• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මෙන්න ශිරාණිගේ ‌‌පොතෙන් එළියට එන රහස්

October 6, 2019
in News, Politics
Reading Time: 2 mins read
A A
මෙන්න ශිරාණිගේ ‌‌පොතෙන් එළියට එන රහස්
Share on WhatsAppShare on Facebook

“එදා උදේ හරි ලස්සනට ඉර පායලා මුදු, සුමුදු හුළඟක් අපේ මිදුල උඩින් හමාගෙන යමින් තිබුණු දවසක්. ලේක් ඩ්‍රයිව් එකේ කොනක තියෙන රබරෝසියා ගහ කොළයක් නොපෙනෙන තරමටම රෝසම, රෝස පාට මල්වලින් වැහිලා ගිහින්. පෙලිකන් ජෝඩු කිහිපයක්ම හීන් ඇළේ දෙපැත්තට පීනමින් හිටියා.”
මොකක්ද මේ මනහර හැඩතලවලින් යුත් වදන් පෙළ? මේක ලස්සන පාට, පාට හීනයක් වගේ ප්‍රේම කතාවක කොටසක්ද? ප්‍රේමවන්තියක් තමන්ගේ ප්‍රේමවන්තයා හමුවන්නට පෙර දෙනෙතින් දකින දසුනක් වගේ ලස්සන වදන් පෙළගැස්මක්. මේක මෙහෙම ලියන්නේ නම් සුකුමල ගැහැනියක් තමයි.
ඒත් ඇයගේ කතාව අනෙක් ගැහැනුන්ගේ කතාවන්ට වඩා බොහෝ වෙනස් එකක්. ඒ නිසාම ඇය සත්‍ය ලෙසම අපූර්ව ගැහැනියක්. ඇය මේ කතාව කියන්න පටන් ගත්තා විතරයි. මෙය මුලින් රටක්ම අහපු කතාවක්. පසුව ලොවක්ම අහපු කතාවක් බවටද පත්වුණා. ඇය මේ වදන් පොතක පිටු අතරට ගොනුකරනවා.
“එදා අපි උදෙන්ම පිටත් වෙන්න ලෑස්ති වුණා. අවුරුදු 30ක් තිස්සේ බොහොමයක් සතියේ දවස්වල උදේට කරන විදියටම මම අපේ උස කණ්ණාඩි මේසය ළඟ මගේ ඔසරිය අඳිමින් ඉන්න අතරේ, කණ්ණාඩියේ වැටිලා තිබුණු මගේම පින්තූරය මැදින් මට නොයෙකුත් දේවල් මැවිලා පෙනුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළු වෙන්න කලින් මම ඉස්කෝල පහකට ගිහින් තිබුණා. මම රාජකාරී කරලා තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේත්, ශ්‍රේෂ්ඨාධිකරණයේත් විතරයි. හැබැයි ඒ තැන්වලත් තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න තරණය කරන්න තිබුණු කඳු, හෙල්, ගංගා අපමණයි. ගැටලුව තිබුණේ තරණය කිරීම නෙවෙයි. තරණයට අවශ්‍ය දහිරිය, ශක්තිය අප්‍රමාණව තිබුණත් හැංගිලා පහරදුන්නු සතුරු ප්‍රහාර ජයගන්න එකයි අමාරුව වුණේ.”
ලස්සනට ඉර පායලා තිබුණු හැටි කියපු ඇය දැන් සතුරු ප්‍රහාරයක කතාවක් කියනවා. ඒත් ඇය යන්න ගත්තු ගමන තවම යන්න පටන්ගත්තේ නැහැ. මේ කතාව ඇයගේ වදන්වලින්ම තැනින් තැන ලියන්නට මේ ලියුම්කරු උත්සාහ කරනවා.
