ඕම් නමඃ ශිවාය!
ඕම් නමඃ ශිවාය!
ඕම් නමඃ ශිවාය!
ජකංවි ගලඃ ජලඃ ප්‍රවාහ පාවිතන්තෙලේ,
ගලේ බලම්භ්‍ය ලම්භිතම් භුජංග මාලිකම්,
ධමද් ධමද් ධමද්ධම නිනාදව ධමර්වයම්,
ජකාර චණ්ඩ තාණ්ඩජවම් තනෝතුහඃ ශිවඃ ශිවම්.
එතැන සුදෝසුදු වැලි තලාවක්, ඒත් ඒ වැලිතලාව දෙපසින්ම හරිම පටුයි. මේ අපූරු බිම්කඩ දෙපස මහා සාගරයත්, අහස් කුසත් නිල්වන් පාටින් බබළමින් තිබෙන්නේ, සැබෑ ලෙසම දෙනෙත් වශීකෘත දසුනක් තබමිනුයි. මද්දහනට තව බොහෝ වේලාවක් තිබෙන නිසා, උදෑසන හිරු රශ්මිය ගතට, සිතට ප්‍රාණයක් එක් කරමින් ඇත.
චණ්ඩපරුෂ නොවූ මහා සාගරයෙන් ගලන සිසිල් සුළං දහරාවන් ගතසිත ප්‍රමෝධයට පත් කරමින්ද ඇත. මේ අපූරු තෝතැන්නේ යම් සවිශේෂී මෙහෙවරක නිරතව සිටින එක්තරා මිනිසුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා මහා ධ්‍යානයකට සමවැදී ඇති සෙයක්ද පෙනෙයි. මුහුදු වැල්ල මත එලූ පන් පැදුරක වාඩිගත් මෙම අපූරු මිනිසුන් දෙදෙනාගෙන් අයෙක් රන්වන් පැහැති දමිළ වේට්ටියක් පැළඳ උඩුකය නිරුවත්ව සිටියි. අනෙක් අය පැළඳ සිටින්නේ සුදු කමීසයක් සහ කළු දිගු කලිසමකි. දෙදෙනාම බිම එරමිණියා ගොතාගෙන පැදුර මත වාඩිගෙන සිටිති.
මොවුන් සිදුකරන මේ මහා කටයුත්ත කුමක්ද?

ඕම් නමඃ ශිවාය, ඕම් නමඃ ශිවාය’ නැවැත හඬ ඇසෙන්නට පටන් ගනියි. රන්වන් පාට වේට්ටිය පැළඳ තම ගෙලෙහි ඇටමාල පළඳාගත් කෝවිල් පූජකයාගේ හඬින් ඉහත ශ්තෝත්‍රය ගැයෙයි. ඊට පසු ඔහු ශබ්දයෙන් කියා සිටින්නේ ශිව තාණ්ඩව මන්ත්‍රය ය. ඔහු අසල සිටින අනෙක් මිනිසා දෙඅත් එකතු කරගෙන වැඳගෙන සිටියි. මල් මාලා පැළඳවූ කුඩා දේවරූප සහිත ඡායාරූප තුනක් පැදුර මත බොහෝ සීරුවෙන් තබා ඇත. එයට ඉදිරියෙන් ඇත්තේ පලතුරු ඇසිරූ පූජා වට්ටියකි. ඒ අසලින්ම සුවඳ හඳුන් කූරු තුන, හතරක් දැවෙයි. බාර හාරයක් යැයි සිතා බිඳින ලද පොල්ගෙඩි දෙකක පොල් බෑ හතරක්ද එහි ඇත. ඉන් එක් පොල් බෑයක් ඇත්තේ කලිසම් පැළඳි මිනිසාගේ අතෙහි වන අතර, ඔහු එය දෙඅතින් දේව රූප දෙසට යොමු කරගෙන සිටියි. සංස්කෘත භාෂාවෙන් කියැවෙන ශ්තෝත්‍ර සහ මන්ත්‍ර කෝවිල් පූජකයා දිගින් දිගටම කියාගෙන යයි. මහ සාගරයේ වැලි තලාව මත දකින මෙම අපූරු දසුන කුමක්ද?
