ඌව සහ නැඟෙනහිර පළාත් දෙකට මායිම්ව පිහිටි ලංකාවේ තවත් සුවිශේෂී වනාන්තර පද්ධතියක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ ගල්ඔය ජාතික වනෝද්‍යානය. 1950 වසරේදී මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ සංකල්පයක් අනුව තමයි මෙය පළමුව යෝජනා වෙලා තියෙන්නේ. ඉන්පසු 1954 වසරේ පෙබරවාරි 12 වැනිදා ගල්ඔය ජාතික වනෝද්‍යානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය විදියට සැලකෙන සේනානායක සමුද්‍රය සහ ඉඟිනියාගල ජලාශය අතර කඳු පන්ති කිහිපයකින් වටවී පිහිටා තිබෙන ඉතාම මනරම් භූමි ප්‍රදේශයක් ලෙස ගල්ඔය ජාතික වනෝද්‍යානය බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක් වෙලා තියෙනවා.
ආරම්භයේදී Galoya Development Board මඟින් පාලනය වූ මේ ප්‍රදේශය 1965 වසරේදී තමයි වනජීවී දෙපාර්තමේන්තුව යටතට පත් වෙලා තියෙන්නේ. ඨ්කදහ් ෘැඩැකදචපැබඑ ඉද්රා මඟින් පාලනය වූ සමයේදී සේනානායක සමුද්‍රය මෙන්ම ඉඟිනියාගල, නිල්ගල සහ බදුවෙලත් එකට යා වී තිබුණු බවත් සඳහන්. අද බුද්ධංගල ලෙස හඳුන්වන්නේ අතීත බදුවෙල ප්‍රදේශයයි. 1974 දී පමණ තමයි ඒ වෙනස සිදුවෙලා තියෙන්නේ.
කොළඹ සිට කිලෝමීටර් 314ක පමණ දුරකින් පිහිටි මේ ජාතික වනෝද්‍යානයේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 25960ක්. සෑම කාලයකදීම විශාල අලි රංචු දැකිය හැකි වනෝද්‍යානයක් ලෙස තමයි ගල්ඔය ප්‍රචලිත වෙන්නේ. සාමාන්‍යයෙන් ජලාශයක් මැදදී අලි ඇතුන් දැක ගැනීම ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. නමුත් ගල්ඔය ජාතික වනෝද්‍යානයට අයත් දූපත්වල නිරන්තරයෙන් විශාල අලි රංචු දැක ගන්න පුළුවන්. ඒ සෑම අලි රංචුවක්ම අලි 200ක්, 250කින් යුක්තයි.

අලි පමණක් නෙවෙයි කොටි, ගෝන්නු, මුවන්, වලසුන්, කුළු මීමුන් මෙන්ම විශාල ප්‍රමාණයේ කිඹුලන්ද ගල්ඔයදී දැක ගන්න පුළුවන්. නමුත් ගල්ඔයදී කොටියෙකු දැක ගැනීම නම් ඉතාම අසීරු දෙයක් බවත් කිව යුතුයි. ක්ෂීර්පායී විශේෂ 32ක් මේ වනෝද්‍යානයෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම වාර්තා වී ඇති කුරුලු විශේෂ ගණන 150කට අධිකයි. වත රතු මල් කොහා, බෝල වටුවා, කුස ඇලි මුහුදු උකුස්සා, අළු හිස් මුහුදු උකුස්සා, අළු කොකා වැනි දුර්ලභ පක්ෂි විශේෂ එහිදී දැක ගන්න පුළුවන්. ඊට අමතරව දුර්ලභ උරග විශේෂ වගේම ශ්‍රී ලංකාවට ආවේණික සමනල් විශේෂ කිහිපයකුත් මෙහිදී සොයා ගෙන තියෙනවා. ගල්ඔයට අයත් නිල්ගල කුරුල්ලන්ගේ පාරාදීසයක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රජනන සමයේදී සහ පැටවුන්ගේ කුඩා අවධිය සඳහා බොහෝ කුරුලු විශේෂ නිල්ගල තෝරා ගෙන තියෙනවා.
බොහෝ වටිනා දුර්ලභ බෙහෙත් පැළෑටි සම්බන්ධයෙන්ද ගල්ඔය ජාතික වනෝද්‍යානය දැඩි ප්‍රසිද්ධියක් උසුලනවා. ගල්ඔයට අයත් නිල්ගල ප්‍රදේශය තමයි ඒ සඳහා වඩාත් ප්‍රචලිත. ඒ වගේම කොළඹ බිබිල හරහා අම්පාර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය අයිනේ පිහිටි නාමල්ඔය ජලාශයත් අයත් වෙන්නේ මේ ජාතික වනෝද්‍යානයටමයි. විශේෂයෙන්ම සැන්දෑ යාමයට නාමල් ඔයේ මැවෙන සුන්දරත්වය ප්‍රධාන මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනකුට නොමිලයේම අත විඳින්න පුළුවන්.
