• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතිපතිට එරෙහිව සුමන්තිරන්: ප්‍රභාකරන්ගේ මහවිරු සමරුව ගැන යාපනයේ ‌‌‌ඓතිහාසික තීන්දුව

December 1, 2020
in Exclusive
Reading Time: 8 mins read
A A
නීතිපතිට එරෙහිව සුමන්තිරන්: ප්‍රභාකරන්ගේ මහවිරු සමරුව ගැන යාපනයේ ‌‌‌ඓතිහාසික තීන්දුව
Share on WhatsAppShare on Facebook

අහස්කුස වසාගෙන ඉහළට ඇදී ගොස් වියනක් සේ විහිදෙන යාපා පටුනේ තල්රුප්පාව සතර අත වසාගත් ගිනියම තුනී කරයි.  උතුරුකරය දන්නා මතක ඇති කාලයක සිට ගිනිගත් කතරකි.  බොහෝ කාලයක් පුරා යාපා පටුන දෙපැත්තකින්ම ගිනි ගත්තේය.  යාපනය එදා මෙදාතුර හිරු රැසින් දැවුණු බිමක් වුවත් එය කිසිවිටකවත් පැනයක් වුයේ නැත.  එහෙත් යාපා පටුන අනෙක් පැත්තකින් මහා ගිනි ජාලාවක් බවට පත්කළේ අන්තවාදීන්ය.  වසර 30ක සාපකාරී යුද්ධයක මාවත හැදුවේ මේ අන්තවාදීන් හෙවත් ත්‍රස්තවාදීන්ය. ‘තමිල් ඊළමක්’ නොහොත් ‘දමිල දේශයක්’ ඉල්ලා සටන් වැදුණු ලේ පිපාසිත යක්ෂයින් පිරිසක් නිසා එදා යාපා පටුන පමණක් නොව මුලුමහත් දේශයම වළපල්ලට ඇදගෙන වැටුණේය.  කෙසේ හෝ මෙයට වසර 11කට පෙර එම මහා භීතිකාව, යුද්ධයට තිතක් තබමින් නැතිව ගියේය. එහෙත් එම අඳුරු සෙවණැලි තවද තුරන්ව ගොස් නැත.  කලින් කලට එම අඳුරු ඡායාවන් මතුවෙමින් ඇත.  මේ කතාවද එවැන්නකි.

මෙයට සතියකට පෙරදී යාපනයේ තල් රුප්පාව මහ චණ්ඩ මාරුතයකින් ඇඹරී ගියේය. ‘නිවාර්’ නම් මහා සුළි සුළඟක් උතුරුකරය හරහා හඹා යන්නට විය.  කොලොම්පුරයේ සිට යාපා පටුනට එන්නට ආ එක්තරා සුවිශේෂී මිනිසුන් කිහිප දෙනකු රැගත් ගුවන් යානාය මහා මාරුතයකට මැදිවූයේ පලාලි ගුවන් තොටේදීය. එහෙත් කෙසේ හෝ චණ්ඩමාරුතය පරදවමින් කොළොම්පුරයෙන් ආ මිනිසුන් යාපා පටුනෙන් බැස ගත්තේය.  ඔවුන් කඩිමුඩියේ එහි ආවේ කුමන කර්තව්‍යයකටද? එය සුවිශේෂී වගතුගකි. උතුරුකරය නොබෝ දිනකින් තවත් ගිනි ජාලාවකින් බේරා ගන්නට ඔවුන් යාපා පටුන පැමිණියේය.