මෙය සැබෑ ලෙසම කිසිදු කාලයකදී අසන්නට නොලැබුණු සුවිශේෂී කතාන්දරයකි. මෙය දමිළ, හින්දු ආගමේ පූජා මෙහෙවරක් වන අතර, එය මහා ශිව දෙවියන් උදෙසා සිදුකෙරෙන පූජාවකි. එය හින්දු කෝවිලක් ඇතුළතදී සිදුකෙරෙන මෙහෙවරක් වුවද, එසේ නම් මුහුදු තීරයකදී මෙසේ සිදුකෙරෙන්නේ ඇයි? මෙම අපූරු සිදුවීම ඇති වූයේ මෙයට දින කිහිපයකට පෙරදී පැවැති මහා ශිව රාත්‍රි දිනයේදීය. එනම් පසුගිය මාර්තු 11 වැනිදාය. මෙම අපූරු දේව පූජාවට එකතු වූ මිනිසුන් දෙදෙනාගෙන් කෙනකු වන්නේ ශ්‍රී ලංකාවේ සිටින නව ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේය. අනෙක් තැනැත්තා මන්නාරමේ තිබෙන ඉපැරැණි ශිව කෝවිල වන තිරුකෙටීස්වරන් කෝවිලේ ප්‍රධාන පූජකයාය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයාගේ අදහසක් සහ ඉල්ලීමක් මත මෙම සුවිශේෂී වෙනස් ආකාරයක ශිව පූජාව සිදුකෙරිණි. එනම් මෙය පැවැත්වූ බිම්කඩ ශ්‍රී ලංකාවටත්, ඉන්දියාවටත් අතිශය වැදගත් වූ ස්ථානයක් වන අතර, එය දෙරට විසින්ම හඳුන්වන්නේ ‘රාම් – සේතු’ ලෙසිනි. මෙය තවත් ආකාරයකින් හඳුන්වන්නේ ‘ආදම්ගේ පාලම’ නොහොත් ‘රාම් සේතු පාලම’ වශයෙනි. මෙය ශ්‍රී ලංකාවටත්, ඉන්දියාවටත් වසර සිය දහස් ගණනක් දක්වා දිවෙන කතාවකි. එනම් බොහෝ ඈත අතීත කාලයකදී ශ්‍රී ලංකාවත්, ඉන්දියාවෙන් සම්බන්ධ කෙරුණු සමුද්‍ර පාලමක් මුහුද මැදින් තිබුණු බැව්, දෙරටෙහිම ඉතිහාස කතාන්දර කියා සිටියි. ඒ අනුව එකල දෙරට ජනතාව බොහෝ සහසම්බන්ධයෙන් සිටි බවට නොයෙකුත් ජනප්‍රවාද සහ ඉතිහාස කතාද ඇත. මෙම ‘ආදම්ගේ පාලම’ නොහොත් ‘රාම් සේතු පාලම’ ඉතා දිගු කතාවක් වන අතර, එහි වැදගත් යමක් මෙහි පසුවදී ලියා තබමි. ඉන් පෙර දැන් අප සොයා බැලිය යුත්තේ මහා ශිව රාත්‍රී දිනයේදී සිදුකෙරුණු රාම් සේතු ශිව පූජාවේ වගතුගය. මෙවැනි විශේෂ නව මුහුණුවරක පූජාවක් ඉටු කිරීමට ඉන්දීය මහ කොමසාරිස්වරයා කටයුතු කළේ ඇයි?ගෝපාල් බග්ලේ මහ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රාර්ථනා කර ඇත්තේ වසර සිය දහස් ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබුණු සබඳකම් තව තවත් ශක්තිමත් වේවා යන්නය. එසේම දෙරටේ ජනතාව අතර සුහදතාවය ප්‍රතිස්ථම්භනය කිරීමද ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වූ බැව් ඔහු මෙම පූජාවෙන් පසුව ප්‍රකාශ කර ඇත. ශිව තාණ්ඩව ස්තෝත්‍ර සහ මන්ත්‍ර කියමින් සිදුකළ මෙම විශේෂිත පූජාවට පැයකට ආසන්න කාලයක් ගතවී ඇති අතර, පූජාව අවසානයේදී ජප කරන ලද පූජාභාණ්ඩ කිහිපයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරන මුහුදු තීරයට (ජලයට) නිදහස් කර හරින ලදී. ඉන්පසුව ශිව කෝවිලේ පූජකවරයා විසින් මහ කොමසාරිස්වරයාගේ දකුණු අතෙහි ‘ජපනූල්’ ගැටගැසීමද සිදුකෙරිණි. මෙදිනම මහ කොමසාරිස්වරයා මන්නාරමේ පිහිටි ‘තිරුකෙටීස්වරම්’ ශිව කෝවිලෙහි පැවැති විශේෂ ශිව පූජාවන්ටද සහභාගී විය. මන්නාරමේ මුහුදු තිරයේ නගර වන මාන්තායි සහ කුදිරමලෙයි ආශ්‍රිත ප්‍රදේශයක මෙම ශිව කෝවිල පිහිටා ඇත. දමිළ රාජ පරම්පරාවලින් පැවතෙන ඉතිහාසයක් මෙම ශිව කෝවිල සතුව ඇත.

