• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සජිත්-‌ගෝඨා උණුසුම මැද අපි ඇල්පිටි ගියා

October 5, 2019
in News, Politics
Reading Time: 5 mins read
A A
සජිත්-‌ගෝඨා උණුසුම මැද අපි ඇල්පිටි ගියා
Share on WhatsAppShare on Facebook

“ගාල්ල, මාතර, හම්බන්තොට….”
“ඒ කියන්නෙ දකුණ…”
දැං දකුණ කිව්වම එක එක තාලෙ කතන්දර මතක් වෙනවා. ඒත් මේ වතාවෙ අපි දකුණ ගැන කතා කරන්නෙ තනිකරම දේශපාලනිකව. ඒකට හේතුව මේ වතාවෙ ජනාධිපතිවරණයට එනවය කියන ප්‍රධාන අපේක්ෂකයො දෙන්නම දකුණෙ. දකුණෙ විතරක් නෙවෙයි එකම ආසනේ. දෙන්නම එන්න හම්බන්තොටින්. මේ ජනාධිපතිවරණයකදි එහෙම එකක් වෙන පළමුවැනි වතාව. මේ තීන්දු මොනවා හරි දෙයක් නිසා වෙනස් නොවුණොත් මේක විශේෂයි. හැබැයි ඒකෙ හොඳ නරක ඔබ තීරණය කරන්න. හැබැයි ඔය කතාවට අයිති නැති වෙනමම කතාවකට අපි ගියා දකුණට. ඒ මේ දවස්වල නිතරම කියවෙන ඇල්පිටියට. එහෙම කිව්වම අපි දන්නවා ඔබ අහන්නෙ නැති වෙයි ඒ ඇයි කියලා. හැබැයි අපි කියන්නම් ඒ ඇයි කියලා. හැබැයි ඊට කලින් කතා කරමු ඇල්පිටිය ගැන.
සාමාන්‍යයෙන් දැන් අපි දන්නවා ඇල්පිටිය තියෙන්නෙ දකුණෙ. දකුණෙ කියන්නෙ ගාල්ලෙ. ගාල්ලෙ එක පැත්තකට වෙන්න. ඇල්පිටියට අධිවේගීමාර්ගය දිගේ එනවා නම් එන්නෙ කුරුඳුගහහැතැක්මෙන් එළියට ඇවිල්ලා. කුරුඳුගහහැතැක්ම හුවමාරුවට කි.මී. 3.8 දුරින් ඇල්පිටිය නගරය මුණගැහෙනවා. කොළඹ – ගාල්ල ප්‍රධාන පාර ඔස්සේ ඇවිල්ලත් ඇල්පිටියට ළඟා වෙන්න පුළුවන්. අම්බලන්ගොඩ ඉඳලා ඇල්පිටියට දුර කිලෝමීටර දාසයක් විතර. ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයෙන් තවත් පිවිසුම් මාර්ග 3ක් තියෙනවා. ඒ බෙන්තොට, කොස්ගොඩ සහ අහුන්ගල්ල කියන නගරවලින්. කොහෙන් කොහොම ආවත් කවුරු කවුරුත් අන්තිමට නතර වෙන්නෙ ඇල්පිටියෙ.
ඇල්පිටිය කියන්නෙ ලස්සන පැත්තක්. තේ රබර්, කුරුදු, වී වගාවල් හැමතැනම. තේ කර්මාන්ත ශාලා වගේම රබර් කර්මාන්ත ශාලාවකුටත් අපට මුණ ගැහුණා.
කොහොම නමුත් මේ ඇල්පිටියෙ ඡන්දෙ හදිසියෙ එන්නෙ ඇයි?
පසුගිය වසරේ පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වුණු නමුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අධිකරණ නියෝගයක් මත නතර වුණා. ඒ ප්‍රාදේශීය සභාවට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීම නිසා.
මෙම පෙත්සම් විභාගය අවසන් කරමින් ශේෂ්ඨාධිකරණය අගෝස්තු 30 වැනිදා තීන්දුවක් දීලා තිබුණා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය පිළිගත යුතු බවට. ඒ අනුව වහාම ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාළ මැතිවරණය පවත්වන ලෙස ද ශේෂ්ඨාධිකරණය නියෝග කළා. මේ අතරෙ මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රකාශයට පත් කළා

“ඇල්පිටිය ඡන්දය එළඹෙන ඔක්තෝබර් 11” කියලා.