‘මාවීරාර් නාල්’ තමයි මේ කතාන්දරයේ සැබෑම දමිළ නාමය.  ඒ කියන්නේ සිංහල බසින් නම් ‘මහ විරුවන්ගේ දිනය’, ඉංග්‍රීසියෙන් නම් GREAT HEROES DAY (ග්‍රේට් හීරෝස් ඬේ) යන්නය. අප මේ කතාන්දරයේ තොරතුරු කලින් කලට අසා තිබෙනවා. දමිළ ඊළාම් කොටි සංවිධානයේ මියගිය සාමාජිකයන් සිහි කිරීම උදෙසා තමයි මෙම උත්සවය වාර්ෂිකව පවත්වන්නේ. සෑම නොවැම්බර් 27 වැනිදාම එය සිදු කරනවා. එහෙත් මෙය එක දිගට ශ්‍රී ලංකාව තුළ සමරන්නට හැකිවුණු උත්සවයක් නෙවෙයි. එයට හේතුව වූයේ කලින් කලට රටේ තිබුණු පාලන තන්ත්‍රයේ වෙනස්වීම නිසායි.  එනම් මෙම දමිළ ඊළාම් උත්සවය යුද්ධය දිනා ගැනීමට පෙර කොටි සංවිධානය උතුරේ බලයේ සිටින විටදී බොහෝ උත්සවාකාරයෙන් සමරන ලැබුවත් රජය යුද්ධය දිනා ගැනීමෙන් පසුව 2009 සිට වසර 7ක් පුරා එය සැමරීමට සම්පූර්ණයෙන්ම තහංචි වැටුණා. එයට එකල රාජපක්ෂ රජය ඉඩ දුන්නේ නැති නමුත් 2015 වසරේදී යහපාලන රජය බලයට පැමිණි පසුව මහවිරු උත්සවය ජයටම පැවැත්වීමට එම රජය ඉඩ දුන්නේය. දැන් අප පැමිණ සිටින්නේ නැවැත රාජක්ෂ ආණ්ඩු යුගයකටය.  වසර 5ක් පුරා ජයටම පැවැත්වූ මහවිරු උත්සමයට මෙවර සිදුවන්නේ කුමක්ද?

මෙම ‘මවීරාර් නාල්’ යනු සැබෑ ලෙසම දමිළ ඊළාම් යුද්ධයේදී මියගිය ත්‍රස්තවාදීන් සැමරීම සඳහා පවත්වනු ලබන උත්සවයක් වන අතර,  එහිදී සමහර විට ත්‍රස්තයන්ට අමතරව යුද්ධයේදී මියගිය අනෙකුත් සිවිල් ජනතාවද සැමරීම සිදුකරයි. එහෙත් ප්‍රධාන අර්ථය නම් ‘මහිවිරුවන්’ නම් ඔවුන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ය.

එල්.ටී.ටී.ඊ.ය යනු කුරිරු, ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානයක් බැව් අප අවිවාදයෙන් යුතුව පිළිගත යුතුය. එයට සුදුහුණු ගෑම යනු විකට ජවනිකාවකි.  කෙසේ හෝ මෙවන් වටපිටාවක් යටතේ දැනට අප රට තුළ ඉතිරිව සිටින එල්.ටී.ටී.ඊ. හිතකාමී පාර්ශ්වයන් මෙවරද නිකම් සිටියේ නැත. එනම් ඔවුන් මෙම 2020 නොවැම්බර් 27 වැනිදා ‘මහවිරු දිනය’ මහත් ඉහළින් සැමරීම සඳහා රයට දින ගණනාවකට පෙර සිටම ලකලැහැස්ති වෙමින් සිටියේය. මෙයට පෙර වසර ගණනාවක සිට මෙම උත්සවය මහත් ඉහළින් සමරනු ලබන මුලතිව්හි ‘මහාවීර්’ කනත්ත ප්‍රධාන කරගෙන යාපනයේ සහ කිලිනොච්චියේද පිහිටි කනත්ත කිහිපයක්ද එල්.ටී.ටී.ඊ. හිතකාමීන් විසින් සුද්දපවිත්‍ර කිරීමට කටයුතු කළේය. එසේම ඒවායෙහි තිබෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ සොහොන් කොත් ආදියද සුද්ද පවිත්‍ර කරමින් අලුත්වැඩියා කරමින් අදාළ ලක ලැහැස්තිවීම් සිදු කළේය.

මෙම කටයුතු සඳහා එල්.ටී.ටී.ඊ. හිතවාදී පාර්ශ්ව සමඟ මූලික වී කටයුතු කරන්නට ගත්තේ උතුරේ සිටින දමිළ දේශපාලකයන් පිරිසකි. මෙම දේශපාලකයන්ද අතිශය උග්‍ර එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ය. පසුගිය යහපාලන රජය සමයේදීද මෙම නීති විරෝධී උත්සව ඉතාමත්ම සාර්ථකව සංවිධානය කරනු ලැබුවේද මෙම දමිළ දේශපාලකයන් විසිනි. එහෙත් මෙවර ඔවුන්ට වත්මන් නව රජය යටතේ එය කළ හැකිද? තල්රුප්පාව ගිනි ගන්නේ එතැන සිටය.

