ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට අනුමැතිය ලැබී නොතිබියදීත් සුරා බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකුගේ අනුදැනුම යටතේ සුපිරි වෙළෙදසැල් කිහිපයක් තහනම නොතකා දින දෙකක් මත්පැන් අලෙවි කොට ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.
සුරා බදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් අලෙවිය සදහා අනුමැතිය ලබා දෙන ලෙසට මුදල් අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමට වාචිකව අනුමැතිය ලබා දීමෙන් පසුව මෙසේ සුරා බදු ප්‍රධානියකු විසින් මෙම අනුමැතිය ලබා දී ඇති බව නිල නොවන ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත.
ඒ අනුව සමාජ මාධ්‍ය ජාලාවල එක්තරා සුපිරි වෙළෙදසැලකින් මත්පැන් මිලදී ගත් රිසිට්පතක් සංසරණය වෙමින් පවතින ආකාරයක් දැකගත හැක.
මෙම රිසිට් පතේ සත්‍ය අසත්‍යතාවය පිළිබද තහවුරු කිරීමක් නැතත් පසුගිය 15 වැනිදා මෙම මත්පැන් මිලදී ගෙන ඇති බව එම රිසිට් පත පරීක්ෂා කිරීමේදී පෙනී යයි. මේ පිළිබඳව මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබුණේ ඊයේ (16) දිනයේ ය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කළ යුතු බව බොහෝ දෙනාගේ අදහසය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පවා සුරා බදු කොමසාරිස්වරයා සදහන් කර සිටියේ ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවියට අනුමැතිය ලබා දී නැති බවකි.
ඒ අනුව මෙසේ ඔන්ලයින් අරක්කු විකිණීමට සුපිරි වෙළදසැල්වලට අනුමැතිය ලබා දුන් සුරා බදු ප්‍රධානියා කව්ද, මෙම රිසිට්පත සත්‍ය එකක්ද, ඊට අවසර දීම හරහා කවුරුන් හෝ සුපිරි වෙළෙදසැල්වලින් කප්පම් මුදලක් ලබා ගත්තාද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.