අපි ඇල්පිටියට ආවෙ මොකද වෙන්නෙ බලන්න. සාමාන්‍යයෙන් මැතිවරණයකට වඩා අතුරු මැතිවරණයක උණුසුම වැඩියි. ඒකට හේතු වෙන්නෙ හැමෝම එකතු වෙලා බලය එක තැනකට යොදවන එක. ඒ තත්ත්වය ඇල්පිටයෙත් එහෙමයි. තැන් තැන්වල ගහලා තියෙන පෝස්ටර්වලින් කටවුට්වලින් ඒක පේනවා.
“බැසිල් ඔබ අමතයි”
“සජිත් ඔබ අමතයි”
කියලා ගහලා තියෙන අතරෙ වඩාත් වැඩි ප්‍රචාරයක් දීල තිබුණෙ ජවිපෙ රැලියට. ඒ වෙනුවෙන් විශාල පෝස්ටර් වගේම පාට පාට කටවුට් ගහලා තියෙනවා.
“අනුර, ටිල්වින්, නලින් හේවග් ඔබ අමතයි” කියලා.
පොහොට්ටුවෙ කුරක්කන් පාට කාර්යාල කීපයක්ම තිබුණා. ඒවයෙත් පරණ පුරුදු විදියටම ලොකුවට හිටියෙ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහත්තයා ඊට පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගීතා කුමාරසිංහගෙ ඡායාරූප තියෙනවා. ඇල්පිටියෙදි ගෝඨාභය රාජපක්ෂට වඩා බැසිල් ඉස්මතු වෙලා පේන ගතියක් අපි දැක්කා. ඒක දේශපාලන උප්පරවැට්ටියක්ද නැත්නම් දේශපාලන ජරමරයක්ද කියන්න අපි දන්නෙ නෑ. එහෙම එකක් තිබුණා.
ඉතින් අපි ඔය පාරක් පාරක් ගානෙ කරක් ගහන අස්සෙ මහින්ද මහත්තය කෙළින් කරගන්න දඟලන මහත්තරු පිරිසක් ළඟ නතර වුණා. එහෙට මෙහෙට කතාබස් කරලා බලනකොට අපි දැක්කා විශාල දැන්වීම්වල තියෙන රූප සහ වැකි. ඒකෙන් තේරුණා මේ තමයි පොහොට්ටුවේ සටනට එන වඩාත් පළපුරුදු කෙනා කියලා. හැබැයි ඒ නිසාම අපි කයියක් ගැහුවා පොඩියට.
“කෝ මහත්තයා ඉන්නවද?”
අපි කතාව පටන්ගත්තා.
“මහත්තයා පොඞ්ඩක් එළියට ගිහින්”
කියලා කතාවෙ ඊළඟ කොටහ සම්පූර්ණ කළා. ඉන් පස්සෙ කතාව දිගට ගියා.
“කොහොමද ඡන්දෙ?”
“එහෙම කලබලයක් නම් නෑ ඉතින්”
“මොකක් වෙයිද?”
“මොනවා වෙන්ඩද? අපි දනන්නෙ උඩින්”
ඔවුන් විශාල තක්සේරුවක ඉන්නෙ.
“යූ.ඇන්.පී.කාරයොත් සද්ද නෑ. බුලත් කොළෙත් එහෙමයි. සද්දයක් දානවා නම් ඉතින් අපි තමයි” කියල කියනවා.
“බලන්ඩකො පාරක් පාරක් ගානෙ තියෙන්නෙ අපේ කාර්යාල විතරයි”
ඒ කතාව ඇත්ත. ඔවුන්ගෙ කාර්යාල විතරයි දකින්න තිබුණෙ.
“අපේ මහත්තයා තමයි සභාපති වෙන්නෙ. එයා ගීතා මැඩම්ගෙ සෙකටි්‍ර” කියලත් ඔවුන් කිව්වා.