‘මාවීරාරා නාල්’ නාටකයේ හොඳ, හොඳ ජවනිකා දිග හැරෙන්නේ මෙතැන සිටය. එනම් එල්.ටී.ටී.ඊ. හිතකාමී පාර්ශ්ව විසින් මෙම නොවැම්බර් 26 සහ 27 යන දිනවල මෙම මහවිරු උත්සව පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බැව් දැනගත් පොලිසිය වහා ප්‍රකාශයක් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ උතුරු ප්‍රදේශයේ මෙවැනි කිසිදු උත්සවයක් පැවැත්වීමට අවස්ථාවක් නොමැති බවත්, එසේ කිසියම් උත්සවයක් පවත්වන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත්ය. නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් කියා සිටියේ එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධානයක් බවත්, එම සංවිධානයේ සාමාජිකයන් සැමරීමට කිසිදු පුද්ගලයකුට හෝ කණ්ඩායමකට අවස්ථාව ලබා නොදෙන බවත්ය.

දමිළ පාර්ශ්ව විසින් පොදු කනත්ත පරිශ්‍රයන් තුළ උත්සව පැවැත්වීමට කටයුතු යොදමින් සිටින අතරම යුද්ධයෙන් මියගිය දමිළ ජනතාව සිහි කිරීම සඳහා නොවැම්බර් 27 වැනිදා උතුරු පළාතේ සෑම නිවසකම තෙල් පහනක් දැල්විය යුතු යැයි ඉල්ලා දමිළ පක්ෂ නියෝජිතයන් පිරිසක්ද ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. එහිදී රාජ්‍ය ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටියේ තමන්ගේ පුද්ගලික නිවාස පරිශ්‍රයක් තුළදී එවැන්නක් සිදුකිරීමට බාධාවක් නොමැති බවත්, එහෙත් පොදු මහජන උත්සව සිදු නොකළ හැකි බවත්ය.

කෙසේ හෝ ආරක්ෂක අංශවල මෙම තහනමට එරෙහිව දමිළ පාර්ශ්ව අධිකරණයේ පිහිට පතන්නට තීරණය කළේය. ඔවුන් ඒ සඳහා වහාම යාපනයේ උතුරු පළාත් මහාධිකරණය වෙත රිට් පෙත්සම් දෙකක් ඉදිරිපත් කළේය. ඔවුන් එයින් කියා සිටියේ නොවැම්බර් 25 සිට 27 දක්වා කාලය තුළ සිදුකිරීමට සැලැසුම් කර ඇති අනුස්මරණ කටයුතුවල නිරතවීම් සඳහා තහනම් නොකිරීමට පහත නම් සඳහන් වගඋත්තරකරුවන් හට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසය. එම පෙත්සම්වලට අනුව උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පළමුවන වගඋත්තරකරු ලෙසත්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දෙවැනි වගඋත්තරකරු ලෙසත් නම්කර තිබිණි. මෙම රිට් පෙත්සම් 3030/20, 3031/20, 3034/20 යන අංක යටතේ යාපනයේ උතුරු පළාත් මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. මේ අනුව මෙම නඩුව විනිශ්චය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සැකසිණි. මෙහිදී වගඋත්තරකරුවන්ගේ පාර්ශ්වය නොහොත් රාජ්‍ය පාර්ශ්වය වෙනුවෙන් අතිසුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට කටයුතු සංවිධානය වන්නේ ලහිලහියේය. එම විශේෂිත ක්‍රියාවලිය සිදුවන්නේ ජාතික මෙහෙවරක් සිදුකිරීමේ අභිප්‍රාය ඇතිවය.

මේ අනුව මෙම අර්බුදය සඳහා කෙලින්ම මැදිහත් වන්නේ අගනුවර රාජ්‍ය පාර්ශ්වන්ය. ඒ අනුව මෙරට ප්‍රධානතම නීති මෙහෙයුම් අධිකාරිත්වය දරනා රජයේ නීතිපති දෙපාර්තමේන්තුව මේ සඳහා මැදිහත් වෙයි. වත්මන් නීතිපතිවරයා වන දප්පුල ද ලිවේරා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුතු ඇරඹෙන්නේ ඉන් පසුවය. මේ සඳහා සුවිශේෂී දක්ෂතා ඇති විද්වත් නීති මඩුල්ලක් සහභාගි කරවීමට නීතිපතිවරයා තීරණය කරයි. මෙරට සිටින කීර්තිමත්, දක්ෂ නීතිවේදියකු වන දැනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ධුරය දරන සුමති ධර්මවර්ධන මහතාට මෙම බාරදූර කාර්යය පැවරෙන්නේ ඉන් පසුවය. ඔහුගේ ප්‍රධානත්වය ඇතිව තවත් නීතිවේදීන් තිදෙනකුගේ මණ්ඩලයක් මෙම කර්තව්‍ය සඳහා සහභාගි වූහ. ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රිය ජයසුන්දර, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ෆාතිමා සහීඩා මොහොමඞ් සහ රජයේ අධි නීතිඥ තර්සිකා තිරුකුමාරනාදන් යන මහත්ම මහත්මීන්ද එම මණ්ඩලයට ඇතුළත් විය. ඉන් පසුව අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතාගේ නායකත්වය යටතේ මෙම විද්වත් නීති මණ්ඩලය යාපනයේ මහාධිකරණයේ නඩුව සඳහා රජය වෙනුවෙන් පෙනී සිටියේය.

