දුක වේදනාව ඔවුන්ට පාරම්පරිකව ලැබෙන දායාදයක් බඳුය. ගොනු පසුපස රියසක එන්නා සේ දුකවේදනාව දරිද්‍රතාව සැමදා ඔවුන් පසුපස විය. ඒ පාරම්පරික උරුමය තම දූදරුවන්ටත් උරුම නොවිය යුතු බව ඔවුන් තීරණය කිරීමෙන් පසු ඔවුන්ගේ ජීවිතය මැදපෙරදිගටම සින්න විය. ගෘහ සේවිකාවන් වශයෙන් මැදපෙරදිග සේවයට ගිය ඔවුන් සිය හාම්පුතුන් වෙනුවෙන් බැලමෙහෙවර කිරීම සිය උරුමය කරගත්තේ දෛවය කිසි දිනෙක ඔවුන් වෙත හසරැළි නඟන්නට ඉඩ නොදෙන බැව් අවබෝධ කරගනිමිනි. මව්රටේ සිටියදී දරිද්‍රතාවයෙන් දැඩිලෙස පීඩාවිඳි ඔවුහු මැදපෙරදිගදී විවිධාකාරයේ තාඩන පීඩන රැසකට මුහුණ පෑහ. ඒ පිළිබඳ විවිධාකාරයේ සංවාදයන් පසුගිය කාලයේ ඇති විය.
කිසිදා නිවී යතැයි විශ්වාස කළ නොහැකි ඔවුන්ගේ පපු තුළ ඇවිලෙනා ගින්නයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වශයෙන් අතීතයේ තේ, රබර්, පොල් හැඳින්වුවද වර්ථමානයේ ප්‍රධාන අපනයනය බවට පත්ව තිබෙන්නේ නුපුහුණු ශ්‍රමිකයින්ය. මේ වන විට ශ්‍රී ලාංකික කාන්තාවන් විශාල ප්‍රමාණයක් මැදපෙරදිග ගෘහසේවිකාවන් වශයෙන් කටයුතු කරමින් සිටිති. ඔවුහු ඒ රටවල නොවිඳිනා දුක් විඳිති. ඇතැම් කාන්තාවෝ දැඩි වදහිංසාවලට ලක්වෙති, ලිංගික අතරවයන්ට ලක්වෙති. මේ සියල්ල මැද ඔවුන් නිරුපද්‍රිතව යළි මව්රටට පැමිණීමත් එක්තරා ආකාරයක වීරත්වයකි. එවන් තත්ත්වයක් තුළ ඔවුන්ව රටවිරුවන් නමින් හැඳින්වීම වරදක් නොවේ.

මෙලෙස විශාලවශයෙන් කාන්තාවන් ශ්‍රමිකයින් වශයෙන් මැදපෙරදිග රැකියා සඳහා පිටත්වීම නිසාවෙන් සමාජය තුළ නව ආරක ගැටලු නිර්මාණය වෙමින් තිබේ. පවුලක මවගේ භූමිකාවෙන් ලබාගත හැකි අත්දැකීම් පිළිබඳ අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නොවන අතර පවුලක මව විදේශගත වීම නිසාවෙන් පවුල් සංස්ථාව තුළ ඇතිවන අසමතුලිතභාවය සමනය කරන්නට මුදල්වලට කිසිදු ආකාරයක හැකියාවක් නොමැති වීම නිසා පවුල් සංස්ථාව තුළ ඇතිවන ගැටලු මේවන විට සමාජ ගැටලු බවට පරිවර්තනය වී තිබේ. හයලක්ෂ හැට දහසකට අධික කාන්තාවන් පිරිසක් ගෘහ සේවිකාවන් වශයෙන් සේවයේ නිරතය.
එලෙස දුක් කම්කටොලු විඳ යළි හිස් අතින් මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් කොතරම් නම් සිටිත්ද? ඔවුන් එලෙස හිස් අතින් යළි මව්රටට එනවිට පවුල් සංස්ථාව බිඳවැටී තිබෙනු දකිද්දී කොතරම් නම් පීඩාවක් ඇතිවේද? මේ ඔවුන් බහුතරයක් මුහුණ දෙන යථාර්ථයයි.
පසුගිය වසරේ ඇති වූ කොරෝනා උවදුරත් සමඟ විදෙස්ගත ශ්‍රමිකයින් දහස් ගණනකට සිය රැකියා අහිමි වූ අතර ඔවුන් ඒ හරහා දැඩි පීඩනයකට ලක්විය. තමන් සේවය කළ ස්ථානවලින් ඔවුන් ඉවත් කිරීමත් සමඟ මේ තත්ත්වය තවත් තීව්‍ර වූ අතර ඉන්පසු ඔවුන්ට එම රටවල ක්‍රියාත්මක තානාපති කාර්යාලවලින් ලබාදුන් රැඳවුම් නිවාසවලවල රැඳී සිටීමට සිදුවූ අතර ඇතිවූ තත්ත්වය නිසාවෙන් විදෙස්ගත ශ්‍රමිකයෝ රැසක් කබලෙන් ලිපට වැටෙන තත්ත්වයකට පත්වූහ. එසේම කොරෝනා වෛරසය පැතිර යාමට පෙරාතුව විවිධ හේතූන් මත වීසා නොමැතිව සිටි විශාල පිරිසක්ද එලෙස රැඳවුම් නිවාසවල රඳවා සිටි අතර ඔවුන්ටද සිය රට වෙත පැමිණීම සැමදා හීනයක්ම පමණක් විය.

