ශ්‍රී ලංකාවේදී මේ වෙනකොට විශාල වශයෙන් කොවිඩ් සඳහා වූ එන්නත ලබාදීලා තියෙනවා. ප්‍රධාන වශයෙන් කොළඹ නගරය ආශ්‍රිතව වුණ මේ කටයුත්ත ටිකෙන් ටික ගමට ගියා. මුලින්ම එන්නත දුන්නෙ රෝහල් කාර්ය මණ්ඩලවලට. ඊළඟට ආරක්ෂක අංශවලට එන්නත දෙන්න තීරණය කළා. ඉතාම සාර්ථක විදියට සෞඛ්‍ය අංශවලට වගේම ආරක්ෂක අංශවලටත් එන්නත සාර්ථකව ලබාදුන්නා. අවශ්‍ය නම් එන්නත ලබාගැනීම ප්‍රතිකේෂ්ප කරන්නත් අවසර දීලා තිබුණා. ඒ වගේම මේ එන්නත ලබානොදෙන ශාරීරික සහ සෞඛ්‍ය ගැටලු සහිත බවට යම් පිරිසකුත් නම් කරලා තිබුණා. මේ සියල්ල මැද සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ කියන මේ දෙකොටසට අයිති විශාල පිරිසක් දැනට කොවිඩ් සඳහා ලබාදෙන ප්‍රතිශක්තීකරණ එන්නතෙන් ප්‍රථම කොටස ලබාගෙන අවසානයි.
ඉන් පස්සෙ මේ එන්නත ලබාදුන්නෙ කොවිඩ් දැඩි අවදානම් කලාප ලෙස නම් කරන ලද ප්‍රදේශවලට. එතැනදි වයස අවුරුදු තිහේ සිට හැට දක්වා කියන නිශ්චිත සීමාවක් මුලින්ම නම් කළත් පස්සෙ ඒක වෙනස් වුණා. හැට හැත්තෑව දක්වා ඉහළ ගියා. සමහරු දන්න හඳුනනකම මත මේ වැටෙන් පැන්නා. සමහරු නොදන්නවා වගේම එන්නත නොගෙන හිටියා. සමහර තැන්වල ඉතාම පිළිවලටත් සමහර තැන්වල ඉතාම අපිළිවෙළටත් එන්නත දුන්නා. ඇත්තටම පිළිවල තැන්වල දුන්නා. අපිළිවෙල තැන්වල එහෙම දෙන්න බැරි වුණා.
කොහොම නමුත් එන්නත ලබාගත්ත වැඩිදෙනෙක්ට ඉතාම නරක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවුණා. සමහර අයට උන ගැනුණා. තවත් අයට වමනෙ ගියා. කෑම අරුචිය ඇතිවුණා වගේම කෑම රුචිය වැඩිවුණ අයත් හිටියා. සමහරුන්ට ගේදොරවලට වෙලා රෙදි පොරෝගෙන උණ සන්නිපාතෙට මුහුණ දෙන්න වෙනකොට තවත් පිරිසකට වගේ වගක් තිබුණෙ නෑ. ඒගොල්ලො මේ එන්නතට ගේමක් නැතිව මුහුණ දුන්නා. දැන් ඒ එන්නත් ලබාදීමේ මහා ව්‍යාපෘතියට මාසයක් විතර වසයයි.
එතකොට…
ඔව්. දැන් හැමෝම මේ එන්නත අරගෙන ඉවරයි. සමහර අය නොගෙන ඉන්නත් තීරණය කරලා ඉවරයි. හැබැයි මේ එන්නත ගැන කතා කරන හැම තැනකදීම ඇහුණ කතාවක් වෙන්නෙ මේක පියවර දෙකක් යටතේ ලබාදෙන්න ඕන එන්නතක් කියන එක. ඒත් දැනගන්න තියෙන විදියට තවමත් දීලා තියෙන්නේ මේ එන්නතේ අදියර දෙකෙන් එකක් විතරයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ආරක්ෂක අංශවලට විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පවා ලබදීලා තියෙන්නෙ එන්නත් පියවර දෙකෙන් එකක් විතරයි.
‘එතකොට අනික’
අන්න ඒ ප්‍රශ්නයට හැමෝටම මුලින්ම නම් සාධාරණ උත්තරයක් ලැබිලා තිබුණා.
