දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් මස 31 වෙනිදා දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර ඇත.
නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රැස්වූ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී ප්‍රකාශ කර සිටියේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතළ ලෙස අඩාල වී ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර සියලු පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලබාදී තිබෙන බවද මෙහිදී අනාවරණය කෙරිණ.
ඒ පිළිබඳ විදුහල්පතිවරුන් දැනුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
විශ්ව විද්‍යාල පළමු වසර සිසුන් සඳහා අධ්‍යන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ද ජනාධිපතිතුමා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.
පොදු ස්ථාන, වෙළඳ සැල්, ආපන ශාල ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බැලීමට ද තීරණය කෙරිණ.
එන්නත ලබා නොගන්නා පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය බලධාරීහු ඒ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව ද සඳහන් කර සිටියේය.
පාසල් දරුවන් එන්නත්කරණය සඳහා ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතිය ද ජනාධිපතිතුමාගේ අධීක්ෂණයට ලක් කෙරිණ.
කොවිඩ් මරණ අනුපාතය සහ ආසාදිතයින් අඩු කර ගැනීමට එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාවට නැංවිමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා දුෂ්කර ප්‍රදේශවල එන්නත්කරණයට ජංගම රථ යොදවමින් සියලු ජනතාවට එන්නත ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙන ලෙස උපදෙස් දුන්නේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ ද සහාය ඒ සඳහා ලබා ගන්නා ලෙස දැනුම් දෙනු ලැබීය.
එන්නත්කරණය පිළිබඳ විවිධ කණ්ඩායම් ගෙන යන අසත්ය ප්‍රචාර පිළිබඳ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් විසින් ජනාධිපතිතුමා වෙත කරුණු හෙළි කරනු ලැබු අතර එන්නත්කරණය පිළිබඳ ජනතාව තුළ අනවශ්‍ය බිය ගැන්වීම් ඇති කිරීමට උත්සාහ කරන සමාජ මාධ්‍ය ඇතුළු විවිධ සංවිධානගත කණ්ඩායම් පිළිබඳ වහාම සොයා බලන්නැයි ජනාධිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දෙනු ලැබීය.
ඉදිරියේ දී මෙරට පැවැත්වෙන LPL තරගාවලිය ඇතුළු තවත් බොහෝ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව සළසා දෙන ලෙස දෙස්, විදෙස් තරග සංවිධායකවරුන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබී ඇති බවත්, එය සංචාරක කර්මාන්තයේ සහ විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේය.