“අරලියගහ මන්දිරයට වඩා ජනාධිපති මන්දිරයේ හිතට අහුවෙලා තැන්පත් වුණු ගාම්භීර ලස්සනක් තියෙනවා. ඒ හින්දා එතැන දිවුරුම දෙන්න ගත්ත තීරණය ගැන මගේ හිතේ තිබුණේ හීනී සතුටක්. 2011 මැයි මාසේ 19 වැනිදා උදෑසන ගැන තාමත් මගේ හිතේ විචිත්‍ර මතකයක් රැඳිලා තියෙනවා. එදා උදේ දිවුරුම් දීම සූදානම් කරලා තිබුණේ ජනාධිපති මන්දිරයේ. එදා උදේ ජනාධිපති මන්දිරයට ගියේ ප්‍රදීපයි, පුතයි, මමයි විතරයි. අපි එදා ජනාධිපති මන්දිරයට ඇතුළු වෙද්දී මට හිතුණේ ඒක හරිම හිත නිවන බ්‍රහස්පතින්දාවක් කියලා. මම වැඩබලන අගවිනිසුරු තනතුරේ මුලින්ම දිවුරුම් දුන්නේ 2004 අවුරුද්දේ. ඊට පස්සේ 2004 ඉඳලා 2011 දක්වා වරින්වර එකොළොස් වතාවකට වැඩි වාර ගණනක් වැඩබලන අගවිනිසුරු තනතුරේ දිවුරුම් දුන්නා. අද මම දිවුරුම් දෙන්නේ අගවිනිසුරු තනතුර සඳහායි.”
“දිවුරුම දීම අවසාන වුණු හැටියේම ජනාධිපතිතුමාට ඕනෑ වුණා මට කතා කරන්න. මට ඒ ගැන කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. ජනාධිපතිතුමා කියන්නේ රටේ පළමු පුරවැසියා වගේම මගේ පත්වීම් බලධාරියා. තමන් මේ දැන් පත් කරපු අගවිනිසුරු එක්ක සුහදව වචන කිහිපයක් කතා කරන්න හදනවා කියලා මට හිතුණේ. ඒ කතාබහ අපි දෙන්නා සහ ජනාධිපති ලේකම්වරයා අතරේ පමණයි කියන අදහසේ මම හිටියේ. ජනාධිපතිතුමා පුටුවක වාඩිවෙලා ඒක ඉදිරියෙන් තිබුණු පුටුවක මට වාඩි වෙන්න ආරාධනා කරන කොටම පස් හය දෙනෙක් ජනාධිපතිතුමා පිටිපස්සෙන් හිටගත්තා. ඒ ජනාධිපතිතුමාගේ ලේකම්ට අමතරව, ජනාධිපතිතුමා මගෙන් ඇහුවේ එකම එක ප්‍රශ්නයයි.”
“අධිකරණ සේවා කොමිසමේ ලේකම් විදියට පත්කරන්නේ කවුද?” ජනාධිපතිතුමා එහෙම ඇහුවා.
“ජනාධිපතිතුමා උත්තරයක් බලාපොරොත්තුවෙන් මම දිහා බලාගෙන ඉන්නවා. මට දෙන්න උත්තරයක් නැහැ. අලුත් තනතුරක දිවුරුම දුන්න ගමන්ම අනෙක් පත්වීම් ගැන මම තීරණය කරන්නේ කොහොමද? කොමිසමේ රැස්වීමක් කැඳවලා අනෙක් සාමාජිකයන් දෙන්නාගේ අදහස් විමසලා ගන්න තියෙන තීරණයක් ගැන මම මොනවා කියන්නද? මේ හැම දෙයක් ගැනම හිතලා මම ජනාධිපතිතුමාට කිව්වා කොමිසමේ අනෙක් සාමාජිකයන් දෙන්නත් එක්ක සාකච්ඡා කරලා මුලින්ම වැඩබලන පත්වීමක් කරන්න අදහස් කරනවා කියලා. ඒ වගේම සාමාන්‍ය ක්‍රමවේදයේ විදියට මට කලින් හිටපු අගවිනිසුරුතුමා පත්කරපු, දැනට නියෝජ්‍ය ලේකම් විදියට වැඩ කරන මංජුල තිලකරත්නව බොහෝ දුරට වැඩබලන ලේකම් විදියට පත්කරන්න සිදුවෙයි කියලත් මම කීවා.”
“ජනාධිපතිතුමා පුපුරා හැලුණා.”
