අපිට ඉක්මනටම උවමනා වෙලා තිබුණු දෙයක් තමයි සාමය පිළිබඳ පණිවිඩය. ජාති, ආගම්, කුලවලට බෙදිලා කෑලි කෑලිවලට කඩාගන්න දඟලන රටක් ඇතුළේ අපිට උවමනා වෙලා තියෙන්නේ ඒක. අපි අපේම රටේ උතුරේ මිනිසුන්ව දෙමළ කියලා ඉරක් ගහලා වෙන් කරලා අවුරුදු තිස්තුනක් මහ පොළොවේ අයිතිය ඉල්ලගෙන කා කොටා වැටුණා. යුද්ධෙ ඉවර වෙන්න අවුරුදු තිස්තුනක් ගියාට යුද්ධෙ පටන් ගන්න එච්චර කාලයක් ගියේ නෑ. යුද්ධෙ ඉවර කරන්න කෝටි ගානක් වියදම් කරන්න වුණාට යුද්ධෙ පටන් ගන්න එච්චර වියදම් කරන්න වුණේ නෑ. කෑලි කෑලිවලට කැඩුණු රටක බෙදිලා වෙන්වෙන මනුස්සකම ආයේ පාස්සන්න කොච්චර අමාරු වුණත් මිනිස්සු බෙදන්න හරි ලේසියි. අපිට වුණෙත් ඒක. බස්වල, කෝච්චිවල බෝම්බ පුපුරනකොට ඒ ඇඟවල් අස්සට කඩා වැදුණු මූනිස්සම් කෑලි ජාතිය, ආගම, කුලය හොය හොයා හිටියේ නෑ. ඒ නිසා එක පාරක් වැරදුණු අපිට තව පාරක් වරද්ද ගන්න නැතුව ඉන්නනම් සාමයේ පණිවිඩය ඉක්මනටම අවශ්‍ය වෙලා තිබුණෙ.
රටක් විදිහට එක එකා බෙදිලා එක එකා වෙන්වෙලා ඉන්නකොට ඒක වේදනාවක් කියන එක අපි දන්නවා. ඒ නිසා තව කෙනෙකුට ඒ වේදනාව ඊළඟ පරම්පරාවට දෙන්න නොදී අපිවත් එකතු වෙලා මේ ප්‍රශ්නය විසඳගමු කියන සුන්දර පණිවිඩය කොහෙන් හෝ කොතැනින් හෝ මතුවෙලා එනවනම් ඒ වෙනුවෙන් ආශීර්වාද කරන්න අපි හැමෝම ලෑස්තියි. මේ තමයි ඒකට වෙලාව කියලා අපිට හිතෙනවා. කතාව පටන්ගන්නේ සිරස ලක්ෂපතියෙන්. ලංකාවේ රූපවාහිනී නාලිකාවක් විසින් පවත්වාගෙන යන ඉතාම ප්‍රකට වැඩසටහනක් විදිහට අපි මේ වැඩසටහන ගැන කතා කරන්නේ. සිරස මේ වෙලාවේ මේ කරන වැඩේ සම්බන්ධව ඔවුන්ට අපිට වාදභේදවලින් තොරව ස්තූතිවන්ත වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි මුලින්ම සිරසේ නම කියලම කතාව පටන්ගත්තේ. එකොමත් එක දවසක සිරස ලක්ෂපතියට එනවා පුංචි කෙල්ලක්. ඇගේ නමක් ගමක් අපි මුලින් දැනගෙන හිටියේ නැහැ. සාමාන්‍යයෙන් සිරස ලක්ෂපතියට විවිධ මට්ටමේ තරුණ තරුණියෝ එන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම පස්සේ අපි හඳුනගන්නවා ඇය ඉපදිලා තියෙන්නේ ගාල්ලේ කියලා. ගාල්ලේ පුංචි ගෙදරක පුංචි පවුලක ඈ ඉපදිලා අද වෙනකොට ඇගේ ජීවිතේ ඒ තරම් දුර ගිහිල්ලා නැහැ.