‘ඒක කලට වෙලාවට ලැබෙයි’
කියන එක. ඒත් පස්සෙ ඒක උත්තරයක් නැති තැනට පත්වෙමින් යන බවක් ඇහෙනවා. ඒත් මේ කතාව අපි ඔබට කියන්නෙ ඔබව කලබල කරවන්න නෙමේ. වගකීමක් සහිත මාධ්‍යවේදීන් විදියට මේ ගැන හොයා බලන්න අපිට සිදුවෙනවා. මේ උත්සාහය ඒ වෙනුවෙන්.
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ටසනිකා එන්නතෙන් අච්චර ප්‍රමාණයක් ආවා. ස්පුට්නික් එන්නතෙන් මේ තරම් ප්‍රමාණයක් ආවා’
වගේ වචන අපිට නිතර ඇහෙනවා. ඒ ගැන ප්‍රවෘත්ති පළවෙනවා. අපි මේ බෙහෙත්වල උප්පැන්න සහතික හොයන්න දන්නෙ නෑ. ඒ නිසා ඒවා ඉන්දියාවේද, රුසියාවේද කියන එක අපිට වැදගත් නෑ. අපිට වැදගත් වෙන්නෙ, ‘කොවිඩ්වලින් බේරෙන්න පුළුවන් වෙයි’ කියන එක විතරයි. ඒත් දැනගන්න තියෙන විදියට දෙවැනි එන්නත් මාත්‍රාව අපි ලබාදීම සිදුනොවෙනා තැනට මේ කතාව පත්වෙලාලු. ඒකට හේතු විදියට ඉන්දියාව කියන්නෙ ඔවුන්ගෙ එන්නත් නිෂ්පාදනාගාරයේ ඇතිවුණ ගින්න නිසා ඇතිවුණ නිෂ්පාදන අර්බුදයක් නිසාය කියලා කනින් කොනින් ඇහෙනවා. ඒත් අපිට මේ වගේ බරපතළ ප්‍රශ්නයකට කනින් කොණින් ඇහෙන උත්තරවලින් සෑහීමකට පත්වෙන්න බෑ. ඒ නිසා අපි ඒ ගැන මේ විදියට පොතපත බලන්න තීරණය කළා.
අපි මේ ගැන ඇමරිකාවේ රාජකාරියේ යෙදෙන ශ්‍රී ලාංකික වෛද්‍ය මහාචාර්ය නාමල් ලියනගේ සමග කතා කළා. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමේ, මේ විදියට බැරි වෙලාවත් එක මාත්‍රාවක් විතරක් ගන්න තැනට අපේ ජනතාව පත් වුණොත් වෙන්නෙ මොකක්ද කියන එක දැන ගන්න. මොකද ඒ සම්බන්ධව අපේ රටේ තියෙන විවිධ මත. සමහරු හිතා ගෙන ඉන්නෙ මේ දීලා තියෙන්නෙ අදාළ වෛරසය කියලා.
ඇත්තටම ඒක එහෙමද?
මේ මහාචාර්යවරයා ඒ පිළිබඳ දැක්වූ අදහස.
නෑ. ඇත්තටම එක මාත්‍රාවක් විතරක් ගත්තය කියලා ඔය කියන විදියට කිසිම දෙයක් වෙන්නෙ නෑ. ඒත් එක මාත්‍රාවක් විතරක් ලැබීමෙන් තියෙන ප්‍රයෝජනය අඩුයි. ඒක නිසයි මේ විදියට දෙවන මාත්‍රාවක් ගන්න ඕන වෙන්නෙ. අපි ඔය කියන එන්නත පාවිච්චි නොකරන නිසා ඒ ගැනම කියන්න බෑ. ඒත් අපි ඇමරිකාවේ විතරක් පාවිච්චි කරන ජේ ඇන්ඩ් ජේ කියන එන්නත දෙන්නෙ එක ඩෝස් එකක් විතරක් දුන්නම ඇති කියලා. ඒත් අද වෙන කොට ඇමරිකාවෙත් කියනවා, මේකෙත් දෙවෙනි ඩෝස් එකක් විද්දොත් හොඳයි කියලා.
මේ පළමු එන්නත දීමෙන් වෙන්නෙ අපේ ඇඟ ඇතුළෙ ප්‍රතිදේහ නිර්මාණය වෙනවා. හැබැයි ඒ විශාල ප්‍රමාණයක් නෙමේ. සීමිත ප්‍රමාණයක්. ඒත් නිවැරදි වෙලාවට ඊළඟ ඩෝස් එක දීමෙන් වෙන්නෙ මේකෙ ආරක්ෂාව වැඩි වීම විතරයි.
ඒක මම සරලව මෙහෙම පැහැදිලි කරන්නම්. අපි මේ හදන්නෙ කොවිඩ් එක්ක සටන් කරන්න සොල්දාදුවො පිරිසක් කියලා හිතමු. පළවෙනි එන්නතින් සොල්දාදුවො සීයක් විතර හදනවා නං, ඊළඟට දෙන දෙවෙනි එන්නත් මාත්‍රාවෙන් වෙන්නෙ මේ සීය ලක්ෂ ගාණක් දක්වා වැඩිවෙන එක. පළවෙනි එන්නතින් හම්බෙන සිය දෙනාට වඩා ලක්ෂයක විතර ආරක්ෂාව වැඩියිනෙ. ඒත් මේ විදියට සීයක් හිටියා කියලා ඒකෙ වරදක් නෑ. හැබැයි වඩාත් හොඳ එන්නත් මාත්‍රා දෙකක් ලැබෙනවා නම් තමයි.
ඇත්තටම මේ එන්නත ලබා දෙන්නෙ කොවිඩ්වලින් ආරක්ෂා වෙන්න. ඒ නිසා වඩා වැඩි ආරක්ෂාවක් ලැබෙනවා නම් හොඳයි. එහෙම නැතිව ඉතාම පුංචි කාලයකට සාමාන්‍ය ආරක්ෂාවක් ලැබීමෙන් අපි රටක් විදියට බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නෙ නෑ. ඒත් ඔය කියන විදියෙ අහිතකර බවක්වත් වෙන දෙයක් මේ එක මාත්‍රාවක් විතරක් දුන්නා කියලා නෑ.
හැබැයි ලංකාවෙ එන්නත දෙන විදිය ගැන නම් අපිට පුදුමයි. මොකද වැඩිහිටි ජනගහනය පැත්තක ඉන්න කොට මේ එන්නත ලබා දෙමින් යන්නෙ වෙනත් පිරිසකට. ඒක ඒ සම්බන්ධව දැනුවත් අයගේ නිර්දේශය නෙමේ කියලා මම හිතනවා. යනුවෙන් ඔහු පැවසුවා.
ඔහුගේ අදහස අපි බාරගත යුත්තේ ඔහු බොහෝ කාලයක් තිස්සෙ ප්‍රතිශක්තිකරණය එක්ක හැප්පෙමින් ඉන්න නිසා. ඒ වගේම මේ වෙන කොට කොවිඩ් වලින් වැඩිම පහර කෑමකට ලක්වෙලා තියෙන්නෙ ඔහු දැනට රාජකාරියෙ නියුක්ත වෙලා ඉන්න රට. ඒ නිසාම කොවිඩ් සඳහා එන්නත් නිපදවීමේ කටයුත්තටත් හැකි හැම විදියකින්ම “බැහැලම වැඩ කරන රටක්” බවට ඇමරිකාව පත්වෙලා තියෙනවා.
කිසිම බලපෑමක් නෑ- අමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
කොවිඩ් 19 ඖෂධ නිෂ්පාදනය කරන ඉන්දියාවේ සීරම් ආයතනයේ කොටසක් ගිනි ගැනීමෙන් පසු ඇති වූ තත්ත්වය හේතුවෙන් මෙරට කොවිඩ් එන්නත් ක්‍රියාවලියට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව කොවිඩ් 19 වැලැක්වීමේ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අවධාරණය කළාය. ඇමැතිවරිය වැඩිදුරටත් සඳහන් කළේ මෙරට කොවිඩ් එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බවට පැතිර යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය ඒවා බවය.
කොවිඩ් 19 එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දිය යුතු කාල සීමාව සති 10ත් 12ත් අතර බව නිර්දේශ කර ඇති බවද සඳහන් කළ ඇමැතිවරිය ලබන අප්‍රේල් මාසය දක්වා අවශ්‍ය තරම් එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති බවද අනාවරණය කළාය.
එන්නත් මාත්‍රා ලබා දීම ප්‍රමාද වන බවට සීරම් ආයතනය නිකුත් කළ ලිපිය සෑම රටකටම පොදු එකක් බවද ප්‍රකාශ කළ ඇමැතිවරිය මේ වන විට සෑම රටක්ම අවශ්‍ය තරම් එන්නත් ගබඩා කර ගෙන ඇති බවද සඳහන් කළාය.
මේ අතර වයස අවුරුදු 60ට අඩු අය සඳහා භාවිතා කළ හැකි රුසියාවේ නිෂ්පාදිත එන්නත ගෙන්වා අනෙකුත් දිස්ත්‍රික්කවලට ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් දී ඇති බවද ඇමැතිවරිය සඳහන් කළාය.
ජීවන පහන් තිළිණ – ප්‍රේමලාල් විජේරත්න










