• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘උඹ විතරක් සතුටින් හිටියට වැඩක් නෑ! මිනිස්සු දුකින් මුදාගන්න උඹේ මුලු ජීවිතයම කැප කරපන්!’ විජය ලියුමකින් කියපු කතාව විමුක්ති පුතා ඉටු නොකළේ ඇයි?

October 19, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
‘උඹ විතරක් සතුටින් හිටියට වැඩක් නෑ! මිනිස්සු දුකින් මුදාගන්න උඹේ මුලු ජීවිතයම කැප කරපන්!’ විජය ලියුමකින් කියපු කතාව විමුක්ති පුතා ඉටු නොකළේ ඇයි?
Share on WhatsAppShare on Facebook

විජය කුමාරණතුංගයන්ගේ පුතුවන විමුක්ති කුමාරණතුංගයන් සම්බන්ධයෙන් විවිධාකාරයේ කතාබහ පසුගිය කාලයේදී වරින්වර මතු විය. ඒ බොහෝ අවස්ථාවල කියැවුණේ නුදුරේදීම විමුක්ති මෙරට දේශපාලනයට සම්බන්ධ වන බවය. වසර ගණනාවක් පුරා ඒ ආකාරයේ පුවත් පැතිර ගියද විමුක්ති දේශපාලනයට සම්බන්ධවන බවක් මේ දක්වා පෙනෙන්නට නැත.

ඒ වෙනුවට පසුගිය අගෝස්තු මාසයේදී නිවේදනයක් නිකුත් කළ විමුක්ති කුමාරණතුංග මහතා සඳහන් කර තිබුණේ තමන් දේශපාලනයට සම්බන්ධ වන බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා වන බවය. තමන් පශු වෛද්‍යවරයෙකු ලෙස එංගලන්තයේ සේවය කරන බවත් ඊට අමතර වෙනත් වෘත්තියකට සම්බන්ධ වීමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත් එම නිවේදනයේදී විමුක්ති සඳහන් කර තිබිණි.

එමෙන්ම ඒ පිළිබඳව අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියද, පසුගිය කාලයේදී සඳහන් කළේ කිසිදු දිනෙක තම දූ දරුවන් මෙරට දේශපාලනයට සම්බන්ධ කරවීමට බලාපොරොත්තු නොවන බවය. ශ්‍රී ලංකාවේ දේශපාලනය ජරාජීර්ණ මඩවළක්වන බවද හිටපු ජනාධිපතිනිය එහිදී සඳහන් කර තිබිණි.
මේ අතර පසුගියදා යෙදී තිබුණු විජය කුමාරණතුංගයන්ගේ 76 වැනි උපන්දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් විමුක්ති කුමාරණතුංග සඳහන් කර තිබුණේ “අද තාත්තාගේ උපන් දිනය. හිටියා නම් 76ක්. තාත්තා අහිමි කළ මිනිසුන්ට ඇත්තේ කුමන සැනසීමක්ද?” යන්නය. ඒ සටහනත් සමඟ විමුක්තිගේ දේශපාලන ආගමනය පිළිබඳ අලුත් කතාබහක් සමාජය තුළ නිර්මාණය වී ඇත.

විජය කුමාරණතුංගයන් යනු මෙරට පහළ වූ සැබෑ මානව හිතවාදියෙකි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එය ඕනෑම කෙනකු පිළිගන්නා කාරණයකි. ඒ හේතුවෙන් ඔහුට සිරගත වීමට පවා සිදු වූ අතර අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදු විය.

විජය කුමාරණතුංගයන්ගේ එකම පුත්‍රයා විමුක්තිය. එබැවින් විජයගේ සියලු බලාපොරොත්තු ඉටු කළ යුත්තේ ඔහුය. පියෙකුගේ හීන සැබෑ කිරීම ඕනෑම පුතෙකුගේ යුතුකමකි. නමුත් දැන් ප්‍රශ්නය වන්නේ විමුක්ති තම පියාගේ සිහින ඉටු කිරීමට සූදානම් නැතිදැයි යන්නය.

