විපක්ෂ නායක කාර්‍යාලය විසින් සංවිධානය කරන ලද ‘නත්තල් සමරු’ වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්‍යාලයේ දී පැවැත්විණි.
පියතුමන්ලා කිහිප නමක්ම එම අවස්‍ථාවට සහභාගී වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ. මෙහිදී එම උත්සවය ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ නත්තලේ අරුත වන්නේ සාමය බවත් සියලු දෙනාට සහෝදරත්වය දිගු කිරීම අත්‍යාවශ්‍ය බවත් ය.
“අපි මෙවර නත්තල සමරන්නේ මුලු ලෝකෙම මුව ආවරණ දමාගෙන ඉන්න වකවානුවක .මෑත ඉතිහාසයේ මුහුණ දුන්න බරපතලම ලෝක ව්‍යසනය අතරේ තමයි මේ නත්තල සමරන්නේ. ආදරයේ, සාමයේ අරුත ලෝකයට කියා දෙමින්, බෙදා හදා ගැනීම ගැන අපූරු පාඩම මිනිසුන්ට කියා දෙන්න ක්‍රිස්තුස් වහන්සේ ට පුලුවන් වුණා. මානව හිතවාදී බව තුළින් සියලු මනුෂ්‍යයන් කෙරෙහි ගෞරවයත්, ස්වභාව ධර්මය සහ සමස්ත පරිසරය කෙරේ දැඩි සංවේදීතාවයත් දක්වන්න ජේසු තුමන් උගන්වා තියෙනවා. ජේසුස් වහන්සේ සිය ජීවන සමය මුළුල්ලේම භාවිත කෙළේ ප්‍රේමයෙන් උතුරා යන වචන. උන්වහන්සේ කතා කෙළේ ධීවරයන්, වඩුවන්. ගොවියන් කම්කරුවන් වැනි සාමාන්‍ය මිනිසුන්ට. මහ මැදුරටත් දුගී පැලටත් නත්තලේ සතුට ලැබිය යුතුයි.
“නුඹලාට උගන්වා ඇත්තේ ඇසට ඇසක් යනුවෙන්. ඔබලාට උගන්වා ඇත්තේ ගලකින් පහර දුන්නොත් පර්වතයකින් ආපසු පහර දී යුක්තිය ඉෂ්ට කර ගන්නා ලෙස. එහෙත් මා නුඹලාට පවසන්නේ සතුරාට ප්‍රේම කරන්න’ කියලයි ජේසුස් වහන්සේ දේශනා කළේ.
නත්තලේ ප්‍රධාන තේමාව වන්නේ සාමය. ආගම දහම තියෙන්නේ ජනතාව අතර සාමය, සමාදානය, සහෝදරත්වය ගොඩනැංවීමට.ඒ වගේම මිනිසා ජීවත් කරවීමට. “යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙය ද වපුරන බව” බයිබලයේ සඳහන් වෙනවා.
ඒ අනූව, යහපත, මනුෂ්‍යත්වය පිරුණු රටක්, ලොවක් වෙනුවෙන් කැපවීමට ජේසු සමිදු මග පෙන්වා තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ජීවිතය තුළ ගැබ්ව ඇති උතුම් මානව ගුණය වටහා ගැනීමට කටයුතු කිරීම නත්තලේ දී ඉතා වැදගත්.ඒ වගේම සත්‍යවාදී බව,ඉවසීම,උපේක්ෂාව,අල්පේච්ඡ බව,මෛත්‍රීය, දයාව අපගේ ජිවිතයට එක්කර ගැනීමට කටයුතු කිරීමත් වැදගත්.
මෙවර නත්තල සමරන්නේ “අලුත් දුප්පත්කමින් ” ලෝකයම පීඩා විදින අතරෙයි.
අපේ රටෙත් ලක්ෂ ගානක් ජනතාව රැකියා අහිමි වෙලා,ආර්ථිකය කඩාගෙන වැටිලා,එදා වේල ජීවත් වීම පවා විශාල අර්බුදයක් වූ වෙලාවකයි මේ නත්තල සමරන්නේ. ඒ නිසා අනෙකාට උදව් කිරීම මේ අවස්‍ථාවේ ඉතාමත් වටිනවා. නත්තල කියන්නේම සාමයේ සංකේතයක්. රටේ අනාගතය සඳහා සෑමවිටම ජාතින් අතර සාමය සහ සංහිඳියාව ශක්තිමත් විය යුතුයි .මානව ගුණය වර්ධනය විය යුතුයි., නැවත රට තුළ යුද්ධයක් ඇතිවීමට ඉඩ නොතබා සියලු ජාතීන් සහ ආගමිකයින් අතර සංහිඳියාව ඇතිවිය යුතුයි.
නත්තලේ සැබෑ අරුත එයයි