“මීට පෙර ජනාධිපතිතුමා සමඟ සිදුවූ හමුවීම් ඉතාමත් සුහදයි. ඒත් කවමදාවත් ජනාධිපතිතුමා මේ විදියට කෝපයට පත්වෙලා ඉන්නවා දැකලා නැහැ. ඔහු එච්චර තදින් කෝපයට පත්වෙන්න හේතුව මොකක්ද කියලා මම කල්පනා කළා. නමුත් අගවිනිසුරුවරයකුගේ කාර්යභාරය කවුරුවත් සතුටට පත්කරන එක නෙවෙයි. නීතියයි, යුක්තියයි නිවැරැදි විදියට ක්‍රියාත්මක කිරීම. එදා උදේ වරුවේ සිදුවෙච්ච ඒ සිද්ධි දාමයම මහා අප්‍රසන්න හැඟීමක් මගේ හිතට ඇතුළු කළා. ජීවිතයේ මතක ගොන්නට එකතු වෙන්න තිබුණු දවසක අප්‍රසන්නතාව විතරක් ඉතිරි කළා. අපි උදේ ගෙදර ඉඳලා ලේක්ඩ්‍රයිව් එකේ එනකොට රෝස පාට මල්වලින් වැහිලා තිබුණු රබරෝසියා ගහේ පාමුල වැටිලා, තැලිලා, පොඩිවෙලා තිබුණා.”
මා ඔබට එසේ ලියා තැබුවේ එක්තරා ගැහැනියකගේ සහ මිනිසකුගේ කතාන්දරයක පෙර ගමනක් පමණි. එනම් එහි තවත් වගතුග ඉතිරිව ඇත. මේ අපූරු ගැහැනිය කවුද? ඇය ශ්‍රී ලංකා ඉතිහාස පොතට නමක් එකතු කළ ශ්‍රි ලංකාවේ පළමු අගවිනිසුරුවරිය සහ 43 වැනි අගවිනිසුරු ධුරය දැරූ ආචාර්ය ෂිරාණි බණ්ඩාරනායක මහත්මියයි. ඇයත් සමඟ අපූරු මිනිසකුද මේ ජවනිකා පෙළෙහි සිටියි. ඒ වෙනත් කවරෙකුත් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. මොවුන්ගේ හබය ශ්‍රී ලංකාව කැලඹවූයේ මෙයට වසර 7කට ආසන්න කාලයකට පෙරදීය. එනම් හරියටම 2013 වසරේ ජනවාරි 11 වැනිදාය. එකල අගවිනිසුරු ධුරය දැරූ ආචාර්ය ෂිරාණි බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තු දෝෂාභියෝග ක්‍රියවලියක් මඟින් එම තනතුරෙන් ඉවත් කරන ලදී. මෙම සිදුවීම එකල ශ්‍රී ලංකාව මහත්සේ අර්බුදයකට ලක්කළ ක්‍රියාවලියක් විය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමයේදී මෙම අර්බුදය සිදුවූ අතර, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එවකට අගවිනිසුරු ධුරය දැරූ ෂිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයකට ලක්කරන ලදී. ඇයට විරුද්ධව චෝදනා කිහිපයක්ම ගෙන එන ලද අතර, එහිදී ප්‍රධාන ක්‍රියාවලියක් වූයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ සොහොයුරකු වන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යෝජනා කරන ලද පනත් කෙටුම්පතකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබාදීමය. එයට අමතරව ඇයට එරෙහිව තවත් චෝදනා කිහිපයක්ද පෙළගස්වා තිබිණි. ඉන් පසුව කතානායකවරයා පත් කළ තේරීම් කාරකසභාවකින් මෙම චෝදනා විභාගකොට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. ඉන් පසුව 2013 ජනවාරි මාසයේදී එම දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර, දින කිහිපයකට පසුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇය නිලයෙන් පහකරන ලදී. බණ්ඩාරනායක මහත්මිය චූදිතයා ලෙස නම්කොට තිබුණද, එම සියලු චෝදනා ඇය ප්‍රතික්‍ෂේප කළාය. දෝෂාභියෝගය පිළිගැනීම පවා ඇය ප්‍රතික්‍ෂේප කළාය. ඇය එකල මුහුණ දුන් සංවේගකාරී තත්ත්වය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව විදේශයන්හිද දැඩි අවධානයට ලක්විය.