ගල්ඔය ජාතික වනෝද්‍යානය පුරා විශාල වශයෙන් පැතිරුණු තැනිතලා බිම් දකින්න පුළුවන්. එම බිම් සියල්ලම වැසී පවතින්නේ ඉලුක් සහ මානා පඳුරුවලින්. ප්‍රධාන වශයෙන් නිරිත දිග වර්ශාවෙන් වැසි ලැබෙන මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1700ක් පමණ වෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 30 සිට මීටර් 900දක්වා උස් වූ ප්‍රදේශ මෙහි පිහිටා තියෙනවා. ඒ අතරින් උස්ම තැන ධානිගල මුදුන බවටයි සැලකෙන්නේ.
ධානිගලට අමතරව නිල්ගල සහ උල්පතගල කඳු පංතිත් මේ වනෝද්‍යානය තුළ පිහිටා තියෙනවා. ඒ අතරින් ධානිගල සහ නිල්ගල ආදි වාසීන්ගේ නිජ භූමියක් ලෙසත් ප්‍රකටයි. ඒ වගේම ධානිගල ප්‍රදේශයේ ගල් ගුහාවකින් බ්‍රාහ්මී අක්ෂර සහිත ගල් ලෙනක් සොයා ගෙන තිබීම මත එය ඓතිහාසික වශයෙනුත් වැදගත් ස්ථානයක් බව සනාථ වෙලා තියෙනවා.
ජෛව විවිධත්වයට සහ ස්වභාව සෞන්ධර්යයට අමතරව ගල්ඔය ජාතික වනෝද්‍යානයේ වටිනාකම වැඩි කරනා සුවිශේෂී ස්ථානය ලෙස මකරය හඳුන්වන්න පුළුවන්. මධ්‍යම කඳුකරයේ බෑවුම්වලින් ආරම්භ වී ගලා එන ගල්ඔයේ ජල කඳ සේනානායක සමුද්‍රයට එකතු වීමට පෙර එක් තැනකදී සම්පූර්ණයෙන් අතුරුදන් වෙනවා. අන්න ඒ ස්ථානය තමයි මකරය ලෙස හැඳින්වෙන්නේ.
ඒ ආකාරයෙන් ගල්කුළු සහ මහ පොළොව යටින් සැඟවී ගමන් කරන ගංගාව මීටර් 200ක්, 300ක් පමණ දුරින් තමයි නැවත එළියට එන්නේ. මෙම ස්ථානයේ ඇති අද්භූත බව නිසාම ඈත අතීතයේ පටන්ම එය මකරය ලෙස හඳුන්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවතින එවැනි එකම ස්ථානයත් එය වීම මත ගල්ඔයට පැමිණෙන බොහෝ දෙනා අනිවාර්යයෙන්ම නරඹන තැනක් බවට මකරය පත් වෙලා තියෙනවා.
වනජීවී දෙපාර්තමේන්තුවේ දැඩි අධීක්ෂණයට ලක් වෙලා තිබුණත් ගල්ඔයට එල්ල වෙලා තියෙන තර්ජන සුළුපටු නැහැ. ඒ අතරින් විශාලම තර්ජනය එල්ල වෙලා තියෙන්නෙ දඩයක්කරුවන්ගෙන්. දඩයක්කරුවෙකුගේ වෙඩි පහරක් හේතුවෙන් තම රාජකාරිය ඉටු කිරීමට ගිය වනජීවී නිලධාරියෙකුට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වූ අවස්ථාවකුත් පසුගිය කාලයේදී ගල්ඔයෙන් වාර්තා වුණා.
ඊට අමතරව අනවසර මැණික් ජාවාරමත් ගල්ඔයට එල්ල වී ඇති තවත් තර්ජනයක්. ඒ වගේම ඉලුක් සහ මානා කපා ගැනීම සඳහා ඇතුළුවන අවට ගම්වාසීන්ගෙනුත් මෙහි ශාක සහ සත්ව ප්‍රජාවට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. මේ සියල්ලට මුහුණ දෙමින් ගල්ඔය ජාතික වනෝද්‍යානය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම සඳහා නිලධාරීන් ගන්නා වෙහෙස අපමණයි. යම් දිනෙක ගල්ඔය සංචාරයක යෙදෙනේනේ නම් ඒ සඳහා සහාය ලබා දීම ඔබේ යුතුකමක් වන බවත් සිහියේ තබා ගත යුතුයි.
සමන් හල්ලොලුව