කොහොම නමුත් සංවිධායකතුමියගෙ ලේකම්ගෙ ඉඳලම සටනට ඇවිල්ලයි ඉන්නෙ. ඒ නිසා අපි ඇහින් දැක්ක දේ තමයි පොහොට්ටුව බොහොම ශක්තිමත්ව ඇල්පිටිය ඡන්දෙට මුහුණ දෙනවා. ඔවුන්ට පුදුම විශ්වාසයක් තියෙනවා තමන්ගෙ ජයග්‍රහණය ගැන. ඇල්පිටිය ප්‍රධාන නගරයෙන් අලුත්ගම පැත්තට යන පළමුවැනි කිලෝමීටරයෙ වගේම කුරුඳුගහහැතැක්ම පැත්තට යන කිලෝමීටර දෙක තුන ඇතුළෙත් මේ අය පක්ෂ කාර්යාල පිහිටුවලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට පොහොට්ටුවෙන් කැන්වසින් කටයුතුත් සෑහෙන දුරකට කරලයි තියෙන්නෙ.
“අපි ඡන්දෙ ප්‍රකාශ කරපු දාමනෙ වැඩ පටන්ගත්තෙ”
කියලා ඔවුන් බය නැතිව කියනවා. ඒ වගේම තවත් එකක් කියන්න ඕනෙ. පොහොට්ටුවෙ කටවුට්, කාර්යාල, කොඩි තිබුණට එකම එක පෝස්ටරයක්වත් අපි නම් දැක්කෙ නෑ.
ඊළඟට එක්සත් ජාතික පක්ෂයට මොකක්ද වෙලා තියෙන්නෙ. ඒක අපි හෙව්වා. හෙව්වා වගේම ඇහුවා. ඇහුවා වගේම ඇහුණා. ඒ අතර දැනුණා. මොකද අපි එක්තරා දේශපාලකයෙක් හොයාගෙන ගියාම ඒ බිරිය උත්තර දුන්නෙ බොහෝම සැකෙන් සහ බියෙන්.

“කවුද ඔයාලා?”
“ඇයි එයා හොයන්නෙ”
“එයා මේ වෙලාවෙ නෑ”
“ගිය තැනක් දන්නෙ නෑ”
කියලා දීපු උත්තර සහ සැකමුසු බැල්ම අපිට තේරුණා. ඈ අපේ රාජකාරි හැඳුනුම්පතත් බැලුවා. එහෙම බලලා කතාව තේරුම් බේරුම් කරගත්තට පස්සෙයි අපිත් එක්ක හරි තොරතුරු කතා කළේ. ඒ විදියටම අතරමග මුණගැසුණු එජාප හිතකාමී ලක්ෂණ සහිත දෙතුන් දෙනෙක්ම අපිව තේරුම් ගත්තෙ,
“පොහොට්ටුවෙ ඔත්තුකාරයො වෙන්ඩෑ” වගේ විදියකින්. පවතින ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ එකක් වෙලත්, කවුරුවත් එජාපෙන් ඇවිත් ගේමක් දෙයි කියලා හිතුවෙ නෑ.
කොහොම හරි අපි ඇල්පිටියෙ දැක්කෙ එකම එක එජාප දේශපාලන කාර්යාලයයි. ඒකට අපි ගිය දවසෙම පොලිසියෙන් ඇවිල්ලා කටවුට් දෙකක් ගලවලා තිබුණා.
“පාරට වැඩියි”
කියලා කිව්ව බවකුත් ඒ අයට අපිට කිව්වා. හැබැයි මේ අපේක්ෂකයො එක්ක කතා කළාම සමහර හිටියෙ කනස්සල්ලෙන්. ඒකට හේතුව විදියට අපි අඳුනගත්ත හේතු ගොඩක් තිබුණා.
“වැටිලා ඉන්නෙ, ඡන්දෙ එන්නත් කලින් පැරැදිලා ඉවරයි” කෙනෙක් කිව්වා.
“අපිට නඩුව නිසා ලොකු පාඩුවක් වුණා. අපි බලාගෙන හිටියෙ නඩුවෙන් දිනන්න. ඒ නිසා වැඩ කළේ නෑ. අනෙක් අය වැඩ කළෘ. කැන්වසින් ගියා. අපේ කට්ටිය බැස්සේ පස්සෙ. දැන් ඡන්දෙ කටඋඩට ඇවිල්ලා” ඔවුන් කියනවා. ඇත්තටම ඒකත් එක හේතුවක් වෙන්න ඇති.
“දිනන්න අමාරුයි. ඒත් මේ පාර ආසන පහක්වත් දිනනවා” කියලා ඔවුන් කියනවා.