විමුක්ති තවමත් පවසන්නේ තමන් මෙරට දේශපාලනයට සම්බන්ධ නොවන බවය. නමුත් ඔහුගේ පියා ඔහුගෙන් ඉල්ලා ඇත්තේ තමන්ගෙන් පසු තමන් ගිය අඩි පාරේම යන ලෙසය. එය ඔහුගේ එකම බලාපොරොත්තුව බවද විජය කුමාරණතුංගයන් පවසා ඇත. විජය මේ ඉල්ලීම කර ඇත්තේ විමුක්තිට යම්තම් වයස මාස හතරක් ගත වූ අවධියේදී වීමද විශේෂත්වයකි.

විමුක්තිගෙන් විජය මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ සිට ලිපියක් මඟිනි. ඒ 1982 වසරේදීය. ඒ අවස්ථාවේ සිරගෙදර සිට තම මවට, පුතුට, දියණියට මෙන්ම පොදු ජනතාව වෙතත් ලිපි ලිවීමට විජය කටයුතු කළ අතර එම ලිපි සියල්ලම පසු කලෙක ප්‍රසිද්ධියට පත් විය. විමුක්තිට යොමු කළ ලිපිය මඟින් අවස්ථා කිහිපයදීම තම අඩි පාරේ ගමන් කරන ලෙස විජය පැහැදිලිව ඉල්ලා ඇත.

විජය කුමාරණතුංග ඇතුළු කිහිපදෙනකු ඒ ආකාරයෙන් සිරගත කළේ නැක්සලයිට් කුමන්ත්‍රණකරුවන් බවට චෝදනා කරමිනි. ඒ ආකාරයෙන් විජය සිරගත කිරීමට තිබුණු එකම හේතුව අනුර බණ්ඩාරනායක මහතාගේ සාක්ෂිය පමණක් වූ බවද ප්‍රසිද්ධ කාරණයකි. ඒ වන විට විජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමේ සූදානමකින් පසු වූ බවද ප්‍රසිද්ධ රහසකි.

විජය කුමාරණතුංගයන් අමානුෂික ලෙස ඝාතනය වූයේ ඉන් වසර 06කට පසුවය. ඒ වන විට විමුක්තිද වයස අවුරුදු 06ක ළදරුවෙකි. ඒ කාලය පුරාවටම තම සිහිනය පිළිබඳව විජය විමුක්තිට පවසන්නට ඇත. නමුත් ඒ ගැන පැහැදිලි මතකයක් විමුක්තිට ඇතැයි අනුමාන කළ නොහැක්කේ ඔහු ඒ වන විටද කුඩා දරුවෙකු වීම නිසාය.
පීඩිත පන්තියේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි ඒ පන්තියේ පියෙකුගේ පුතෙකු වූවද, විමුක්ති ලොකුමහත් වූයේ මෙරට පළමු විධායක ජනාධිපතිනියගේ පුතු ලෙසිනි. එබැවින් තම පියා මුහුණ දුන් අත්දැකීම් සහ විමුක්ති මුහුණ දුන් අත්දැකීම් අතර පැහැදිලි වෙනසක් ඇති බවටද සැකයක් නැත. එමෙන්ම විධායක ජනාධිපතිනිය ලෙස පොදු ජනතාව වෙනුවෙන් වූ තම පියාගේ සිහින ඉටු කිරීමට තම මව කටයුතු කළ ආකාරය ගැන සෑහීමකට පත්විය හැකිද, නැද්ද යන්න ගැන තක්සේරුවක් විමුක්ති තුළ ඇති බවටද සැකයක් නැත.

