පොදුවේ දියුණු යැයි සම්මත මනුෂ්‍යයන්ටද ගෝත්‍රික ජනයාටද පාරම්පරිකව ආවේණික වූ විවිධාකාර ආගමික මතිමතාන්තර හා විශ්වාසයන් තිබේ. ඇබෝ රිජනීස්වරුන්, බාලි දූපත්වාසීන්, අප්‍රිකානු කූපාරි ගෝත්‍රිකයන් අතර යම් යම් විශ්වාස තුළට කාවැදුණු ශාන්තිකර්ම තිබේ.
අපේ ආදිවාසී වැදි ජනතාව අතර යකුන් පිදීම පැරැණිම ඇදහීමකි. ඉතිහාසය ඈතින් ඈතට දිවේ. යකඩ තාක්‍ෂණයට බද්ධ වූ යක්‍ෂයන් යනු හෙළයේ ජනාවාසීන්ය.
වැදි ජනයාගේ කිරිකොරහ නැටුම සුවිශේෂී මහා ශාන්තිකර්මයකි. කුවේණියගේ දරු දෙදෙනා වූ ජීවහස්ත දිසාලා මහ වනයේම දිවි ගෙවූ ආදිවාසීන්ගේ මුල්ම උරුමකරුවන් දෙදෙනාය.
වැදි ජනයා දෙහි කැපීමේ ශාන්තිකර්මයේ ගයනු ලබන මන්ත්‍රය මෙසේය
මේ ගෑනිගෙ / මේ හූරගෙ
ඉස්පොජ්ජේ චූනියම්
ඇහ පොජ්ජේ චූනියම්
අත් පොජ්ජේ චූනියම්
බඩ පොජ්ජේ චූනියම්
බය පොජ්ජේ චූනියම් චූනියම් චූනියම්
හනික හනික මේ ඇත්තන්ගේ
පැඟිරි ගෙඩි පොජ්ජන්ට මන්දෝ වියන්
මෙම මන්ත්‍ර සියලුම ලෙඩ රෝග, දූරිම් භූත වන මන්ත්‍ර විශේෂයක් ලෙස සැලකේ. වන ඖෂධ මෙන්ම යන්ත්‍ර – මන්ත්‍ර ශාන්තිකර්ම ඔවුන්ගේ කායික, මානසික පීඩාවන් දුරුකරන බලශක්තීන්ය.
ආදිවාසීන්ගේ ආභාෂය පරිදි හෙළයන් හෙවත් සිංහලයන් අතර ඈත අතීතයේ සිටම පාරම්පරික සම්ප්‍රදායිකව පැවැත එන විවිධ අන්දමේ ශාන්තිකර්ම අතර ගැබ් රැකුම, ගර්භණී පෝෂක, ශාන්තිකර්ම, දිය කොරහේ බලිය, බල්බලිය, පුෂ්පරාගී බලිය, තුන් ඈඳුණු බලිය, නිළන රාක්‍ෂ බලිය, යක් බලිය, දේවතා බලිය නවග්‍රහ බලිය, ඒ ඒ ලග්න හා ලග්නාධිපතියන්ට අනුගත වෙන සේ නම්කර ඇති බලි විශාල ගණනාවක් තිබේ. අපේ ඉපැරැණි සමාජයේ බලියාග පරපුරක්ම සිටිය බැව් පැහැදිලිය. න්‍යායාචාර්ය ජේ. ඊ. සේදරමන් සූරීන් පැවැසූ අන්දමට විවිධ අන්දමේ අත් බලි මෙන්ම වියත් කාරියන් බලිද විශාල සංඛ්‍යාවක් ඇති බැව් ශාන්තිකර්ම පුරාණයේ සඳහන් වී ඇත.
එදා අපේ ජනසමාජයේ විසූ මනුෂ්‍යයන්ට වැලඳුණු යම් කායික හා මානසික රෝග ව්‍යාධි අටඅනූවක් රෝග, නවඅනූවක් ව්‍යාධි, දෙසියතුනක් ආන්තරා වැල්පැන්නුම්, දුරි පැන්නුම් ආදී අනවින, හදි හූනියම් දුරීම්භූත කිරීමට බලි ශාන්තිකර්ම යාග හෝමයන් සිදු කරන ලදී. බලි ශාන්තිකර්මයන් ගැන සොයා බැලීමේදී අත් බලියේ සිට රියන් කුරාල බලි දක්වාම සුවිශේෂී ශක්තියක් ගැබ් වී තිබිණි. නවීන විiාවේ දියුණුවත් සමඟම අපේ ඉපැරැණි බලි ශාන්තිකර්ම අභාවයට පත්වී තිබේ. අවකාශයේ විෂබීජ නසා ලෙඩා රෝග පැතිරීම නවතා ශරීරයට ප්‍රතිශක්තිකරණයක් දීමට බලි ශාන්තිකර්මයට හැකි වේ.
දරුපල ප්‍රමාද වන අයට දාරක සම්පත් බලිය කිරිමැටිවලින් දරුවකුගේ පිළිරුවක් අඹා දිය පුරවන ලද කොරහක තබා ගොක් කොළවලින් සරසා පහන් දල්වා, සුවඳ දුම් අල්ලා, දුම්මල කීල ගසා බලි ශාන්තිකර්මය කරනු ලැබේ. ශුක්‍රාණු හා ආර්ථ මන්ත්‍රවල ශක්තිය ආරෝපණය වී දරු සම්පත් හිමිවේ.