ඒ නිසාම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඈට ජීවිතේ ඒ තරම් බරක්පතළක් නොතේරෙනවා කියලා. කොහොම නමුත් සල්ලිවලට බෙදිච්ච කෑලිවලට කැඩිච්ච සංස්කෘතියේ විස නම් ඈ ගාව නෑ කියලා අපිට තේරෙනවා. ඒකට හේතු වෙන්නේ සමහර වෙලාවට ඈ තාම පුංචි නිසා වෙන්න ඇති. ඈවත් වැඩිමහල් වයසට පත් වෙනකොට කවුරු හෝ කල්ලියක් කවුරු හෝ කණ්ඩායමක් අයිති කර ගනීවි. ඈට අපේ කියලා කියාවි. ඇය අපේ කට්ටිය කියලා කියන කණ්ඩායමක් වෙනුවෙන් ඉදිරිපත් වේවි. ඒක එහෙම නොවෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒක එහෙම නොවිය යුතු ක්‍රමවේදයක් නිර්මාණය විය යුතුයි කියලා අපි හිතනවා. ඒ වෙනුවෙන් අපි අවශ්‍ය කරන වැඩපිළිවෙළ දියත් කරන්න ඕනෑම වෙලාවක සූදානම්. ඉන්පස්සේ අපි දැනගන්නවා ඇගේ නම ශුක්රා කියලා. ශුක්රා ඉතාම ප්‍රකට තරුණියක් වෙන්න කලින් ඇගේ ජීවිතේ ගත වෙන්නේ සාමාන්‍ය විදිහට. ශුක්රා මුනව්වර් උසස් පෙළ කරන්න සූදානමින් ඉන්නේ දෙදහස් විසිදෙකේදී. ඒ කියන්නේ තාම ඇගේ වයස අවුරුදු දහඅටක් හෝ දහනවයක්. ඇගේ ජාතිය ශ්‍රී ලාංකික. ඇගේ ආගම ඉස්ලාම්.
ඈ සිරසට එන්නේ ඇගේ පුද්ගලික උවමනාවක් වෙනුවෙන්. ඒ ගැන ඈ ප්‍රසිද්ධියේම කියනවා. ඈ කියන්නේ ඈට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ලැප්ටොප් එකක් ගන්න ඕනේ කියලා.මේ ලැප්ටොප් එකේ උවමනාව සංකේතාත්මකව ඈට තිබුණට තව ලංකාවේ දහස් ගණන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තියෙන බව ඈ ප්‍රසිද්ධියේ කියනවා. ඒක තමයි ඇගේ තියෙන වටිනාකම. මිනිස්සු ඇයව වැලඳගන්න ඇයට ආදරය කරන්න ඈ වෙනුවෙන් ෆේස්බුක් එකේ කවි කතා පළකරන්න හේතු වෙන්නේ ඒක. ඈ කියන්නේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ අපේ රටේ දහස් ගණන් දරුවෝ අසරණ වෙලා ඉන්නවා කියලා. ඒ අසරණ වෙච්ච අය අතර ඈත් ඉන්නවා. ඒ වගේම ඈ කියනවා ඇගේ දෙමව්පියෝ ගැන. “මගේ තාත්තා ඉන්නේ අසනීපෙන්. මට හැමදේම කරන්නේ මගේ අම්මා. ඒ නිසා මට සාමාන්‍ය ළමයෙක්ට වගේ ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය කරන දේවල් හොයාගෙන යන්න සල්ලි නෑ. ඒ නිසා මම ලක්ෂපති එකට ආවා මං වගේම තව දහස් ගණන් ළමයි ඒ විදිහටම අසරණ වෙලා ඉන්නවා.” ඈ එහෙම කියනකොට අපි දන්නවා දැන් ඇගේ ලැප්ටොප් එකේ උවමනාව අනිවාර්යයෙන්ම පිරිමැහෙනවා. ඈ වෙනුවෙන් ලැප්ටොප් එකක් අරගෙන දෙන්න ඕන තරම් දානපතීන් ඉදිරිපත් වේවි. ඒත්, අපේ රටේ ඈ වගේ ඉන්න තව දහස් ගණන් ළමයින්ගේ මේ උවමනාව ඉෂ්ට කරන්නේ කවුද?
