“තෙත් කලාපයේ හා වියළි කලාපයේ යන දෙකේම භූගත ජල මට්ටම ඉතාම නොගැඹුරුයි. ඒ හින්ද තමයි භූමදානයට ලංකාවේ පාංශු ස්වභාවය සරිලන්නේ නැත්තේ,”
“ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍රයන් බහුලව තියෙනවා. එසේ භූමදාන කළහොත් වෛරසය අපේ ගංගා, ඇළදොළ, ළිංවලට එක්වීම වැළැක්විය නොහැකියි. මියගිය පුද්ගලයකුගේ කිලෝග්‍රෑම් එකක අපවිත්‍ර ජලය ලීටරයක් තියෙනවා. ඒ නිසා තමයි ළඟම ආදාහනාගාරයක ඉහළ උෂ්ණත්වයකදී කිසිම පුද්ගලයකු සහභාගි කර නොගෙන දේහයන් ආදාහනය කරන්නේ…”
2020නොවැම්බර් 13
BBC වෙබ් අඩවිය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විදානගේ මෙසේ පැවැසූ බව දිගින් දිගට වාර්තා වුණා. දන්න කෙනෙක් කිව්වාය කියන විශ්වාසය එක්ක මුළු රටම ඒක පිළිගත්තා. මේක ඇතුළෙ තිබ්බා අප්‍රසන්න මතවාද සියල්ලම මැකිලා ගියා. ඇත්ත වැහුණා. මෙත්තිකාලා වගේ දැනුම් තේරුම් තියෙන අය මේ වගේ වගකීම් රහිතව කතාකරන කොට රටේ මිනිසුන් තනිකරම ආංකල් වුණා. මේ වෙන කොට මේ නෝනා කොහෙ ඉන්නවද මොනව කරනවද දන්නෙ නෑ.
ඒ වගේම මේ ප්‍රකාශය කරන්න හේතු වුණේ මොන වගේ දෙයක්ද කියන්නත් අපි දන්නෙ නෑ. කොහොම නමුත් එදා ඈ විවිධ මට්ටම්වලින් මේක ඔප්පු කරන්න උත්සහ කළා. නමුත් අපි වගකීම් සහිත මාධ්‍යයක් විදියට මේ ගැන ප්‍රාමාණික උගතුන්ගෙන් අපි තොරතුරු ලබාගත්තා දිගින් දිගටම. නමුත් ඔවුන් කිසිවෙක් මේ කාරණාව හරි කියලා කිව්වෙ නෑ. එදා අපි මේ ගැන කතාකරන අතරෙ එක්තරා රූපවාහිනී නාලිකාවක් අමුතු සෙල්ලමක් දැම්මා. ඒ සෙල්ලමට අහුවෙන්නෙ මහින්දානන්ද අලුත්ගමගේ, බුද්ධික පතිරණ, වසන්ත සමරසිංහ වගේ අය. ඒ අය අද මොනවා කිව්වත් ඔවුන් මේ ප්‍රකාශය ඉස්සරහ සාධාරණ විරෝධයක් දක්වනවා එදා අපි දැක්කෙ නෑ. ඔවුන් සහභාගි වුණු රූපවාහිනී වැඩසටහනක “විරාමයක්” අස්සෙ වුණු මේ කයිවාරුව මොකක්ද මන්දා අරුම පුදුම හේතුවකින් රටටම පේන්න විකාශය වුණා.
ඒ වෙලාවෙ එතැන හිටපු වැඩසටහන් මෙහෙයවන්නා ලොකු කයිවාරුවක් ගැහුවා. ඒ කයිවාරුවෙ අදහස විතරයි දැන් අපට මතක. ඒකෙ සරල අදහස වෙන්නෙ,
“ඔය ලෝක සෞඛ්‍ය සංවිධානය මොනවා කිව්වත්, වෙනස් කරලා දාන්න තිබ්බෙ…” වගේ එකක්. ඒක විශාල තක්කඩිකමක් කියලා අපි එදාම කිව්වා. ඒ අස්සෙ අර කයිවාරුකාරයා කිව්වෙ,
“ගහන්න ඕනෙ ඕකුන්ට” කියලා. එතැන හිටියෙ විවිධ දේශපාලන ධාරාවන් නියෝජනය කරන අය. හැබැයි ඒ අය තිරෙන් පිටිපස්සෙදි මේ කාරණාව සම්බන්ධව හිටියෙ ගොලුවා කසාය බිව්වා වගේ. අපි මේ කියන්නෙ පෙනුණු විදිය. ඒ වෙලාවෙ හිතේ තිබ්බෙ මොනවද නොතිබ්බෙ මොනවද කියන ඒවා අපි දන්නෙ නෑ. හැබැයි මේ කාරණාවෙදි හැමෝම හිටියෙ රෑ දනියෙල් දවල් මිගෙල් ප්‍රතිපත්‍තියක.
