කුඩා සිතුල්පව්ව දාගැබේ නිදන් වස්තු පැහැර ගැනීමක් සිදුව නැතැයි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.
අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, දාගැබේ හාරා තිබූ සිදුර වසා දැමීමට පුරාවිද්‍යා නිලධාරීන් කටයුතු කිරීමේදී සොර පිරිසට නිදන් වස්තු පැහැර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බව පැහැදිලිව නිරීක්ෂණය වූ බවයි.
නිදන් වස්තු පසුව ලබා ගැනීම සඳහා එහි අභ්‍යන්තරය ලිහිල් කිරීමේ අරමුණින් ගර්භය තුළට යම් රසායනික ද්‍රව්‍යක් යොදා එම සිදුර වසා දමා ඇති බව ද ඔහු පැවසී ය.
කුඩා සිතුල්පව්ව දාගැබ හැරීමේ සිද්ධියට සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුහු මේ වන විට රක්ෂිත බන්ධානාගාරගත කර සිටිති.
තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් සමග සෆාරි ජිප් රථයක් සහ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගැනිණ.
පසුගිය 31 වනදා රාත්‍රියේදී දාගැබ හෑරීම සිදුව තිබූ අතර දාගැබ හාරනු දැක සිතුල්පව්ව පුදබිමේ ආරක්ෂාවට සිටින යුද හමුදා සමාජිකයින් ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබූ අතර පසුව පොලීසිය සහ හමුදාව එක්ව එම අවස්ථාවේ අල්ලා ගෙන තිබුණේ, එක් සැකකරුවෙකු පමණි.
නිදන් හැරිමට පැමිණි අනෙක් පිරිස එම අවස්ථාවේ පලාගොස් තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පසුව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ.
යාල ජාතික වනෝද්‍යානයේ පිහිටි සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ සිට මීටර් 190 ක් පමණ දුරින් වන්දනාවට පාත්‍රවන කුඩා සිතුල්පව්ව දාගැබ පිහිටා තිබේ.