ශ්‍රී ලංකා දමිළ ජනතාවගේ උත්තරීතර දේවස්ථානයක් වන මන්නාරමේ තිරුකෙටීස්වරම් කෝවිල යනු ශිව දෙවියන්ගේ ‘පංච ඊශ්වරම්’ සඳහා කැප කෙරුණු විශේෂිත කෝවිලක් ලෙස සැලකෙයි. මෙම කෝවිලට අමතරව එවැනි ‘පංච ඊශ්වරම්’ කෝවිල් හතරක්ද ශ්‍රී ලංකාව තුළ ඇත. කෝනේශ්වරම්, මුන්නේශ්වරම්, නගුලේශ්වරම් සහ කොන්දේශ්වරම් එම ශිව කෝවිල් හතර වන අතර, මේ දේවස්ථාන වන්දනාමාන කිරීම සඳහා දමිළ ජනයාට අමතරව අනෙකුත් ජාතීන්ද සහභාගි වීම විශේෂත්වයකි. මේ ආකාරයට පසුගිය මහා ශිව රාත්‍රී දිනයේදී උදෑසන 6 සිට පසුවදා උදෑසන 6 දක්වා ශිව දෙවියන් උදෙසා පූජාවන් රැසක් තිරුකෙටීස්වරම් කෝවිලේදී පැවැත්විණි. මෙහි ප්‍රධානතම පූජාව පැවැත්වෙන්නේ මහා ශිව රාත්‍රී දිනයේ මධ්‍යම රාත්‍රී 12ට වන අතර, ඒ සඳහාද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සහභාගි වී ඇත. දමිළ හින්දු ජනතාවගේ ප්‍රධානතම සහ උත්තරීතර දෙවියන් ලෙස සැලකෙන්නේ මහා ශිව දෙවියන් වන අතර, එය ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද එකහා සමානව සිදුකෙරෙන පූජා සත්කාරයකි. තිරුකෝතීස්වරම් ඓතිහාසික ශිව කෝවිල 6 වැනි ශත වර්ශයේදී ඉන්දියාවේ පල්ලවි රජදරුවන් විසින් ගොඩනඟන ලද බවට පුරා විද්‍යා සාක්‍ෂි ඇත.
ක්‍රිස්තු පූර්ව 600 දී ඉන්දියාවේ සිට විජය මහ රජතුමා ඇතුළු පිරිස ආදී ලංකාවට පැමිණීමට පෙර සිටම, තිරුකෝතීස්වරම් ශිව කෝවිල පැවැති බැව් ඉතිහාස කතාන්දර ප්‍රකාශ කර සිටියි. ඒ අනුව පෙනී යන්නේ වසර 2000කට අධික ඉතිහාසයක් මෙම කෝවිලට තිබුණු බැව්ය. මෙම ඉපැරැණි කෝවිල ආශ්‍රිතව සොයාගනු ලැබූ සෙල්ලිපි කිහිපයක් මගින් මෙම ඉතිහාසය විදහා දක්වයි. දැන් අප මෙම කතාන්දරයේ විශේෂිතම හැරවුම් ලක්‍ෂය වෙත පැමිණ ඇතැයි සිතමි. මෙවර මහා ශිවරාත්‍රී දිනයේදී ශ්‍රී ලංකාවේ තිබෙන සෑම ශිව කෝවිලකම ශිව පූජා පවත්වන්නට ඇතිය. එහෙත් මෙවර මෙම තිරුකෝතීස්වරම් කෝවිලේ පැවැත්වුණු ශිව පුජාව ඊට වඩා විශේෂත්වයක් ගනු ඇතිය. එසේ වන්නේ වසර දහස් ගණනාවක් පුරා දිවෙන මහා භාරතයේත්, තම්බපන්නියේත් ශක්තිමත් සබඳකම් තව තවත් උද්දීපනය කිරීමක් ලෙසය. බග්ලේ මහතා විසින් ආදිතන මහා භාරතයක් (ඉන්දියාව) සහ අපේ තම්බපන්ණියත් (ශ්‍රී ලංකාව) එකට එක්කර තැබුණු ඉපැරැණි බිම්කඩ වන ‘රාම් සේතු’ මතදී ශිව පූජාව පැවැත්වීම අති සුවිශේෂී සිදුවීමකි.