පාර්ලිමේන්තුව දෝෂාභියෝග යෝජනාව සම්මත කරගැනීමෙන් පසුවද, පාර්ලිමේන්තු තේරීම් කාරකසභාව ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හුවාදක්වමින් බණ්ඩාරනායක මහත්මිය පවසා සිටියේ ඇය තම නිලයෙන් බැහැරව නොයන බැව්ය. කෙසේ හෝ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ෂිරාණි බණ්ඩාරනායක මහත්මියගේ අනුප්‍රාප්තිකයා ලෙසට හිටපු නීතිපති මොහාන් පීරිස් නම් කරන ලදී. තීරණය අනුමත කළ දිනයේම සවස 12.30 වන විට දැඩි ආරක්‍ෂක විධිවිධාන යටතේ මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයේ දිවුරුම දුන්නේය. එකල මොහාන් පීරිස් මහතා රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ හිතෛෂි මිත්‍රයකු ලෙස ප්‍රකටව තිබිණි. බණ්ඩාරනායක මහත්මියගේ මනස වෙනස් විය. ප්‍රචණ්ඩත්වය යෙදවිය හැකි අවස්ථාවක ඇයගේ සහ ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත අනතුරට ලක්විය හැකි බැවන් ඇයගේ නිල කාර්යාලයෙන් සහ නිල නිවාසයෙන් බැහැර වීමට ඇය තීරණය කළාය. “මා පීඩාවට පත්කොට ඇත්තේ ස්වාධීන අධිකරණයක් වෙනුවෙන් සහ අනිසි බලපෑම්වලට එරෙහිව මා පෙනී සිටි නිසාය… ජනතාව උත්තරීතර වන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම නීතියේ පාලනය පිළිගන්නා ජනරජයක නීතියේ ආධිපත්‍යය පැවතුනේ නම්, මම මෙවැනි අසාධාරණ ලෙස දඬුවම් නොබලනු ඇත.” ඇය කියා සිටියාය.
අප පොළොවේ උපන් මෙම නිර්භය, දිරිය ගැහැනියගේ එම සත්‍ය කතාව තවත් බොහෝ දිගුය. එය සැබෑ ලෙසම දිරිය කතාවක් වුවද එය විටෙක ශෝකාන්තයකි. මම ඔබට ලියා තැබුවේ වාර්තාමය කොටසක් පමණි. එහෙත් අද එම කතාන්දරය ඇයගේම සුකුමල වදනින්, ඇයගේ පෑන් තුඩින්ම ලියැවී ඇත. ආචාර්ය ෂිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියගේ මෙම සත්‍ය කතාන්දරය අද “උත්තරීතර – දෝෂාභියෝගයේ ඇතුළාන්තය” නමින් මහා ග්‍රන්ථයක් ලෙසින් එළිදැක්වී ඇත. සමාජයට මහඟු ග්‍රන්ථ රැසක් එළිදක්වන ප්‍රකට “සරසවි” පොත් ප්‍රකාශන සමාගම මෙම ග්‍රන්ථය එළිදක්වන ලද්දේ පසුගියදා පැවැති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදීය. “උත්තරීතර – දෝෂාභියෝගයේ ඇතුළාන්තය” ග්‍රන්ථය ලියා ඇත්තේද ආචාර්ය ෂිරාණි බණ්ඩාරනායක මහත්මියයි. ඇය බොහෝ හැඟුම්බරව තමන්ට විඳින්නට වූ අත්දැකීම් මෙම ග්‍රන්ථයෙහි ලියන්නීය. දඩබ්බර රාජ්‍ය පාලනයකට මැදිවී උත්තරීතර අධිකරණයේ ප්‍රධාන පුටුවේ හිඳගත් ඇයට අත්දකින්නට වූ අප්‍රසන්න සිදුවීම් වැලක් මෙම අපූර්ව ග්‍රන්ථයෙන් සමාජයට එළිපෙහෙළි කරයි.