ඒ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයටත්, වැඬේ අමාරුයි. මොකද ඒ අයගෙ අපේක්ෂකයන්ගෙ ශක්තිය මතයි සියල්ල තීරණය වෙන්නෙ. පෝස්ටර් කීපයක් නම් අපි දැක්කා. කාර්යාල එහෙම නම් නෑ.
“අපි බුලත් කොළේට” කියලා කියන අය අපිට නම් හම්බවුණේ නෑ.
කොහොම වුණත් අපි ඇල්පිටියෙ මෙච්චර කාලයක් ඡන්ද ප්‍රතිඵලය තීරණය වෙච්ච විදිය හොයා බැලුවා. ඒක සාමාන්‍ය දකුණෙ ප්‍රතිඵලවලට වඩා විශාල වෙනසක් නෑ. මොකද මහින්ද රාජපක්ෂගේ ආගමනයත් එක්ක දකුණෙ ප්‍රතිඵලය එක්සත් ජාතික පක්ෂයෙන් ඈතට යන තැනට ආවා. සාමාන්‍යයෙන් මෙතෙක් කල් තිබුණ මැතිවරණවලට සාපේක්ෂව ප්‍රතිඵලය උඩු යටිකුරු කරපු තැනක් වෙන්නෙ දෙදහස් පහළොවෙ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය. ඒ නිසා ඒ වෙලාවෙ ලංකාවම වෙනස් වෙනකොටත් ඇල්පිටියෙ මිනිස්සු ලොකුවට වෙනස් වුණේ නෑ. දෙදහස් පහළොවේ මහින්ද රාජපක්ෂ මහත්තය බෙන්තර ඇල්පිටිය ඡන්ද බලප්‍රදේශයෙන් මනාප හතළිස්දෙදාස් පහළොවක් ලබාගන්නවා. ඒ මුළු ඡන්ද ප්‍රතිශතයෙන් සියයට පනස් නවයයි දශම බින්දුවයි අටක්. එදා මෛත්‍රිපාල සිරිසේන මහත්තයා එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වෙලා ලබාගන්නෙ විසිඅටදහස් දෙසිය අසූ තුනක්. ඒ සියයට තිස් නවයයි දශම හතයි අටක ප්‍රතිශතයක්. ඒ විදියටම දෙදාස් පහළොව මහ මැතිවරණයේදීත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ බලවේගයකට සියයට හතළිහෙන් එහාට යන්න ලැබෙන්නෙ දශම අටයි තුනක් විතරයි. දෙදාස් පහළොව මහ මැතිවරණයේදීත් එක්සත් ජාතික පක්ෂය ගන්නෙ ඡන්ද විසිහයදහස් පන්සිය පනස්නවයක් විතරයි. ඒ වතාවෙ මහින්ද ප්‍රමුඛ බලවේගය මනාප තිස්හතරදහස් දෙසිය හැත්තෑපහක් අරගෙන සියයට පනස් දෙකයි දශම හතක ප්‍රතිශතයක් ලබාගන්නවා.
මේ ප්‍රතිඵලය ගැන එතැනින් එහාට හොයනකොට මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා අතර සටනට යන්න වෙනවා. ඒ ජනාධිපතිවරණයේදී ඇල්පිටිය ආසනයෙන් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට ලැබෙන්නෙ දැවැන්ත පරාජයක්. සරත් ෆොන්සේකා මහත්තයට බෙන්තර ඇල්පිටියෙන් මනාප විසිදහස් දෙසිය දහනවයයි. ඒක ප්‍රතිශතයක් විදියට ගත්තම තිහයි දශම පහයි. දෙදාස් පහළොවට වඩා දශම නවයකට අඩුවක් එදා තිබිලා තියෙනවා. හැබැයි මහින්ද රාජපක්ෂ මනාප හතළිස් හතරදහස් තිස්හයක් අරගන්න සමත් වෙන්නෙ වලංගු ඡන්ද ප්‍රතිශතයෙන් සියයට හැටහතයි දශම හතරක් අරගනිමින්.