වසර දහස් ගණනක ඉතිහාසයක් කරා දිවෙන රාම් සේතු පාලම නොහොත් ආදම්ගේ පාලම ගැන අතීත තොරතුරු අප විටින් විට අසා ඇත්තේය. එහෙත් එම කතාන්දර විටෙක අපට අමතක වී යන්නටද ඉඩ ඇතිය. ඒ හෙයින් පසුගියදා ශිව රාත්‍රී දිනයේදී සිදුවූ සිදුවීම් පෙළ ආශ්‍රිත කරගෙනද මෙම මතකය නැවැත ආවර්ජනය කිරීම රසවත් කටයුත්තකි. අතීතයේදී රාම් සේතු පාලම පිහිටා තිබුණේ යැයි පැවසෙන්නේ ඉන්දියාවේ රාමේෂ්වරම්, පම්බන් දූපතත් ශ්‍රී ලංකාවේ මන්නාරමේ මන්නාරම් තොටත් අතර සාගර කලාපයකය. මෙය නොගැඹුරු මුහුදක් වන අතර, මෙහි දිග ප්‍රමාණය සැතැපුම් 30ක් නොහොත් කිලෝමීටර් 48කි. අතීතයේ ඉතිහාස සහ ජනශ්‍රැති කතාන්දරවලට අනුව මෙම පාලම ඉදිකරන ලද්දේ ඉන්දියාවේ රාම් කුමරු විසින් යැයි පැවසෙයි. එකල ශ්‍රී ලංකාවේ සිටි රාවණා රජු විසින් ඉන්දියාවේ රාම් කුමරුන්ගේ බිරිය වූ සීතා ශ්‍රී ලංකාවට පැහැරගෙන ආවේ යැයි අතීත රාමායනය ග්‍රන්ථයෙන් ප්‍රකාශ වෙයි. ඉන්පසුව රාම් කුමරු තම වානර සේනාවක් ලවා මෙම පාලම ඉදිකර, අර මතින් සීතා දේවිය සොයා ශ්‍රී ලංකාවට පැමිණි බැව් අතීත රාමායනය කියා සිටියි.
එකල මෙම නොගැඹුරු මුහුදේ වැලි කඳුගොඩ ගසා වැලිපර සාදා ඉන්පසුව ඒ මතට විශාල ගල් පර්වත සහ ගස් දැව කොටන් අතුරා මෙම පාලම තැනූ බවට විවිධ ඉතිහාස කතාන්දර කියා සිටියි. රාමායනයේ කතාන්දර ඔබට වැඩිදුර ලියා නොතබමි. අද වර්තමානයේ මෙම රාම් සේතු පාලම ගැන හෙළිවී තිබෙන කරුණු සැබෑ ලෙසම විශ්මයජනකය. එනම් පසුගිය සමීප කාලයක ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් චන්ද්‍රිකාවක් මගින් ඈත අභ්‍යාවකාශයේ සිට ගන්නා ලද ඡායාරූප පෙළක් මගින් ඉතාමත්ම පුදුමාකාර දසුනක් දිස්වෙයි. එනම් හරියටම, එක එල්ලයේම ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් එකට යා කරනු ලබන පාලමක් බඳු යම් නිර්මාණයක් දිස්වෙයි. එහි අරුම, පුදුම වගතුග නම් එම නිර්මාණය මුහුද හරහා ඉදිවී ඇත්තේ කිසිම ආකාරයකින් දෙරටෙහි භූමියෙහි කොන් දෙක (දෙකළවර) පිට නොපෙනෙන ආකාරයටය. නාසා චන්ද්‍රිකාව මෙම ඡායාරූප තවත් සමීපයෙන් ගත් කල පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ දෙරට අතර මෙසේ ඇත්තේ වැලිපර සහිත පාලමක් නැති යම් නිමැයුමක් ඇති බැව්ය. සාමාන්‍ය ගුවන් යානයක සිට මෙවැනි සුපැහැදිලි දසුන් ගැනීමට අපහසු අතර, අද මෙම චන්ද්‍රිකා දසුන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අතීත කතාව තවත් ස්ථාවර තත්ත්වයට ගෙනැවිත් ඇත.