මේ ගැන අපි මෙහෙම කියන්නෙ, වෙන දෙයක් නිසා නෙමෙයි. මේ ඉහළ නිලතල දරන ඉහළ උගත්කම් නියෝජනය කරන බොහෝ අය නිසා, මේක නිකම්ම ගොං පාට් එකක් බවට පත්වුණා. හැමෝම එකතු වෙලා උත්සාහ කළේ මේ සෙල්ලම යථාර්ථයක් කරගන්න. හැබැයි මේ සෙල්ලම පිටිපස්සෙ තිබ්බේ වෙනම ජාතිවාදී විහිළුවක්. හුඟදෙනෙක්ට වුවමනා වෙලා තිබ්බෙ අන්තවාදී විකාරයක්. ඒ අන්තවාදී ආතල් ඉතාම දුරදිග ගියේ ලංකාවෙ මාධ්‍ය මේ වෙලාවෙ අනුන්ගෙ සළුපිලි ලෙහා දමා වැඩකරන්න පටන්ගැනීමත් එක්ක. මේ පටලැවිල්ල කොච්චර දුරදිග ගියාද කියනවා නම් ලංකාවෙ මාධ්‍යයට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්න අරාබි රාජ්‍යයන් පියවර ගත්තා.
“එය මළසිරුරුවල නොදමා ආදාහනය සඳහා පනවන ලද නියෝගයක් බවට හැඟීයන ආකාරයෙන් ප්‍රවෘත්තිය වෙනස් කොට, ද්වේශසහගත ලෙසින් දේශීය මාධ්‍ය තුළ පුළුල්ව පළකර ඇත්තේ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව ජාතිවාදය හා වෛරය ඇවිස්සිය හැකි විලාසයෙනි”
“හිතාමතා දරන ලද මෙම උත්සාහය දැඩි ලෙස හෙළාදකින තානාපති කාර්යාලය එම ප්‍රවෘත්තිය සියලු වෙබ් අඩවිවලින් වහාම ඉවත්කිරීමටත්, නිසි පැහැදිලි කිරීමක් පළකරමින් මෙම වැරදි තොරතුර නිවැරදි කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.”
මේ ප්‍රකාශය එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් ශ්‍රී ලංකා වේ එම තානාපති කාර්යාලය නිකුත්කරපු නිවේදනයකින් උපුටාගත්තා.
“අයි.ඩී.එච්. එකෙන් කිව්වලු අපිට ලෙඩේ අඳුරගන්න බෑ කියල. එහෙම කියල බොඩි එක බලන්න දීලා දැඩි සත්කාර ඒකකයට යන්න දීල තියෙනව. හැබැයි පුතාට සෙරෙප්පු ගලවන්නවත් කියල නෑ. බොඩි එක කපල බලන්න ඕනේ කීවලු. කොරෝනා තිබුණ නම් බොඩි එක කපන්නේ ඇයි කියල පුතා අහනවා.”
“අම්මගේ ඇස්වල කඳුළු තිබුණා කියල පුතා කියනවා.”
“මම ඉගෙනගත්ත කෙනෙක් නෙමෙයි මහත්තයා, ඒත් මූණ බලන්න දුන්නේ කොහොමද එයාට කොරෝනා තිබුණ නම්?”
“ඊට පස්සේ අපිට කිසිම දෙයක් කියන්නේ නැතුව පුච්චල දාල,”
හතළිස් හැවිරිදි ෆාතිමා රිනෝසා ගැන මොහමඩ් ෂෆීක් කියා තිබුණු කතාව ඒක. ෆාතිමා මැරුණෙ කොවිඩ්වලින්ද නැද්ද කියන ප්‍රශ්නයට උත්තර නැතිව ඈ පුච්චලා දැම්මා.
මේ විදියෙ අනවශ්‍ය පිච්චිලි විදියට චෝදනා ලබන සිදුවීම් ඕන තරම් තියෙනවා.
“අපිට තාත්තාගෙ භූමදානෙ කරන්නවත් අවස්ථාවක් ලැබුණෙ නෑ. අපි අපේ කනත්තෙන් අඩි 8ක වළක් කපලා සූදානම් කරල තිබුණෙ. මාලිගාවත්තෙ කනත්තකත් උවමනා නම් සූදානම් කරල තිබුණා. අපි පවුලෙ කිහිපදෙනෙක් ඉඳලවත් අවසන් කටයුතු කරන්න අපිට බැරි වුණා, කාටවත් එහෙම වෙන්න එපා, පරිස්සම් වෙන්න. මහ රෑ අපි දන්නෙත් නෑ මිනිය ආදාහනය කරලා. කාටවත් වරදක් කියන්නෙ නෑ.
මොනවා කියන්නද තේරෙන්නෙ නෑ, අසරණයි. ‘දෙරණ’ නිවුස්වලට යනවා දැක්කා. අවසන් කටයුතුවලට පවුලෙ කවුරුත් ආවෙ නෑ කියල මට කෑගහල කියන්න හිතුණා. තාත්තාව අපි තනි කළේ නෑ. අදාහනය කළා. අපි දන්නෙත් නෑ…”
මේ, මීගමුව රෝහලේදී මියගිය පුද්ගලයාගේ පුතා ‘තානිස්‘ ඒ මරණය ගැන කී කතාව. ඔවුන් කියන්නෙ ආදාහනය ගැන ඔවුන් නොදැන සිටි බව. මුස්ලිම්වරුන් සාමාන්‍යයෙන් මෘත දේහ පුලුස්සන්නේ නෑ කියන එක දැනගෙනත්, මේ වෙලාවෙ ඒ සිරුර පිලිස්සීම බරපතළ අර්බුදයක් බවට පත්වෙන බව දැන දැනත් මීගමුව මඤ්ඤොක්කා හේන සුසාන භූමියේදි රහසින්ම පුච්චලා දැම්මා. ඒක එහෙම වුණේ නෑ කියන්න ඔය කොයි ජගතෙක්ටවත් බෑ.