එහෙම දවසක් උදා වෙනවානම් අන්න එදා දවසේ අපි හැමෝටම අවංකවම සතුටු වෙන්න පුළුවන් දවසක් වේවි. ඊළඟට අපි පුදුමයට පත්වෙන වැදගත්ම දේ තමයි ඈට තියෙන සිංහල සාහිත්‍ය දැනුම. මේ සිංහල සාහිත්‍ය දැනුම සංකේතාත්මකව අරගත්තට පස්සේ ශුක්රාට විතරක් තියෙන එකක්ද? නැත්නම් ලංකාවේ සමස්ත මුස්ලිම් සමාජය මේ විදිහද? ඒක තමයි තෝරගන්න තියෙන වටිනාකම කාරණාව. අපි ඇත්තටම සිංහල, දෙමළ, මුස්ලිම් කියලා කෑලි කඩලා බෙදලා වෙන්කරලා ඈත් කරලා තියන්න උත්සහා කරන්නේ මේ වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසිය දහය ඇතුළේ අපි සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව එකට ජීවත් වෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් සමාජය බොහෝවිට කතා කරන්නේ සිංහල. ඔවුන් බොහෝවිට ඉගෙන ගන්නේ සිංහල භාෂාව. ඔවුන් ගනුදෙනු කරන්නේ සිංහලයොත් එක්ක. ඒ නිසා ඒ අයට සිංහල සාහිත්‍ය සම්බන්ධ, නිර්මාණ සම්බන්ධ යම් දැනුමක් ලැබෙනවා. ඒ වගේම දෙමළ සමාජයත් ඒ විදිහයි. උතුරට ගිහිල්ලා බැලුවට පස්සේ සාම්ප්‍රදායික ද්‍රවිඩ ජනතාව ඇරුණම බොහෝ දෙනෙකුට සිංහල කතා කරන්න පුළුවන්. බොහෝ දෙනෙකුට සිංහල භාෂාව පිළිබඳ යම් දැනුමක් තියෙනවා. බොහෝ දෙනෙකුට බෞද්ධ ආගම සම්බන්ධ යම් හැදෑරීමක් තියෙනවා. සමහර අය සාමාන්‍ය රජයේ පාසල්වල ඉගෙනගත්තට පස්සේ ඒ පාසල්වල උසස්පෙළට හදාරන්න වෙලා තියෙන්නේ, නැත්නම් සාමාන්‍ය පෙළට හදාරන්න වෙලා තියෙන්නේ එක්කෝ සිංහල භාෂාව. ඒ වගේම බුද්ධාගම. මම එක දවසක් දකිනවා ලංකාවේ ඉන්න ප්‍රකට නිවේදකයෙක් වගේම තරුණ නීතිඥවරයෙක් වන ෆසීර් මොහොමඩ්ගේ සමාජජාල පණිවිඩයක්. ඒ පණිවිඩයට හේතු වෙන්නේ අවුරුදු පන්දහසක් පැරණි බුදුපිළිමයක් තියෙන බවට පළ කරපු ෆේස්බුක් පණිවිඩයට ඔහු විසින් අභියෝග කිරීම. මේ අභියෝග කිරීමත් එක්ක ඔහුට ලංකාවේ සිංහල බෞද්ධ යැයි ලේබල් අලවා ගත් පිරිස දිගින් දිගටම පහර දෙන්න පටන් ගන්නවා. මේ පහරදීම අවසානයේ ෆසීර් තමන්ගේ සාමාන්‍ය පෙළ විභාග සහතිකයේ පින්තූරයක් අරගෙන ෆේස්බුක් එකේ දානවා. ඔහුට බුද්ධාගම විෂය සඳහා “ඒ” සාමාර්ථයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔහු ඉගෙනගෙන තියෙන්නේ ජෝශප් වාස් විද්‍යාලයේ. කතෝලික පරිසරයක් ඇතුළේ ඉස්ලාම් ආගම අදහමින් බුද්ධාගම සාමාන්‍ය පෙළට ලියලා ඔහු “ඒ” සාමාර්ථයක් අරගන්නකොට ඔබ දන්නවද දන්නේ නෑ ඔහුට ඉස්ලාම් ආගම, බුද්ධාගම වගේම කතෝලික ආගම සම්බන්ධවත් යම් දැනුමක් ලැබෙනවා. මෙන්න මේක තමයි අපේ රටේ තියෙන වටිනාම දේ. මේ විදිහේ දේවල් වුණාම අපිව කෑලි කපලා ඉරි ගහලා වෙන් කරලා ඔයාලා සිංහල එයාලා දෙමළ කියලා තවදුරටත් වෙන් කරන්න බැරි වෙන එකයි මේකේ තියෙන වටිනාකම. ඇත්තටම සිද්ධ වුණේ උතුරේ මිනිසුන්ව උතුරේ හුදෙකලා වෙලා දකුණේ මිනිස්සු දකුණේ හුදෙකලා වෙලා උතුරේ මිනිස්සු කියන්නේ මොකක්ද කියලා දකුණේ මිනිස්සු නොදැන, දකුණේ මිනිස්සු කතා කරන දේවල් උතුරේ මිනිස්සු නොදැන දේශපාලකයින්ට උවමනා විදිහට අපි වෙන්වෙලා හිටපු එක. මේ කාරණාව හින්දා අපිට කොච්චර රිදුණත් මතක තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් දේශපාලකයින්ට මේ ජාති ආගම් කුලමල භේදවලින් රිදෙන්නේ නෑ. අන්න ඒ නිසයි සමහර දේශපාලකයෝ අපිට පේන්න සිංහල බෞද්ධ හම් පොරවගෙන උතුරේ දෙමළ නෑදෑයොත් එක්ක පවුල් කන්නේ. අන්න ඒකයි සමහර දේශපාලකයෝ සිංහල බෞද්ධ බවට කියමින් පපුවට ගහගෙන බෞද්ධකම පෙන්වන අතරේ මුස්ලිම් කඩවල්වලින් ඇඳුම් අරගෙන තමන්ගේ මඟුල්ගෙවල් ටික ගන්නේ. අන්න ඒකයි ලංකාවේ සමහර දේශපාලකයෝ තමන්ගේ දේශපාලන උවමනා එපාකම්වලට බුද්ධාගම නැත්නම් සිංහලකම ඕනවෙලාවට විතරක් අරගෙන අනිත් වෙලාවට සියලු ජාතීන් එකතු කරගෙන තම තමන්ගේ දේශපාලන ඉලක්කවලට යන්නේ. මේ අය මේ දේවල් කරන්නේ තමන්ගේ පුද්ගලික උවමනා එපාකම්වලට කියලා අපිට නොතේරෙන්නේ අපිට උතුරේ මිනිසුන්ගේ භාෂාවත් දකුණේ මිනිසුන්ගේ භාෂාවත් එකට කතා කරන්න පුළුවන් වේදිකාවක් නොහැදුණු නිසා. උතුරේ මිනිස්සු සිංහල මිනිසුන්ගේ අවංක හෘද සාක්ෂිය ගැන නොදැන හිටියේ ඒ මිනිසුන්ට සිංහල නොතේරුණු නිසා. දකුණේ මිනිස්සු උතුරේ මිනිසුන්ගේ ඇත්තම කතාව නොදැන හිටියේ අපිට දෙමළ නොතේරුණු නිසා. ඒත් දෙමළ නොතේරෙන සිංහලයෝයි සිංහල නොතේරෙන දෙමළ අයයි එකිනෙකාට කා කොටා වැටිලා යුධ වදිනකොට ඒකෙන් වාසි ගත්තේ වෙන වෙන තැන්වලින් මතු වෙච්ච මේ භාෂා දෙකම හොඳට කතා කරන්න පුළුවන් දේශපාලකයෝ කියලා අදවත් තේරුම් ගත්තොත් අපිට අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්.