මේ අතර, පසුගිය කාලයේ ඉන්දියානු සහ ඇමෙරිකානු පුරා විද්‍යාඥයන් පිරිසක් සිදුකළ පර්යේෂණවලින් සොයාගත් තොරතුරු අප තවත් මවිතයට පත්කරයි. දෙරට යාකරන මෙම වැලි පරය මත විවිධ පාෂාණ (ගල්) තොගයක්ද ඇති බැව් සොයාගෙන ඇත. මෙම පාෂාණ ගැන පුරා විද්‍යාඥයන් සිදුකළ කාලනීර්ණ පරීක්‍ෂාවකදී සොයාගෙන ඇත්තේ එම පාෂාණ වසර 7,000ක් පමණ පැරැණි බැව්ය. සාමාන්‍යයෙන් බොහෝ පාෂාණ වර්ග වසර ලක්‍ෂ ගණනින් පැරැණි වුවත්, මෙහිදී සොයාගත් පාෂාණ වසර 7,000ක පමණ කාලයක් පමණක් පැරැණි වීමෙන් පෙනී යන්නේ මෙහි මිනිසා විසින් යම් ගොඩනැඟීමක් සිදුකර ඇති බැව්ය. ඉන්දියානු සහ ඇමෙරිකානු එම පුරා විද්‍යාඥයන්ගේ පර්යේෂණයේ නිගමනය වූයේ වෙනත් ප්‍රදේශයක සිට රැගෙන ආ පාෂාණ යොදා ගනිමින් වැලි පරය මත පාලමක් නිර්මාණය කළ බැව්ය. එම පර්යේෂණයේ නායකත්වය දැරූ ඇමෙරිකානු පුරා විද්‍යාඥවරියක වන මහාචාර්ය චෙල්සියා රෝස් ඉතාමත් තදබල මතයක සිට ප්‍රකාශ කරන්නේ, මෙම රාම් සේතු පාලම ස්වාභාවික නිර්මාණයක් නොව මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බැව්ය.
මෙම රාම් සේතු කතාවේ තවත් අපූරු පිටුවකට පෙරළෙන්නේ මෙතැන් සිටය. එනම් පුරා විද්‍යාඥයන්ගේ මෙම නව මතය ප්‍රකාශයට පත්වීමත් සමඟ දැනට ඉන්දියාවේ දේශපාලනික සංවාදයක්ද නිර්මාණය වී තිබෙයි. එනම් වත්මන් ඉන්දියාවේ පාලක පක්‍ෂය වන භාරතීය ජනතා පක්‍ෂයේ නායකයන් සඳහන් කර ඇත්තේ, නව පුරා විද්‍යා සොයා ගැනීමත් සමඟ රාම කුමරු ගැන තිබෙන පුරාවෘත්තය සත්‍යයක් බවට සනාථ වන බැව්ය. කෙසේ හෝ මෙයට පෙර 2008 වසරේදී එකල ඉන්දියානු රජය විසින් මෙම සාගර ප්‍රදේශය හරහා නාවික මාර්ගයක් ඇති කිරීම සඳහා ‘සේතු සමුද්‍රම්’ නමැති නාවික ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා කළේය. එහෙත් එවිට භාරතීය ජනතා පක්‍ෂය සහ හින්දු අන්තවාදී සංවිධාන කිහිපයක් එකට එක්ව එම ව්‍යාපෘතියට විරුද්ධව උද්ඝෝෂණය කළේය. එහිදී මෙම සිදුවීම ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වූයේ, රාම කුමරු සත්‍ය වශයෙන්ම ජීවත් වූ බවට ඓතිහාසික සාධක හමුවී නොමැති බවයි. එහෙත් නව පුරා විද්‍යා සොයා ගැනීමට අනුව අධිකරණ තීන්දුව නිෂේධනය වන බවත්, රාම කුමරු ජීවත්ව සිටි බැව් සනාථ වන බවත් මෙම පිරිස් ප්‍රකාශ කර සිටිති.