කෙසේ නමුත් විමුක්ති තවමත් පවසන්නේ මෙරට දේශපාලනයට පැමිණීමේ බලාපොරොත්තුවක් නැති බවය. එමෙන්ම විජය, විමුක්තිට එවූ ලිපියේ දේශපාලනය ගැන සඳහන් කර නැති බවටද කෙනෙකුට තර්ක කළ හැක. එහි සඳහන් කර ඇත්තේ පීඩිත පංතිය වෙනුවෙන් යුතුකම ඉටු කරන ලෙසිනි. එහෙත් දේශපාලනයට සම්බන්ධ නොවී එය සිදුකිරීමේ හැකියාවක් විමුක්තිට තිබේදැයි යන්න අපි දන්නේ නැත. එදා විජය, විමුක්තිට ලියූ සම්පූර්ණ ලිපිය මෙහි පළ කිරීමට අප අදහස් කළේ එය දැන් බොහෝ දෙනකුට අමතකව ගොස් ඇති නිසාය.

විමුක්ති මගේ පුතේ,

එදා සිය ගණනක් පොලිසියෙන් හමුදාවෙන් ඇවිල්ලා මාව අරගෙන යනවා උඹ දන්නෙවත් නැහැ. මම එනවිට උඹේ කාමරයට ගිහින් බැලුවා. උඹ අත කටේ ඔබාගෙන තනියම ඉන්නවා. මම උඹව වඩා ගත්තේවත්, උඹ සිම්ඹේවත් නැත්තේ මට දුක හිතෙයි කියලා. නැතිව ආදරය නැති නිසා නෙවෙයි. මම අහක බලාගෙනම උඹේ මූණ අතගාගෙන එතැනින් ඇවිත් අර හමුදාවත් එක්ක පිටවුණා. අදට මම හිරගෙදරට ඇවිත් මාසෙකුත් දවස් දෙකක් ගත වුණා. දැන් උඹ ඉපදිලා මාස හතරකුත් දවස් 16යි.

උඹ ඉපදෙන්න ඉන්න කාලේ මට කිසිම නිවාඩුවක් තිබුණේ නැහැ. මේ රට පුරාම දුක්විඳින පීඩිත ජනතාව වෙනුවෙන් මහා සටනක් කරනවා. උඹ උපන්නා කියලා මට කිව්වේ, මගදී හමුවුණු හඳුනන මිනිහෙක්. ඒ මිනිහගෙන් පුතෙක්ද, දුවෙක්ද උඹේ අම්මට ලැබුණේ කියලා මට අහන්න ලැජ්ජා හිතුණා. මම කෙළින්ම ගියේ උඹ හම්බවෙලා තිබුණු ඉස්පිරිතාලෙට. මට ලැබිලා තියෙන්නේ පුතෙක් කියලා මට දැනගන්න ලැබුණා. මට හරි ආඩම්බරයක් ඇති වුණා. ඒ උඹ ගැන නොවේ, මා ගැනයි. පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්. මම උඹ දිහා බලාගෙන උන්නේ හරිම ආඩම්බරයෙන්. මම දැනගත්තා මේ ජීවිතයේදී මට උඹ හමුවෙනවා කියලා. උඹව ලැබෙන්න හුඟ කාලයකට උඩදීම මමයි උඹේ අම්මයි උඹට නමක් හොයා ගෙනයි තිබුණේ. අපි දෙන්නම බලාපොරොත්තු වුණා අපේ පුතාට විමුක්ති කියලා නම තබන්න. උඹයි අපේ විමුක්ති.