නමුත් විදෙස්ගක ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම රජය විසින් සිදුකරනු ලැබූ අතර පසුගිය පෙබරවාරි මාසයේ සිට එලෙස හැත්තෑ එක්දහසකට අධික විදෙස් ශ්‍රමිකයින් පිරිසක් මෙරටට ගෙන්වා නිරෝධායනයට ලක් කර තිබුණද ඔවුන් දිවයිනට ගෙන්වාගැනීම පසුගිය ඔක්තොම්බර් මාසයේදී තාවකාලිකව අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේ රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙනි. ඊට ප්‍රධානම හේතුව වූයේ ඒවන විට නිරෝධායන මධ්‍යස්ථාන සහ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වල පවතින ඉඩකඩ සීමා වීමයි.
කොවිඩ්-19 පාලනය කිරීමේ කාර්යය සාධක බළකාය විසින් නියෝග කරන ආකාරයට විදෙස් ශ්‍රමිකයින් ගෙන්වීම සිදු කළ හැකි බවත්, දැනට උද්ගතව ඇති තත්ත්වය මත විදේශ ශ්‍රමිකයින් එකවර මෙරටට ගෙන්වීම ප්‍රායෝගික හැකියාවක් නොමැති බවත්, එහෙත් ඔවුන් ක්‍රමක්‍රමයෙන් මෙරටට ගෙන්වීම සිදු කරන බවටත් රජය දැනුම් දී තිබිණ.
පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කිරීම තුළින් විදෙස් රටවල රැඳවුම් නිවාසවල රඳවා සිටි විදෙස් ශ්‍රමිකයින්ට විශාල අස්වැසිල්ලක් විය. විදේශ ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ කොවිඩ් පාලනය කිරීම පිළිබඳ කාර්යය සාධක බළකාය, විදේශ කටයුතු අමාත්‍යංශය හා සහයෝගයෙන් නිසා කාර්යය සාධක බළකාය විසින් සඳහන් කරන පරිදි මෙරටට ශ්‍රමිකයින් ගෙන්විමේ ධාරිතාවය පිළිබඳව සළකා බලා ඒ අනුව සඳහන් කරන ලද ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සිදු කරමින් සිටින බවත්, එහෙත් කොවිඩ් 19 හේතුවෙන් විදෙස් රටවල පනවා ඇති නිරෝධායනය හා සම්බන්ධ මඟ පෙන්වීම්, සීමා කිරීම්වලටද යටත්ව කටයුතු කිරීමට සිදුව ඇති බවත් එහිදී රජය ප්‍රකාශ කළේය.

ඒ අනුව පසුගිය ජනවාරි 14 දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම යළි ආරම්ක කරන බවයි. එසේම ඔවුන් මෙරටට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා ගැනීමේදී තෙවන පාර්ශවයක් සම්බන්ධ කර නොගෙන ඉදිරි කටයුතු සිදුකරගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට තානාපති කාර්යාල හරහා පහසුකම් සැපයීය යුතු බවද පැවසීය. එසේම එලෙස රැගෙන එන පිරිස් යුද්ධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු සඳහා යොමු කරන බවද යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය. මෙහි සුවිශේෂීම කාරණය වූයේ ඕමානය වැනි රටවල විවිධ හේතුන් මත විසා නොමැතිව රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටි පුද්ගලයින්ද මෙලෙස මෙරටට ගෙන්වීමට අවශ්‍යය කටයුතු සැලසුම් කර ක්‍රියාවට නංවා තිබීමය.
මේ පිරිස් මේ වන විත් යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායනය මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ඔවුන් සිය නිරෝධායන කාලසීමාව අවසන් කළ පසු යළි සිය ලබැඳියන් හා එක්වන්නට නිවෙස් වෙත යනු ඇත.
දිලංක ගුණතිලක