එදා ඒ වෙනුවෙන් අපේ රටේ හාමුදුරුවරු ඇතුළු විශාල පිරිසක් පෙනීහිටියා. මුස්ලිම් සිරුරු වළලනවා කියන එකට එරෙහිව උද්ඝෝෂණය කළා. දවස් කීපයක දරුවෙක් මියගියාම ඒ ළමයගෙ සිරුරවත් පුච්චන්නෙ නැතිව ඉන්න කියලා ඒ අම්මලා තාත්තල හඬාවැටෙද්දී ඒ කිරි දරුවවත් පිච්චුවා. මේ ගැන ඕනෑ තරම් තර්ක තිබුණා. අන්තිමට එක අඩියක් පස්සට ගන්න ආණ්ඩුව ලෑස්ති වුණා. ඒ මළ සිරුරු භූමදානයට ඉරණතිව් දූපත තෝරගෙන තිබ්බෙ විශාල ගැටුමක් සහ ප්‍රශ්නගොඩක් එක්ක. ඒ වෙලාවෙ එක පැත්තකින් ඉරණතිව් දූපතේ මිනිස්සු මේ කාරණාවට එරෙහිව එළියට බැස්සා. ඒ වගේම කොළඹ ඉඳළා මළ සිරුරක් අරගෙන ඉරණතිව් ගිහිල්ලා එහෙ අවසන් කටයුතු කරන්න ගියාම විශාල කාලයක් වගේම මුදලකුත් වැය වෙනවා. ඒ නිසා එදා ඒ කරපු එක අපට පේන්නෙ පය බරවායට පිටිකර බේත් බැන්දා වගේ වැඩක්.
“මෑතක සිට ඉරණතිව් දූපතට ජනතාව වැඩි වශයෙන් ජීවත්වීමට පැමිණ සිටිනවා. ඊට අමතරව නාවික හමුදාවේ කඳවුරු කිහිපයක් මේ ප්‍රදේශයේ තිබෙනවා. මෑතකදී ආරම්භ කරන ලද ඉරණතිව් මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මානය මගින් වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර්මිලියන 25කට අධික මුදලක් විදේශ විනිමය ලෙස රජයට ලබාගැනීමට සැලසුම් කර තිබෙනවා. එහෙත් මෙම කොවිඩ් භූමදාන කටයුතු නිසා එම ව්‍යාපෘතිය අඩාළ විය හැකියි. ඒ අනුව මේ මෘතදේහ භූමදානයට ඉරණතිව් සුදුසු නැහැ…”
මේ, මෘත දේහය භූමදානය ගැන ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයා එදා කියපු කතාව. මේ සිරුරු ගෙන ඒමට එරෙහිව කතෝලික පූජකයන්ගෙ මූලිකත්වයෙන් විරෝධතා තිබ්බා.
හැබැයි අද….?
අද වෙනකොට සියල්ල උඩු යටිකුරු වෙලා. කොළඹ, ගම්පහ, කළුතර විතරක් නෙවෙයි නුවරත් මළසිරුරු ගොඩගැහිලා. දැන් ඒ හාමුදුරුවරු කෝ? අර මහාචාර්ය නෝනා කෝ? අද ඇත්තටම මේ සිරුරුවලට මොකද වෙන්නෙ?
මේ වෙනකොට සිරුරු භූමදානය සඳහා ස්ථාන කීපයක් වෙන් කරලා ඉවරයි. තව දුරටත් අම්පාර ප්‍රදේශයේ තැනක් වෙන් කරන්න නියමිතයි. ඒ වගේම කොළඹ හුඟක් තැන්වල කොවිඩ් ආසාදිතව මියගිය අයගෙ සිරුරු වළලනවා. නිල වශයෙන් සහ නිල නොවෙන විදියට මේ වැඩේ වෙනවා.
එතකොට වතුර…?
ඕක අහන්න ඕන අර මේ වෙනුවෙන් පෙනී හිටපු අයගෙන්. ඇත්තටම එදා තිබ්බෙ හිතුවක්කාරකම මිසක් වෙන එකක් නෙවෙයි කියලා දන්න අය කියනවා. සමාවෙන්න මුස්ලිම් සහෝදරවරුනි, ඔබේ අවසන් වුවමනාව ඉටුකරන්නත් අපට හුඟාක් කල් ගියා. මේ ආදාහනය සහ වැළලීම ගැන කතන්දරය අවසානයෙ කියන්නෙ වෙන්නෙ ඕක.
ජීවන පහන් තිළිණ