උඹ ලොකු මිනිහෙක් වුණුදාට උඹට වැටහෙයි උඹේ නමේ තියෙන තේරුම. විමුක්ති කියන්නේ දුකින් මිදීම. නමුත් තමන් විතරක් දුකින් මිදී, ජීවත්වීම කිසිම ඵලක් නැති දෙයක්. උඹට විමුක්ති කියලා නම දැම්මේ, උඹට කිසි දුකක් නැතිව ඉන්න ලැබෙනවා කියලා බලාපොරොත්තුවෙන් නෙවෙයි. උඹ කවදාහරි දවසක දැන ගනීවි, මේ පුංචි රටේ පරම්පරා ගණනාවක් තිස්සේ කිසිම කෙනකුගේ සරණක් නැතිව සදාකාලිකවම දුක් විඳින ලක්ෂ ගණනක් දුප්පත් ජනතාව ඉන්න බව. උන් ඔක්කොම එකම පංතියක මිනිස්සු. උඹේ තාත්තාත් අන්න ඒ පංතියේ මිනිහෙක්. ඒක මතක තියාගනින් පුතේ. කිසිම දවසක අමතක කරන්න එපා, උඹේ ඇඟේ දුවන්නේ ඒ තාත්තගේ ලේ බව. දුක් වේදනා, කරදර අමාරුකම්, නැති බැරිකම්වලින් පිරිච්ච ජීවිතයක් ගතකරපු මිනිහෙක් උඹේ තාත්තා.

උඹ ඒ ගැන ලැජ්ජා වෙන්න එපා. ආඩම්බර වෙයන්. කවදාහරි දවසක උඹට මේ ලෝකයටම හඬගා කියන්න ඉතිරිවන එකම සුදුසුකම අන්න ඒකයි. මගේ ලෙයින් උඹ ලැබූ ඒ අයිතිය රැක ගනින් පුතේ. කවදාහරි දවසක මේ නිර්ධන පංතිය දුකින් මුදවා ගන්නට කරන මහා අරගලයකදී, මගේ ලේ උරුමයෙන් උඹට ලැබූ ඒ අයිතිය බලවත් ආයුධයක් කර ගනින්. හදවතට එකඟවම කරන දෙයක් කිසිදාක වරදින්නේ නැහැ. උඹේ තාත්තා ජීවිතයේ දෙතුන් වතාවක් පැරදිලා තියෙනවා. නමුත් මට වැරැදිලා නැහැ. අද මම මේ සිර කූඩුවේ ඉන්නේ වැරැදිලා නෙවේ. පැරදුණු නිසා. මේ හිරබත් කන එක මට මදිකමක්. ලැජ්ජාවක් නෙවේ. මට නම්බුවක්. මම මෙතැන හිරවෙලා ඉන්නේ ලක්ෂ ගණනක් මගේ පංතියේ මිනිස්සු වෙනුවෙන්. ආයේ මම මේ හිර ගෙදරින් පාරට බහින්නෙත් ඒ අතරමංවෙලා ඉන්න පීඩිත ජනතාව වෙනුවෙන්. මේක මට ලොකු අත්දැකීමක්. ලොකු ධෛර්යයක්. මේ හිරගෙවල් හදලා තියෙන්නේ උඹ අපි ඔක්කොටමයි. මම මේ හිරගෙදරට එන්න ඉස්සෙල්ලා මේ රට පරසුද්දන්ගෙන් බේරගන්න සටන් කරලා හිරේ වැටුණු ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ හිටියා. ඒ උදවිය එදා ආඩම්බරයෙන් කරපු අරගලයේ කොටසක්මයි අද අපි ඉදිරියට ගෙනියන්නේ. කවදා හරි දවසක උඹත් ඒ අරගලයට පංගුකාරයෙක් වෙයන්. එදාට උඹටත් මේ හිරගෙදරට එන්න සිද්ධවුණොත් අන්න එදාට මේ හිරගෙදර ඇතුළේ මම උන්න සුවඳ නුඹට දැනේවි. උඹව බලන්න එන්න මම ජීවතුන් අතර නොසිටන්න පුළුවන්. ඒත් කමක් නෑ. උඹේ තාත්තා මතක් කරගෙන ඒ තාත්තා නියෝජනය කළ පීඩිත පංතිය දුකින් මුදවාගන්න සටන් කරපන්. මම උඹෙන් ඉල්ලන එකම ඉල්ලීම එපමණයි.