ශුක්රාගෙන් අහනවා මේ වැඩසටහනේදී අපූරු ප්‍රශ්නයක්. ඒ තමයි,
“ඔයා සිංහසීවලී වුණානම් ඔයා තාත්තව අත ඇරලා යනවද?” කියලා. ඈ උත්තර දෙනවා.
“මං සිංහසීවලී වුණානම් කවදාවත් තාත්තව අත ඇරලා යන්නේ නෑ”
කියලා.
මේ සාමාන්‍ය ජන සමාජය විසින් ඉතාම සෙනෙහසින් වැලඳගත්තු ප්‍රශ්නයක්. හැබැයි අපි දැක්කා ලංකාවේ ඉතාම ප්‍රකට ව්‍යාපාරිකයෙක් වෙන ඒ වගේම සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ නමක් තියෙන ජනක ඉනිමංකඩ තමන්ගේ ෆේස්බුක් එකේ මේ ගැන තියලා තිබිච්ච සටහන. ජනක ඉනිමංකඩ කියන්නේ “මේක ශුක්රාගේ විතරක් නෙමෙයි, තාත්තගේ ආදරය ඇතුව හැදෙන සාමාන්‍ය ජන සමාජයේ ඕනෑම තරුණියෙකුගේ ප්‍රකාශනය” කියලා. එහෙමනම් ශුක්රාගේ ගන්න ඕන තැනින් නෙමෙයි අපි අල්ලගෙන තියෙන්නේ. ශුක්රාගේ සිංහල භාවිතය නැත්නම් සාහිත්‍ය භාවිතය විතරක් වැලඳගන්නේ නැතුව ශුක්රා සිංහසීවලී වෙනුවෙන් පෙනී හිටපු එක ගැන විතරක් කතා නොකර අපි හරිනම් තේරුම් අරගන්න ඕනේ අපිට ජාතීන්ට බෙදලා වෙන්වෙලා ඉන්න බෑ. අපි හැමෝම එකයි කියන එක.
“අධ්‍යාපනයට බෙදීම් තියෙන්න බෑ. නාසා යන්න පුළුවන් අය ගමෙත් ඉන්නවා”
මේ කතාව කියන්නෙ ඈ. ඇගෙ ඒ වචනවල දිග පළලට වඩා මේ කතාව ලොකුයි.
ඒ වගේම මේ කතාව හැම බෙදීමකටම අදාළයි. ජාතිවලට වෙන වෙනම ඉස්කෝල හදාගෙන, ආගම්වලට වෙන වෙනම ඉස්කෝල හදාගෙන පංපෝරි ගහන එවුන්ට වඩා මේ පුංචි කෙල්ල කොච්චර ලොකුවට හිතනවද? මේ පණිවිඩේ මහ සමාජෙට දෙන්න පුළුවන් වෙන්නෙ කවද්ද? අන්න එදාට මේ රට කොච්චර ලස්සන වෙයිද? ශුක්රා මුනව්වර්ට තේරෙන මේක තනතුරු තාන්න මාන්න අරගෙන වැජඹෙන අයටත් තේරුම් යන දවසක් එයිද?
ජීවන පහන් තිළිණ










