් – දෙසැම්බර් කාලය අතරතුර තවත් ඉහළ යා හැකියි. එසේම මෙම අවදානම් තත්ත්වය මෑත ඉතිහාසයේ රටේ ගෙවුම් ශේෂයේ හිඟයක් නිර්මාණය කිරීමට තුඩුදිය හැකියි.

2022 වසර තුළ ශ්‍රී ලංකාව විදේශ ණය පියවීම සඳහා පමණක් ඩොලර් මිලියන 6500ක් වෙන් කළ යුතුව තිබෙනවා. යම් යම් මාසයන්හි අඩු වැඩි වීම් ඇති වන නමුදු දළ වශයෙන් එක් මාසයකට විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 550ක් වෙන් කිරීමට රටට සිදුවනවා. 2021 වසරේ ජංගම ගිණුමේ හිඟය සහ විදෙස් ණය පියවීමේ බැඳීම්ද 2022 වසරේ මුල් භාගයේ ඇති විදෙස් ණය පියවීමේ බැඳීම්ද සමගින් දැනටත් අවදානම් මට්ටමක ඇති රටේ ගෙවුම් ශේෂය මෙමගින් තවත් අර්බුදයට ඇද දැමිය හැකියි.

පසුගිය දෙවසරක කාලය තුළ විදේශ විනිමය සංචිත වේගයෙන් කඩා වැටෙමින් තිබියෙදී ආණ්ඩුව මේ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකළ බවට චෝදනා නැගෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේ මහ බැංකු අධිපතිවරයා විවිධ තැන්වලදී විදේශ විනිමය රට තුළට ගලාගෙන එන ආකාරය පිළිබඳ සුබදායී සිතුවම් අඳිමින් සිටියත් මේ වන විට ඇත්ත යථාර්ථය වෙනස් එකක් බව සියලු දෙනාට වටහා ගැනීමට අසීරු නැහැ.

එසේම මේ වන විට රටට ඩොලර් ලැබෙන ප්‍රධානම මූලාශ්‍රවලින් එකක් වන විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු සංක්‍රාම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාස 05ක කාලයක් පුරා වේගයෙන් පහළ යමින් තිබෙනවා. නිදසුනක් ලෙස 2020 ජුනි – ඔක්තෝබර් කාලයේ සමස්ත සංක්‍රාම වටිනාකම ඩොලර් මිලියන 3274ක් වූ නමුත් මේ වසරේ ජුනි – ඔක්තෝබර් කාලයේ ඔවුන්ගේ සංක්‍රාම ප්‍රමාණය ඩොලර් මිලියන 2048ක් පමණයි. එය ප්‍රතිශතාත්මකව ගතහොත් 37.5%ක් පමණ කඩා වැටීමක්. මෙම අඩුවීමේ ප්‍රවණතාව නිරීක්ෂණය කළහොත් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සංක්‍රාම මගින් ලැබීමට නියමිත මුදල 50%ට වඩා අඩුවිය හැකියි.

මේ තත්ත්වය තුළ මහ බැංකුව බලහත්කාරයෙන් බැංකුවල ඩොලර් අනුපාතිකය රුපියල් 202 ආසන්නයේ රඳවා තබාගෙන සිටියද එම මුදලට ආනයනකරුවන්ට ලබාදීමට වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් ඩොලර් නැහැ. ඩොලරයක් බැංකුවලට පිටින් එළියේ අලෙවි වන්නේ රුපියල් 240-260 අතර වටිනාකමකටයි. මෙවැනි ඉහළ වටිනාකමකට ඩොලර් මිලදී ගෙන භාණ්ඩ අනයනය කිරීමට ආනයනකරුවන් ඉදිරිපත් නොවන නිසාත්, විශේෂයෙන්ම බැංකු මගින් නිකුත් කළ ණයවර ලිපි අනුව මේ වන විටත් ආනයනය කර ඇති භාණ්ඩවලට අදාළ ඩොලර් ලබාදීමට බැංකු අසමත් වී ඇති නිසාත් බරපතළ භාණ්ඩ හිඟයක් රට තුළ නිර්මාණය වෙමින් තිබෙනවා…’

විදේශ නිල සංචිත ප්‍රමාණය ගැන ආණ්ඩුව කියන නිල කතාව

ජවිපෙ නායකයා මේ ආකාරයෙන් ආණ්ඩුව හමුවේ තැබුවේ මේ අවස්ථවේ සමස්ත ජාතියේම පමණක් නොව ලංකාව ගැන අවධානයක් දක්වන තවත් රටවල් සහ ආයෝජකයින් හමුවේද අති වැදගත් ප්‍රශ්නයකි.

ඒ අනුව ආර්ථික හා මූල්‍ය රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පසුගිය 09 වැනිදා ලබාදුන් පිළිතුර අනුව පසුගිය නොවැම්බර් මාසය වෙන විට රට සතුව තිබූ නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1587කි.

