ජාත්‍යන්තර සංවර්ධන සඳහා ඇමරිකානු කාර්යාංශයේ (යූ.එස්.එඩ්) මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සඳහා ඇමරිකානු හමුදාවේ හිටපු නිලධාරීන් කිහිපදෙනකු රහසිගතව මෙරටට ඇතුළුවීම සම්බන්ධව ඉහළ පෙළේ විමර්ශනයක් අරඹා ඇත.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ රාජා ගුණරත්න ආරක්ෂක අමාත්‍යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මේ සම්බන්ධව විමර්ශන අරඹා ඇත.
සංචාරක වීසා මත මෙම කණ්ඩායම් මෙරටට පැමිණ ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ දැනුවත් කර නොමැතිව බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ තහවුරු කර ඇත.
මේ අනුව මේ සම්බන්ධ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විමසීම සම්බන්ධව ඉකුත් සිකුරාදා (04 වැනිදා) විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ සාකච්ඡා අරඹා තිබිණි.
දැනට අරඹා ඇති බුද්ධි අංශ විමර්ශනවලින් සංචාරක වීසා මත මෙරටට පැමිණි ඇමරිකානු හමුදාවේ සේවය කර පැමිණි නිලධාරියකු හඳුනාගෙන ඇත.
දැනට කෙරෙන විමර්ශනවල අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්ද මොවුන් පැමිණි ආකාරය සෙවීමට ප්‍රකාශ ලබාගෙන ඇත.
ඊට අමතරව යු.එස්. එයිඩ් සංවිධානය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන වෙත මුදල් පැමිණි ආකාරය සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් අංශයේ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත.