ඊට කලින් තිබුණ මහින්ද රනිල් සටනෙදි මහින්දට ලැබෙන්නෙ මනාප තිස්අටදහස් හත්සිය හැත්තෑ නවයයි. හැබැයි ඒ ප්‍රතිශතයක් විදියට සියයට පනස් නමයයි දශම එකයි හයක් ලබාගැනීමක්. එදා රනිල් වික්‍රමසිංහ මනාප විසිපන්දහස් හත්සිය හැට හතක් ගන්නෙ ප්‍රතිශතයක් විදියට තිස්නවයයි දශම තුනයි එකක් අරගෙන. මේ විදියට බලනකොට එක්සත් ජාතික පක්ෂයට දෙදහස් දහය මහ මැතිවරණයේදී ලැබෙන්නෙ බරපතළම පරාජයක්.ඒ එක්සත් ජාතික පක්ෂය මනාප දොළොස්දහස් පන්සිය අනූදෙකකට සීමා කරමින්. එදා එජාපයට ගන්න ලැබෙන්නෙ මුළු වලංගු ඡන්දවලින් සියයට විසිපහයි දශම නමයයි තුනයි. මහින්ද ප්‍රමුඛ දේශපාලන බලවේගය මනාප තිස්දෙදාස් නවසිය විසිහයක් ලබාගන්නෙ මනාප විසිදහසකට වැඩි පරතරයකින් බෙන්තර ඇල්පිටිය ජය ගනිමින්. නමුත් විශේෂත්වය වෙන්නෙ එක්දහස් නවසිය අසූනවය මහ මැතිවරණ ප්‍රතිඵලය ඊට හාත්පසින්ම වෙනස්ව තිබීම. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට මනාප ඡන්ද පහළොස්දහස් අටසිය හතළිස් නවයක සීමාවේ නතර වෙන්න වෙද්දි එක්සත් ජාතික පක්ෂය මනාප දහඅටදහස් හාරසිය අසූ දෙකක් ගන්නවා. හැබැයි එක්දහස් නවසිය අසූනවයෙදිවත් එජාපයට සියයට පනහක ප්‍රතිශතයක් ලැබෙන්නෙ නෑ. එදත් ඔවුන්ට ලැබෙන්නෙ සියයට හතළිස් අටයි දශම එකයි දෙකයි. ඒ වගේම නිදහස් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම සියයට හතළිහට අඩු වෙන්නෙම නෑ. ඇල්පිටිය බැලුවම පේන්න තියෙන ඇත්ත මේක.
ඊළඟට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දෙදි මොකද වෙලා තියෙන්නෙ කියලත් අපි හොයල බැලුවා. මොකද ඔය කොයි කොයි ඡන්දෙටත් වඩා ගමේ ඡන්දෙනෙ ඕක. ඒ නිසා ප්‍රතිඵලයට වඩාත් බලපාන්නෙ ගමේ දකින මුහුණ. දෙදාස් දෙකේ තිබුණ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතා සන්ධානය කියන කණ්ඩායම සියයට තිස්නවයයි දශම අටයි හයකට සීමා කරමින් එජාපය ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරනවා. ඔවුන්ට ලැබෙන්නෙ ඡන්ද දොළොස්දාස් අටසිය එකොළහයි. එදා එක්සත් ජාතික පක්ෂය ඡන්ද පහළොස්දහස් පන්සිය දහතුනක් ගන්නවා. හැබැයි ඒ වතාවෙත් සියයට පනහක් ඉක්මවන්න ඔවුන්ට බැරි වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සියයට හතයි දශම හතරයි එකකුත්, ස්වාධීන කණ්ඩායමක් සියයට හතරකුයි අරගෙන මන්ත්‍රී අසුන බැගින් බෙදාගන්නවා. ජනතා සන්ධානයට ආසන පහකුත්, එජාපයට ප්‍රසාද ආසන දෙකක් එක්ක ආසන අටකුත් ලැබෙනවා. දෙදහස් හයේදිත් ප්‍රධාන පක්ෂයක නම මේ ලැයිස්තුවෙ නෑ. ඒ වෙනුවට සටනට එන්නෙ ජාතික සංවර්ධන පෙරමුණ. ඔවුන් ඡන්ද දොළොස්දහස් නවසිය පනස් හතරකුත්, එජාපය ඡන්ද දහසයදහස් තුන්සිය අටකුත් ලබාගනිද්දි ජනතා විමුක්ති පෙරමුණ තමන්ගෙ ආසනේ පරිස්සම් කරගෙන ජාමෙ බේරගන්නවා.