මෙයින් ඩොලර් මිලියන 382.2ක් රත්රන් ලෙසද, විනිමය සංචිත ලෙස ඩොලර් මිලියන 1009.5ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තැන්පත්කර තිබෙන සංචිත ලෙස ඩොලර් මිලියන 67ක් මෙන්ම විශේෂ ගැනුම් හිමිකම් ඩොලර් මිලියන 127.2ක් තිබී ඇත. ඊට අමතරව අනෙකුත් විවිධ සංචිත ඩොලර් මිලියන 1.1කි.

මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවැසුවේය. ‘ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය 2014 අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 8.6ක් වූ අතර 2019 වසර අවසන් වන විට එය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 දක්වා පහත වැටී ඇත. මෙය විදේශ ණය සේවා ඉහළ යාමට හේතු වී තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ ණය 2014 වසරේ මුළු ණය සේවාවලින් 42.4%ක් වූ අතර 2019 අවසන් වන විට එය 46.4% දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් අපේ රජයේ අරමුණ මුළු විදේශ ණය සේවාව මුළු ණය සේවාවලින් 40%කට සීමා කිරීමයි.’

Covid -19 වසංගතය පාලනය කිරීම සඳහා රජයට විදේශ සංචිත භාවිත කිරීමට සිදුවූ බව ඔහු පැවැසීය. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වසරේ වසංගතය ආශ්‍රිත වියදම් සඳහා රුපියල් බිලියන 221ක් වැය කර ඇත. ජනගහනයෙන් 76.2%කට එන්නත් දෙකම ලබා දීමට සමත් වී ඇත. මෙය ගෝලීය ප්‍රමිතීන්ට වඩා ඉහළ අගයක් වන්නේ මේ වන විට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා ඇති ගෝලීය ජනගහනයෙන් 55.3%ක් පමණක් වීම නිසාය.

‘ශ්‍රී ලංකාව කටාර් මහ බැංකුවෙන් ඩොලර් බිලියනයක් සහ ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 400ක ලබාගැනීමට නියමිතයි. මීට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදල් හුවමාරු වැඩසටහනකට යාමට දේශීය වාණිජ බැංකු දිරිමත් කර තිබෙනවා. මීට අමතරව වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 13ක සමස්ත අපනයන ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සහ ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සමග ගිවිසුම්වලට එළඹීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමත්වී තිබුණා. ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක විදේශ ප්‍රේෂණ සුරක්ෂිත කිරීමට රජය බලාපොරොත්තු වෙනවා, රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.

‘මෙම ක්‍රියාකාරකම් වත්මන් අර්බුදයට ඵලදායී විසඳුම් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා වගේම විපක්ෂයේ සහයෝගයත් ලබාගන්නවා. මේ පිළිබඳ ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට විපක්ෂය සාදරයෙන් පිළිගනිමු,’ ඔහු වැඩි දුරටත් පැවසීය.

මුදල් ඇමැති බැසිල් කියන කතාව

මුදල් රාජ්‍ය ඇමැතිවරයා මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව හමුවේ කරුණු පැහැදිලි කරද්දී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂද පසුගිය 09 වැනිදා රජය සතු විදේශ නිල සංචිත ප්‍රමාණය සහ ඒ හා නිර්මාණය වී ඇති අර්බුදය ගැන කතා කළේය.

‘ලබන වසරේ මුල් මාස කිහිපයේදීත් විදේශ මුදල්වල අමාරුකම් ඇතිවිය හැකියි. විදේශ විනිමය ප්‍රශ්නයට රට බැරෑරුම් ලෙස මුහුණදී සිටිනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්ධන ගෙන්වීමට සහ ණය වාරික හා පොලිය ගෙවීමට ඩොලර් විශාල ප්‍රමාණයක් වැය කිරීමට සිදුවී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් පසුගිය වසර දෙකේදී ලැබුණු මුදල් අහිමි වුණා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු මුදලද මේ වසරේදී අඩු වුණා. කුමන ආර්ථික ප්‍රශ්න තිබුණත් රටේ ආහාර සුරක්ෂිතතාව රැකගැනීම ඉතා වැදගත්.’
මේ අතර ආචාර්ය හර්ෂ ද සිල්වාද පසුගියදා නිල විදේශ සංචිත ඍණ තත්ත්වයට පත්වීම හා එහි ආදීනව ගැන හෙළි කළේය.

‘ජනවාරි මාසය වන විට මෙරට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ගෙවූ පසු ඉතිරි වන්නේ ඩොලර් මිලියන 140ක් පමණයි. නමුත් වියදම් කිරීමට හැකියාවක් ඇති මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන ඍණ 437යි. පෙබරවාරි මස සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,843ක් වන නමුත් මේ මාසය අවසන් වන විට ඇත්තේ ඩොලර් මිලියන එකසිය හතළිහක් නිසා ඉතිරිය ඩොලර් මිලියන සෘණ 4,700ක්. එනම් එවිට රට බංකොලොත් තත්ත්වයට බවට පත්වීම කිසිවෙකුට නතර කළ නොහැකියි’ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් හර්ෂ ද සිල්වා මේ බව පැවසුවේය.

රට මුහුණදී සිටින අර්බුදය ගැන විපක්ෂ නායක සජිත්ගේ අවධාරණය ද අතිෂයින් වැදගත්ය. පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සජිත් මේ ගැන හෙළි කළේය.

