ලක්දිව අතීත ශ්‍රී විභූතිය යළි යළිත් විරාජමාන කරන සම්පත් බැංකුවේ තවත් අභිමානවත් සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘වැවට ජීවයක්’ ජාතික ව්‍යාපෘතිය යටතේ යළි ජීවය ලැබූ බිබිල කින්දගල්ල වැව පසුගියදා ජනතා අයිතියට පත් කරනු ලැබීය.
හෙළ රජ දවස මෙරට පෙරදිග ධාන්‍යාගාරයක් කරන්නට දිරි දුන් මහා වාරි කර්මාන්තය කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත් වෙමින් තිබෙන යුගයක දැයේ හෙට දවස වෙනුවෙන් එම වැව්වලට යළි ජීවය ලබා දෙන සම්පත් බැංකුව මේ සත්කාරය තුළින් රටට බත සපයන බිබිල – කොකුන්නෑව ගොවි ජනතාවට ශක්තියක් වන්නට සමත් විය.
එහෙත් බිබිල කොකුන්නෑව ගමෙහි ගොවි ජනතාවට වසර ගණනක් පුරා හරි හැටි සරු අස්වැන්නක් රටට ජාතියට ලබා දෙන්නට නොහැකි වූයේ තමන්ගේ කෙතට දියවර සපයන කින්දගල්ල වැව අභාවයට යමින් පැවති හෙයිනි. රටට ජාතියට බත සපයමින් මෙතෙක් දිරියෙන් ඉදිරියට ගිය ගොවි ජනතාවට සිදු වූයේ කින්දගල්ල වැව දෙස බලා සුසුම් හෙළන්නට පමණි.
කින්දගල්ල වැව තව තවත් අභාවයට යද්දී ගොවි ජනතාවගේ පමණක් නොව ඔවුන්ගේ දූ දරුවන්ගේ අනාගතයත් දියුණුව කරා ගෙන යන්නට සම්පත් බැංකුව ඉදිරිපත් වූයේ සිය ‘වැවට ජීවයක්’සමාජ සත්කාරක වැඩසටහන යටතේ කින්දගල්ල වැව ප්‍රතිසංස්කරණය සඳහා කටයුතු කරමිනි.