“කිසිම උසාවියක තිබුණු කිසිම නඩුවක් ගැන මම පෞද්ගලිකව කතා කරන්නවත් ඒවාට බලපෑම් කරන්නවත් කිසිම වෙලාවක කටයුතු කරලා නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. ඒ වගේම මම කිසිම කෙනෙක් හරහා විනිශ්චයකාරවරුන්ට පණිවුඩ අරින්න කටයුතු කරලත් නැහැ” ඇය යටකී ග්‍රන්ථයේ එක් තැනක බොහෝ අවධාරණයෙන් කියා ඇත.
හිටපු අගවිනිසුරුවරිය එසේ කියා සිටියත් ඇයට එරෙහිව තිබුණු චෝදනාවල අඩුවක් තිබුණේ නැහැ. ඇයට එරෙහිව චෝදනා 14ක් ගොනුකරලා තිබුණා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරලා ඇය ඉදිරියේම ඒවා විභාගයට ගත්තා. ඇයට එරෙහිව ඇති චෝදනා කිහිපයක්ම ඔප්පු වී ඇති බැව් විශේෂ කාරක සභාව ප්‍රකාශ කර සිටියා. මේ සභාවට ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂයද නියෝජනය කරන සාමාජිකයන් ඉන්නවා. ඇයට එරෙහි චෝදනාවන්හි බරපතළ ස්වභාවය සැලකිල්ලට ගත් කමිටුව, අගවිනිසුරු ෂිරාණි බණ්ඩාරනායක ඇගේ තනතුරෙන් ඉවත් කිරීමට ප්‍රමාණවත් තරමේ චෝදනා බවට නිගමනය කළේය.
ඇයගේ මේ සැබෑ ජීවිත ජවනිකා පෙළ දිගහැරෙන ග්‍රන්ථයේ 205 වැනි පිටුව පෙරළෙමින් තිබුණේ මගේ දෙඅත මතය. එහි වූ වදන් පෙළ අපහාස, පරිභව සහ ජුගුප්සා පරවශව එළිදැක්වී තිබිණි.
“පිස්සු ගෑනි”
“අපි මෙ නෝනව මෙතන තියාගෙන මඩවනවා.”
“බබා… නෑ බබාහුකුන්”
“උසාවියේ නාඩගම් නටනවා”
“මෙයාට ඇඩම්ලා ගොඩක් ඉන්නවා”
“බබා වගේ හිටියට බබා වගේ වැඩ නැහැ”
මේ කර්කශ වදන් ඇසෙන්නේ පාර්ලිමේන්තුවේ කාරකසභාවේ සාමාජිකයන්ගෙනි. එනම් ෂිරාණි බණ්ඩාරනායක පෙනී සිටි පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවෙනි. අගවිනිසුරුවරියකට එකල සිටි දේශපාලකයෙක් තම මුවින් මුදාහල සමහර වදන් ඇය එසේ පෙළගස්වා ඇත. මේ ගැන එකල කතානායකවරයාට ලිඛිතව පැමිණිලි කර තිබුණේ බණ්ඩාරනායක මහත්මියගේ නීතිඥයන්ය. එහෙත් ඒවා ගඟට කැපූ ඉණි පමණයි.
ඇයගේ ග්‍රන්ථයේ පිටු එකිනෙක පෙරළීගොස් 244 වැනි පිටුවේ නැවතී තිබිණි. “කූට ප්‍රාප්තිය” ලෙසින් ඇය එම පරිච්ඡේදයට නම් තබා ඇත.