අද මම හිර කූඩුවේ ඉඳගෙන උඹගේ හැඩහුරුව මතක් කරන්න හුඟක් උත්සාහ ගත්තා. ඒත් මට කොහොමටවත් උඹේ මූණේ හැටි හරි හැටි මතක් කරන්න අමාරුයි. මම හිරගෙදර එන්න ඉස්සෙල්ලාත් උඹව හරි හැටි දැක්කේ ටික දවසයි. උඹ දැන් තවත් වෙනස් වෙලා ඇති. කවදාහරි දවසක මේ හිරගෙදරින් නිදහස් වෙලා, මම උඹව බලන්න එනවා. උඹ මොනතරම් හැඩරුවෙන් වෙනස් වුණත් උඹ මට වඩා වෙනස් මනුස්සයෙක් වෙන්න බැහැ. මේ හිරගෙදරින් නිදහස් වෙලා ආ දවසට මට උඹට මොනවා උගන්වන්න බැරි වුණත් මනුස්සකම කියන්නේ මොකක්ද කියලා මම කියලා දෙන්නම්. මම දැකපු දේවල්, මම ඇසූ දේවල් මම උඹට කියලා දෙන්නම්. දුක වේදනාව කියන්නේ මොකක්ද කියලා මම උඹට කියලා දෙන්නම්. ඒ අත්දැකීම්වලින් ඔය පාඩම් ඉගෙන ගෙන කවදා හරි දවසක හොඳ මනුස්සයෙක් වුණොත් මට ඒ ඇති.

විමුක්ති- දුකින් මිදීම, තමන් විතරක් දුකින් තොරව ජීවත් වෙලා ඵලක් නැහැ. පරම්පරා ගණනක් තිස්සේ සදාකාලිකවම දුක් විඳින ලක්ෂ ගණනක් පීඩිතයන්, දුප්පතුන් විඳින දහසකුත් එකක් දුකින් මුදවා ගැනීමට උඹේ මුළු ජීවිතයම කැප කරපන් පුතේ. දුක්, කරදර, අමාරුකම්, නැතිබැරිකම්, සම්, මස්, ඇට, නහර තුළින් කකියන රතු ලේ මිශ්‍ර වෙලා, ඒ ලේ පිරිච්ච හදවතක් තියෙන උඹේ තාත්තගේ ලෙයින් උපන් විමුක්ති, අනාගතයේ කවදා හරි දවසක මේ රටේ පරම්පරා ගණනාවක් තිස්සේ දුක් විඳින ලක්ෂ ගණනාවක් දුකින් මුදවා ගෙන උඹත් මේ දුකින් මිදියන් පුතේ.

අන්න ඒකයි විමුක්තිය. මම උදේ දවල් රෑ දකින එකම සිහිනය එපමණයි. ඒ සිහිනය සැබෑ කරන්න මගේ එකම බලාපොරොත්තුව උඹ පමණයි. මගේ බලාපොරොත්තු උඹෙත් බලාපොරොත්තු වුණොත් කවදා හරි දවසක උඹත් මමත් දෙන්නම ජය ගන්නවා. එදාට උඹයි, මමයි, උඹේ තාත්තගේ පංතියේ හැම එකෙක්මයි ජය පැන් බොයි. ඒ ජය සදාකාලිකව පවතිනවා යැයි මුළු සිතින්ම සිතාගෙන මම උඹට පතන්නේ, ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබෙන්න සියලු දෙවි දේවතා රැකවරණයි.

SendShareShare
Previous Post

බ්‍රහස්පතින්දා දුවන්න තිබ්බ කෝච්චි දින නියමයක් නැතිව නවත්වයි!

Next Post

පස්ස දොරෙන් ආදරේ පන්නන දස දෝෂ…

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

පුංචි තිරය හරහා ප්‍රේක්ෂක සිත් සොරාගත් ඇය, කාලෙකින් නිර්මාණයකින් දැකගන්න ලැබුණේ නැහැ. හැබැයි ඇයට තියෙන ප්‍රේක්ෂක ආදරයේ නම් කිසිම අඩුවක්...

Read more
තෙල් අඩු කළා!

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.