‘අද වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඩොලර් ණය ගැනීමට හැකියාවක් නැතිව ගොස් තිබෙනවා. ගන්නා ඩොලර් ණයවලට අසීමිත පොලියක් ගෙවීමට සිදුව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වලින් ශ්‍රී ලංකාවක් පහළට වැටීමයි. ශ්‍රේණිගත කිරීම්වල පහළට නොවැටී සිටියේ නම් අඩු පොලියකට ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් ඩොලර් ණය ලබා ගැනීමට තිබුණා.’

විදේශ විනියම රැකගන්න ගන්න තැත

මේ ආකාරයෙන් බරපතළ විදේශ විනිමය අර්බුදයක රටට ලැබිය යුතු විදේශ විනිමය රැක ගැනීමට විවිධ පියවර ගනිමින් සිටින්නේය. ඒ අතර ජනතාවගේ බලවත් විවේචනයට හා විරෝධයට හේතුවන අත්තනෝමතික පියවර රැසක්ද තිබෙන්නේය. විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුව නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව මේ අතර පසුගිය 08 වැනිදා නිවේදනය කළේය.

මේ සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත (පනත) යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත නොවන ක්‍රියාකාරකම් වල බලයලත් මුදල් හුවමාරු කරන්නන් නිරත වන බවට ලද පැමිණිලි කිහිපයකට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු කරන්නන්ගේ ව්‍යාපාර ස්ථාන සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ මාලාවක් පවත්වමින් සිටින අතර එමගින් බලයලත් මුදල් හුවමාරු කරන්නන් පිළිබඳ නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු වඩාත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරයි.

නිවේදන හරහා සන්නිවේදනය කරන ලද ගැටලු නිවැරදි කිරීමට, අදාළ විධානයන්ට අනුගත නොවූ බලයලත් මුදල් හුවමාරු කරන්නන් අපොහොසත් වුවහොත්, ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට සහ අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇත.

බැංකු මුදල් හුවමාරුකරුවන් හට ලබාදෙන අනුපාතවලට වඩා වැඩි අනුපාතයන්ට විදේශ විනිමය ගනුදෙනු කිරීමට බලයලත් මුදල් හුවමාරුකරුවන් හට බලයක් නොමැති බව තවදුරටත් මහජනතාවට දන්වා සිටිනු ලැබේ.

මේ අතර හේතුවක් නොමැතිව යම් අයකු තවත් අයෙකුගේ ගිණුමකට මුදල් බැර කරන්නේ නම් ඒ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බවත් අවශ්‍ය නම් එවැනි බැංකු ගිණුම් තහනම් කිරීමට හැකියාව පවතින බවටත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගියදා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය ගැනද ජනතාව අතර බලවත් විරෝධයක් නිර්මාණය වී තිබෙන්නේය.

මුදල් විශුද්ධිකරණ නීතිය යටතේ මහ බැංකුව එලෙස සොයාබැලීම සිදුකරන බව පැවසූ මහ බැංකු අධිපතිවරයා මනි ලොන්ඩරින් නීතිය යටතේ යම්කිසි පුද්ගලයෙක් මුදල් හේතුවක් නැතුව වෙනත් කෙනෙකුගේ ගිණුමකට දානවා නම්, මුදල්වලින් ලබාදෙනවා නම්, ඒ පිළිබඳ අපි සොයලා බලනවා. එවැනි ගිණුම් තහනම් කරන්නටත් මහ බැංකුවට පුළුවන් යැයිද කීවේය.

එම මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා තවදුරටත් පැවසූවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට මුදල් එවන්නේ නම් ඒ සඳහා නිල බැංකු සේවා පමණක් භාවිත කරන ලෙසට විදෙස්ගත ශ්‍රමිකයන්ට උපදෙස් ලබාදෙන බවයි. එසේම විදෙස් රටවල්වල සිට පැමිණෙන මුදල් පිළිබඳ මේ වන විට ඉතා සුපරීක්ෂාකාරීව විමර්ශනය කිරීම සිදුවන බව ද ඔහු පැවසුවේය.

මේ සියලු කරුණු කාරණාවලින් අපට පැහැදිලි වන්නේ ආණ්ඩුව අර්බුදයේ සැබෑ තත්ත්වය වටහා ගැනීමකින් හෝ එහි බිහිසුණුකම නිසි පිරිදි තක්සේරු කිරීමකින් තොරව පය බරවායට පිටිකර බෙහෙත් බඳින පන්නයේ හෝ අතීසාරයට අමුඩ ගසන පන්නයේ වැඩ කරමින් රටේ නිල විදේශ විනියම අර්බුදය තව දුරටත් අවුල් කරමින් සිටින බවය.

චින්තක බණ්ඩාර කරල්ලියද්ද

SendShareShare
Previous Post

සභාව ඇතුළෙදිම උපසභාපතිවරයාට ආණ්ඩුවේ පැත්තෙන් වීදුරු ප්‍රහාරයක්!

Next Post

ආණ්ඩුව ආයෙ ඉල්ලයි! සල්ලි දෙන්න ඉන්දියාව කොන්දේසි එවයි!

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.