“එදා ඉරිදා උදයේ 10.40ට විතර ඒ ලියුම ලැබෙන කොට අපි හතර දෙනා තවමත් කෑම මේසයේ වාඩිවෙලා කතා කරමින් හිටියේ. නිල නිවාසයේ භාරකරු ප්‍රේමසිරි ඇවිත් කිව්වා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් දෙන්නෙක් මට ලියුමක් භාරදෙන්න ඇවිත් ඉන්නවා කියලා. ඒ දෙන්නා පොලිසියෙන් වුණාට චාරිත්‍රානුකූල ඇඳුමෙන් ඇවිත් ඉන්න බව ප්‍රේමසිරි විශේෂයෙන්ම සඳහන් කළා. එවලා ඇත්තේ මාව නෙරපා හැරිය ලියුම වෙන්න ඕනෑ කියලා මට හිතුණා. මම ප්‍රේමසිරිට ලියුම අරගෙන එන්න කිව්වා. ඒ ලියුම අරගෙන ප්‍රේමසිරි ඒක මගේ අතට දීපු විදිය අදටත් මට මැවී පේනවා. ඔහුට තිබුණේ අහිංසක, ශෝකජනක මුහුණක්. 2013 ජනවාරි මාසයේ 12 දාතම තිබුණු ඒ ලියුම ඉතා කෙටියි. එක පිටුවයි. ඒත් ඒක කිහිප දෙනකුට පිටපත් කරලා තිබුණා. මම එක ඉක්මනින් ප්‍රදීපත් එක්ක කියවලා මගේ නීතිඥයන් දෙන්නාට බලන්න දුන්නා. ඒ ලිපියේ මෙහෙම තිබුණා.”
ශ්‍රී ලංකාවේ ජනාධිපති
ආචාර්ය ෂිරාණි ඒ. බණ්ඩාරනායක
අග්‍රවිනිශ්චයකාර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව යටතේ නියෝගය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව යටතේ අගවිනිසුරු තනතුරෙන් ඔබව ඉවත් කිරීමට, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා උක්ත ව්‍යවස්ථාව යටතේ 2013 ජනවාරි මස 11 වැනි දින පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කොට ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ඔබ අගවිනිසුරු තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරය (නොපැමිණි අයද ඇතුළුව) සහයෝගය දැක්වූ යෝජනාවක් මා වෙත ඉදිරිපත් කර ඇත. ඔබගේ ඉවත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතය සමඟ මම එකඟ වෙමි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව ප්‍රකාරව උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළාහාමිල්ලගේ ෂිරාණි අංශුමාලා බණ්ඩාරනායක වන ඔබ, අගවිනිසුරු තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙසට මම මෙයින් නියෝග කරමි.
මහින්ද රාජපක්‍ෂ.
“ලියුම ලැබීමත් එක්කම අපේ කතාබහ සියල්ලම එකපාරටම නැවතුණා. ඒක හරියටම මුළු ලෝකයම තත්පර ගණනාවකට නිහඬ වුණා වගේ. හතර දෙනාම සිතුවිලි එක්ක හිරවෙලා. තවදුරටත් දෝෂාභියෝගය ගැන කතාකරන එකේ තේරුමක් නැති බව අපි ඔක්කෝටම තේරුණා.”
එහෙත් තවමත් ෂිරාණි බණ්ඩාරනායකයන් අභීත, නොසැලෙන ගැහැනියක යැයි මට සිතෙන්නට විය. ඇය තම ග්‍රන්ථය බොහෝ මටසිලුටු බසකින් ලියා ඇත. ඇය විටෙක පරිසරය වනන ආකාරයද පියකරුය. ඇගේ පුතු ඇය ගැන ලියා ඇති වදන් පෙළක් ග්‍රන්ථයේ අවසාන පිටු අතරේ රැඳී ඇත.
“මගේ අම්මා කිසිම දෙයකින් පසු නොබසිනු ඇති අතර, ඇයට තිබෙන ධෛර්යයෙන් අවුන්සයක් මට තිබේ නම් මම වාසනාවන්තයකු වනු ඇත. ඇය සෑම විටෙකම නිවැරැදි දේ පිළිබඳ සටන් කර තිබෙන අතර, ඇයගේ අවසාන සුසුම් පොද දක්වාම එසේ කරුණු ඇතිය”- ෂවීන් බණ්ඩාරනායක.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

ජනතාවගේ නිර්පාක්ෂික ජනතා අපේක්ෂකයා මහේෂ් -කමල් අද්දරආරච්චිත් මහේෂ්ට එක්වෙයි

Next Post

කිරිඳිඔය අයිනේ RIVER FACE IN

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.