දරුවකු ගැබ්ගත් කල දරු ගැබ ආරක්‍ෂාවටද ගැබ් ශාන්තිකර්ම කරන ලදී. මෙහිදී මනෝ තරංග, ශබ්ද තරංග බවට හරවා විශ්වයට මුදාහරිනු ඇත.
මව රෝගී වූ විටදීද නවග්‍රහ බලි ශාන්තිකර්ම කරන ලදී. කෙසෙල් පතුරුවල තෙල් ගා හබරල කොළ කැටයම් ඇලවීමෙන්ද පුවක් ගොබ ඉරා එල්ලීමද නවකොළ අත්තෙන් ආවැඩීමද දුම්මල කීල ගැසීම දුම්දීමෙන්ද කහදියර ඉසීමෙන්ද බෙරහඬින්ද ඇස්වහ කටවහ දෝෂ දුරුවී විෂබීජ විනාශ වන බැව් විiාත්මක කරුණකි. ශාරීරික රෝගවලින් 99%ක්ම මානසික පීඩාවන්ට ගොදුරු වීමේ විපාකයකි. මනස සුවපත් කිරීමට බලි ශාන්තිකර්මයන් ඉවහල් වේ.
දුර්වල මානසික තත්ත්වය නැවැත පණගැන්වී සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට ධනාත්මක පැත්ත හරවා ගැනීමට ශාන්ති කර්මයන්හිදී ගායන, වාදනය ඍජුවම බලපෑම් කෙරේ. නවීන විiාවට හසුනොවන දෑ අපේ දේශීය පාරම්පරික දැනුම හරහා ක්‍රියාත්මක වන බවට සාධක ඇත්තේය. ඒවා පැරැණි හණමිටි යැයි ඉවත දැමිය නොහැකිය.
ඉගෙනීම් කටයුතු අඩපණ වී සිටින දූදරුවන් හට ගණේෂ / සරස්වතී මහා බලි ශාන්තිකර්මයද පැරැණි ගැමියන් කරන ලදී. බලි ශාන්තිකර්ම සඳහා නවග්‍රහ රූප දේවතා රූප කලාත්මකව අඹන ලදී. ඉර – හඳ මුල්විය. ත්‍රිශූලය හා ඕම් අක්‍ෂරයටද මුල්තැනක් දී තිබිණි.
මව් කුසේ සිටම මෙලොව උපත ලබා ජීවිතය අවසන් වන තුරුම ඇති වන යම් යම් ග්‍රහ අපල උවදුරු හදිසි විපත්වලින් පීඩාවට පත්වන කාල පරාසය තුළ බලි ශාන්තිකර්ම කරන ඇදුරන් විසින් මනාව පේවී පවිත්‍ර කාරකව ශාන්ති කර්මයන් කර පැමිණෙන උවදුරු වළකා ගන්නා බැව් පෙනේ. ගතට වඩා මනසට ලෙඩ රෝග ව්‍යාධි හටගැනීමෙන් මනුෂ්‍යයා ඉමහත් පීඩාවන්ට පත්වේ. එදා පැවැති බල ශාන්තිකර්මයන් උපයෝගිකොට ගෙන මිනිසාට වැලඳෙන විවිධාකාර කායික හා මානසික පීඩා උවදුරු වළකා භෞතිකමය ශාන්තිය සලසා ගත් බැව් බලි ශාන්තිකර්ම වේදපුරාණයේ සඳහන් වී ඇත්තේය.
අඹන ලද මහා රාජකීය බලියක් වැරැදුණු තැනට පත්වූ පුරාවෘත්තයක් බලි ශාන්තිකර්ම පුරාණයේ සඳහන්ව ඇත්තේ මෙසේය.
දස්කොන් රූමත් උඩුකුලය දේවිය සමග රහස් සබඳතාවක් ගොඩනඟා ගැනීම ගැන රජතුමාට ආරංචි විය. ඔහු මහත්සේ කෝප වී දස්කොන් අමාත්‍ය තෙමේ වෙත තිබුණු සබඳතාව නවතා දැමීම නිසා රූමත් ප්‍රමිලාවෝ රෝගාතුර විය.
බමුණු උපදෙස් අනුව ඇයගේ රුව බලියකට අඹා නිමකර සිටියදී දස්කොන් එකී බලිය රහසේ බලා බලිරුවේ අඩුවක් පවසන ලදී. උඩුකුලය දේවියගේ බලියේ ඇගේ පයේ දකුණු කලවේ ඇති උපන් ලපය නොමැති බැව් පවසා ඇත.
රජුට මෙය ආරංචි වී දස්කොන්ගේ හිසගසා දමන ලදී. බලි ඉතිහාසගත පුරාවෘත්තය අනුව බලියකින් අවැඩක් සිදුවී ඇත්තේ එපමණකි.
ජ්‍යොතිෂවේදී, දේශබන්ධු,
කලාභූෂණ, ටී. හෙන්රි බෙම්මුල්ල
0771 892842