එකල ඉන්දියානු රජය විසින් අරඹන්නට ගිය ‘සේතු සමුද්‍රම්’ ව්‍යාපෘතියට එරෙහිව ඉන්දියාවේ දමිළ ජනයා නියෝජනය කරන ප්‍රබල පක්‍ෂයක් වන ‘ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්’ පක්‍ෂය නොහොත් ඩී.එම්.කේ. පක්‍ෂයද රජයට එරෙහිව දැඩි ලෙස උත්ඝෝෂණය කළේය. එවිට රජය ප්‍රකාශ කර සිටියේ රාම් සේතු හි කිසිදා මිනිසා විසින් ඉදිකරන ලද නිර්මාණයක් නොවන බවත්, එය ස්වාභාවික පිහිටීමක් පමණක් බවත්ය. මෙතරම් විශාල පාලමක් මුහුද මැද ඉදිකළ හැක්කේ ‘සුපර් මෑන්’ කෙනකුට පමණක් බවත්, රජය විසින් විරුද්ධ පක්‍ෂයන්ට පරිභවශීලී ආකාරයෙන් එකල ප්‍රකාශ කර සිටියේය. කෙසේ හෝ එකල ඉන්දීය අගමැති මන්මෝහන් සිංග්ගේ රජය යටතේ ආරම්භ කිරීමට ගිය එම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කෙරුණු අතර, 2013 වසරේදී ඒ පිළිබඳ විශේෂ වාර්තාවක් ප්‍රකාශයට පත්කළේය. එම විශේෂඥ වාර්තාව මගින් ප්‍රකාශ කර තිබුණේ ‘සේතු සමුද්‍රම්’ ව්‍යාපෘතිය සඳහා මුහුද හෑරීමට අති විශාල මුදලක් වැය වන බවත්, මෙම ප්‍රදේශය සමුද්‍ර අභය භූමියක් ලෙස තිබෙන බැවින් පරිසරය විනාශ කිරීමද සිදුකළ නොහැකි බවත්ය. මෙම තත්ත්වය යටතේ අගමැති නරේන්ද්‍ර මෝදි රජය මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට කටයුතු කළේ නැත.
මේ ආකාරයට බලන විට මෙම ‘රාම් සේතු’ කතාව නිකම් අල්ලා ඉවත දැමිය හැකි එකක් නොවේ. පසුගිය ශිවරාත්‍රී දිනයේදී ‘රාම් සේතු’ තීරයේ ශ්‍රී ලංකාවේ කෙළවර භූමිය මතදී ශිව පූජාවක් පැවැත්වීමද එක්තරා අතකින් සුවිශේෂි සිදුවීමකි. මෙයට ප්‍රධාන වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂය නියෝජනය කරන උසස් තානාපති නිලධාරියෙකි. ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ බොහෝ සමීපව කටයුතු කරන පුද්ගලයෙකුද වෙයි. රාම් සේතු තීරයේ ඉතිහාසය ගැන සනාථ කිරීමත්, එම සමුද්‍ර බිම්කඩෙහි ආරක්‍ෂාව තරකිරීමත් කෙරෙහි භාරතීය ජනතා පක්‍ෂය බොහෝ විශේෂිත මෙහෙවරක නිරතව සිටියි. ඒ හෙයින්දෝ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා රාම් සේතු ශිව පූජාව එම භූමිය මතදීම සිදුකරන්නට ඇති බැව් විශ්වාස කළ හැකිය. කෙසේ හෝ පසුගිය කාලයේ පුරාවිද්‍යාඥයන්ට අමතරව ඇමෙරිකානු භූ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයක නිගමනයද වී ඇත්තේ මෙම රාම් සේතු පිහිටීම ස්වාභාවික පිහිටීමක් නොව, මිනිසා විසින් යම් කාලයකදී නිර්මාණය කරන ලද සමුද්‍ර පාලමක් බැව්ය. එහි ඇති වැලිපර සහ පාෂාණ මුහුදේ සාමාන්‍ය පිහිටීමක් නොවන බැව්ද ඔවුන්ගේ ස්ථාවර මතය විය.
ප්‍රියන්ත හෙට්ටිගේ











