දේශීය කර්මාන්ත නගා සිටුවීම අරමුණු කරගෙන ආනයන සීමා කිරීමට ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් මත ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර මහතා විසින් ප්‍රකාශයට පත් කළ ගැසට් පත්‍රය උල්ලංඝනය වන ආකාරයේ තීන්දුවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් රැගෙන ඇති බව වාර්තා වේ.
කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමග රටින් පිටතට ඇදී යන ඩොලර් ප්‍රමාණය නවතා ගැනීම සදහා ආණ්ඩුව දැඩි ආනයන සීමාවන් පැනවූ අතර ඒ හේතුකොටගෙන භාණ්ඩ රැසක් පිටරටින් ගෙන්වීම අත්හිටුවා තිබිණ.
ඒ යටතේ දේශීය ටයිල් කර්මාන්තය නගා සිටුවීම සදහා ටයිල් ආනයනයද අත්හිටුවා තිබිණ.
නමුත් පසුගිය දිනෙක ටයිල් ආනයනය කරන ව්‍යාපාරික සමාගම් රැසක නියෝජිතයන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවී ටයිල් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර ඊට වීරවංශ මහතාද යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබේ.
ඒ අනුව අද (01) දින වීරවංශ මහතා ඒ සම්බන්ධව අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග විශේෂ සාකච්ජාවක් පැවැත්වීමටද නියමිතය. (ආනයන සීමා ලිහිල් කළ යුතු භාණ්ඩ ලයිස්තුවක් සකස් කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා බාර දී ඇත්තේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාටය.)
කෙසේවෙතත් ටයිල් ආනයනය කිරීමට අවසර ලබා ගැනීම මුල්කරගෙන වීරවංශ මහතා මේ වනවිට දැඩි සටනක් ආරම්භ කොට ඇති අතර පී.බී. ජයසුන්දර මහතා ඊට අවසර ලබා දෙයිද යන්න සම්බන්ධයෙන් දැඩි විවාදාත්මක තත්ත්වයක් මතුව තිබේ.











