හැමදාම වගේ සීත කඳුකරේට සිත යොමන නිසාම මෙවර වියළි කලාපයේ කඳුවැටියක අසිරිය විඳගැනීමට අපට සිත් විය. එලෙස අපේ අවධානය යොමු වූයේ දිගාමඩුලු ප්‍රදේශයේ තිබෙන ඓතිහාසික වටිනාකමක් ඇති කඳුවැටියක් කෙරෙහිය. නමින් ගෝවින්ද හෙළ නමින් හඳුන්වන මෙහි ඉතිහාසය බොහෝ ඈතට දිවයයි. පාෂාණ කඳුවැටියකින් යුක්ත වන මෙය ගල්ඔය කලාපයේ සිට මීටර් 570ක උසකින් අම්පාර සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත.
රුහුණු රාජධානියේ ආරක්ෂිත ස්ථානයක් ලෙස ප්‍රාදේශීය පාලකයකු වූ බුවනෙකබාහු ආදිපාද මෙහි පාලනය ගෙනගිය බව සොයාගැනුණු නටබුන්වලින් තහවුරු කර ඇත. ආරක්ෂාව අතින් මෙය ඉහළ ස්ථානයක් ලෙස සැලකෙන බව එහි සංචාරය කරන්නකුට පැහැදිලි වෙයි. විහාරස්ථානයෙන් රුපියල් 50ක ටිකට්පත් මිලදී ගනිමින් විහාරස්ථානය ඔස්සේ මෙය තරණය කළ හැකිය.
පැය දෙකක පමණ කාලයකින් කන්ද මුදුනට යාහැකිය. වියළි කාලගුණයක් පවතින බැවින් ජලය අවශ්‍ය ප්‍රමාණයට රැගෙන යෑම නම් අනිවාර්යයෙන්ම කළ යුත්තකි. මුදුනට ගිය පසු අංශක 360ක අලංකාර දර්ශනයක් පෙනෙන අතර වියළි කලාපයේ කඳු පිළිබඳ වැඩි දැනුමක් නොමැති නිසා එහිදී දකින කඳුවලින් ඉඟිනියාගල හා වාලිබේ හෙළ පමණක් හඳුනාගැනීමට හැකි විය. එසේම වියළී ගිය ජලාශද දක්නට ඇත.

ගමන තනිව යෑමට සූදානම් වුවත් කලක සිට මුහුණු පොතේ මිතුරියකව සිටි රජිතා අක්කා සහ ඇයගේ සොහොයුරියක්ද ගමනට එකතු වූවාය. රාත්‍රී 11ට කොළඹ කොටුවෙන් පිටත්වන අම්පාර බස් රථයේ ආසන වෙන්කර මාර්ගය පිළිබඳ සොයන විට පෙනුණේ බිබිල හරහා යන මෙම බස් රථයේ ගොස් 9 කණුවෙන් බහින්නට නොහැකි බවයි. කෙසේ හෝ ආසන වෙන්කළ නිසා එම බසයේම ගොස් උදෑසන 6.30ට පමණ අම්පාරට ළඟා වූයේ ලබාදී තිබූ කාලයටත් වඩා පැයකට කලින්ය. අම්පාර නගරය දුෂ්කර වුවත් ඉතාමත් පිරිසිදු නගරයක් ලෙස පවතී. එහිදී උදෑසන ආහාරය ගෙන මාතර බසයකට ගොඩවුණේ ගෝවින්ද හෙළ විහාරය අසලින් බැසීමටය. පැය එකහමාරක පමණ ගමනකින් විහාරය අසලට ළඟාවී ස්වාමින් වහන්සේගේ අවසරයද ඇතිව තරණය පටන් ගත්තේ ජලය හා බීම බෝතලයක්ද රැගෙනය.
ගැහැනු ළමයින් දෙදෙනාට තරමක් අපහසු වූ නැග්මවල් කිහිපයක් පසු කරමින් අප පැය දෙකකින් පමණ මුදුනට ළඟා වූයෙමු. මුදුනෙහි අසිරිය පැය දෙකක් පමණ විඳිමින් සිට ආපසු පහළට ආවේ රාත්‍රීයේදී නැවත කොළඹ ඒමට තිබූ නිසාය. පැයකින් පමණ පහළට පැමිණ, එක් සහෝදරියකගේ වැල්ලවායෙ පිහිටි නිවෙසට යෑමට තීරණය කළෙමු. මොනරාගල හරහා වැල්ලවායට ගොස් ඇයගේ නිවෙසින් රාත්‍රී ආහාරයත් ගෙන කිරිඳිඔයෙන් නා පිරිසිදුවී එහි සිදුවූ හදිසි ජල ගැලීමටද මුහුණදී, රාත්‍රී 11ට පමණ මොනරාගලින් කොළඹ බලා පිටත්වන බස් රථයට නැඟගත්තේ මමත් රජිතා අක්කාත් පමණි. අනෙක් සහෝදරිය සිය නිවෙසේ නතර වූ නිසා අප දෙදෙනා කොළඹ ඒමට පිටත් වුණේ සුන්දර ගමනක මතක එකතු කරගනිමිනි.
වැඩි දෙනකුගේ අවධානය යොමු නොවුණත් කඳු නඟින්නකුට තරණය කිරීමට සුදුසුම කඳුවැටියක් ලෙස මෙය හඳුන්වා දිය හැකි අතර අතීත උරුමයක් නිසා එහි වටිනාකම රැකගැනීම අප සතු වගකීමකි.
දිලන්ත ළහිරු