ඇල්පිටියෙදි අවසාන වශයෙන් ප්‍රාදේශීය සභා ඡන්දයක් එන්නෙ දෙදහස් එකොළහේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද දහනවදහස් නවසිය පනස් හතරක් ගන්නෙ මුළු ප්‍රතිශතයෙන් සියයට පනස් අටයි දශම හතරක් ගනිමින්. එජාපයට ඒ වතාවෙත් ගන්න ලැබෙන්නෙ ඡන්ද දහදහස් හාරසිය විසි හතක් විතරයි. ඒ වගේම ස්වාධීන කණ්ඩායමක් ජවිපෙ පරදවන අතර ඔවුන් එක ආසනයක් දිනාගන්නෙ ජවිපෙට තිබුණු ආසනයත් අහිමි කරමින්. අවසන් වශයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන සංයුතිය වෙලා තිබුණෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයට දහයක්, එජාපයට හතරක් සහ ස්වාධීන කණ්ඩායමක එකක් විදියට. ඒ නිසා මේ මැතිවරණයේදී මහින්ද ප්‍රමුඛ පොහොට්ටු පිල සහ නිදහස් පක්ෂ කණ්ඩායමට ජය ලබාගැනීම අසීරු නැහැ. ඒ වගේම මේ තියෙන පරිසරය යටතේ එජාපයෙන් සටනට සජිත් නෙවෙයි සක්කර දෙයියො ආවා වුණත් ජයග්‍රහණයක් සිහිනයක් විතරයි.
සාමාන්‍යයෙන් මේ ප්‍රතිඵලය ළඟ එන ජනාධිපතිවරණයට බලපානවාය කියන එක සම්බන්ධව හැම තැනකම කියැවෙනවා. ඇත්තටම ඒක අපිත් දන්නවා. හැබැයි ඇල්පිටිය තියෙන දේශපාලන වටපිටාව අස්සේ එජාපය සියයට තිස් පහකට එහා ලබාගැනීම ජයග්‍රහණයක්. යම් විදියකින් පොහොට්ු කණ්ඩායම සියයට පනස් පහක් ලබාගැනීම ප්‍රමාණවත්. හැබැයි ඊළඟ ප්‍රශ්නය වෙන්නෙ මෙතෙක් හැමදාම ඇල්පිටියෙ බලය පැතිරුණේ ප්‍රධාන පක්ෂ දෙකක් අතර. මේ වතාවෙ පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් සටනට එනවා. ඒ වගේම ඇල්පිටියෙ නිතරම හිමිවෙන ස්වාධීන බලය ගැනත් අවධානයෙන් ඉන්න ඕනෙ.
හැබැයි එකක්, මේ ක්‍රමය යටතේ මිනිසුන්ගෙ හෘදයසාක්ෂිය මනින කෝදුව ගැන පූර්ව නිගමනවලට එන්න බෑ. පුංචි ඡන්දයකදි වගේ නෙවෙයි ජනාධිපතිවරණයකදි මිනිසුන්ගෙ හැසිරීම. ඒ වගේම අල්ලපු වත්තෙ, හන්දියෙ කඬේ, පාරෙ තොටේ මුණගැහෙන ගමේ මිනිහගෙ මූණ බලාගෙන ඡන්ද පොළට නොයා ඉන්න බැරි වුණාට මිනිස්සු ඉන්නෙ දේශපාලනය ගැන ලකිරීමෙන්. ඒක අපි ඇල්පිටියෙදිත් දැක්කා.
“ඔවුන් ඔක්කොම එකයි” කියලා කියන අතරෙ,
“මිනිස්සු ඔය හරක් පස්සෙ නොයා හිටිය නම් ඉවරයිනෙ”
කියන අයත් කඩපිලේදි මඟතොටේදි මුණගැසුණා. ඒ නිසා මහත්වරුනි මතක තියාගන්න ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙන් රට මනින්න එපා. රට ඊට වඩා හුඟක් ලොකුයි. ඇල්පිටිය ගමේ ගොඬේ, අහල පහළ මිනිහා දානෙට, මඟුලට, ඉලව්වට ඕනෙ වුණාට ඔය මහ එවුන්ගෙ හොර බොරු වංචා මිනිස්සුන්ට අමතක නෑ.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

ගම්ලත්ගේ ‌චෝදනාව චම්පිකගේ සහ රාජිතගේ උත්තරය

Next Post

දින 52 කුමන්ත්‍රණයට අවුරුද්දයි: අමතක නම් මතක් කරගන්න (3 ‌කොටස)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.