යාපනය නගර මධ්‍යයේ පිහිටි උතුරු පළාත්බද මහාධිකරණයේ පැවැති යටකී නඩුව සඳහා මෙම රාජ්‍ය නීති මණ්ඩලය කිහිප වතාවක්ම කොළඹ සිට එහි ගොස් පෙනී සිටියහ. පසුගිය සතියේදී දින දෙකක් පුරා උතුරුකරයට පැවැති ප්‍රචණ්ඩ ‘නිවාර්’ නමැති සුලි කුණාටුව අවස්ථාවේදීද එම පිරිස යාපනයට පැමිණියේය. එක් වතාවක් ගුවන් යානය පලාලි ගුවන් තොටේ ගොඩබෑමට නොහැකි දැඩි අපහසු තත්ත්වයකටද පත්විය. එදින එතරම් අනතුරුදායක දිනයක් විය. එහෙත් කෙසේ හෝ මෙම රාජ්‍ය නීතිවේදීන් තමන්ගේ දේශය වෙනුවෙන් එම මෙහෙවර උසස් අයුරින් ඉටුකළේය.  අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ප්‍රධාන මෙම නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නීතිවේදීන් පළමුවරට නොවැම්බර් 20 වැනිදා යාපනයේ මහාධිකරණයේදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.

එහිදී මෙම නඩුව සඳහා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේ දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ප්‍රධාන නීතිඥ මණ්ඩලයකි. ඒ හෙයින් රජයේ නීති පාර්ශ්වයට මෙය යම් අභියෝගයක්ද විය. එහෙත් ඔවුන් ඒ අභියෝගය ඉහළින්ම බාරගෙන තිබුණේය.

2020 නොවැම්බර් 20 වැනිදා යාපනය මහාධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනෙන්නේ යාපනය මාහාධිකරණ විනිසුරු ඒ. ප්‍රේමසංකර් මහතා ඉදිරියේය. උතුරු පළාතේ ඉතාමත්ම ප්‍රකට නඩුහබ රැසක් විනිශ්චය කළ ඒ. ප්‍රේමසංකර් මහතා බොහෝ ප්‍රකටත්වයක් දිනා සිටින මහාධිකරණ විනිසුරුවරයකු වෙයි. යාපනයේදී විද්‍යාබාලන් නමැති තරුණ සුරූපී සිසුවිය දූෂණය කර මරා දැමීමේ නඩුවේ චූදිතයන් 07 දෙනකු වෙනුවෙන් 2017 වසරේදී විභාග කළ නඩුවේ අවසාන තීන්දුවේදී මරණ දඬුවම ලබාදුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ එක් විනිසුරුවරයකු වූයේ මෙම ඒ. ප්‍රේමසංකර් මහතාය. ඒ අනුව ඔහු උතුරේ ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය, සාධාරණ විනිසුරුවරයකු බවට පත්විය. කෙසේ හෝ දැන් මෙම මහවිරු දිනයේ හබයද දිගහැරෙන්නේ ඔහු ඉදිරියේය. මෙකල රට තුළ පවතින මාරක කොවිඞ් 19 වසංගතය හේතුවෙන් අධිකරණ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සිදුකෙරුණු අතර අධිකරණ ශාලා තුළට සහභාගි කරවා ගන්නා පිරිස්ද අවම කෙරෙයි. එල්.ටී.ටී.ඊ. ඊළාම් කොටි සංවිධානයේ මියගිය සාමාජිකයන්ගේ දෙමවුපියන් සහ ඥාතීන් පිරිසක් විසින් මෙම රිට් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා මහාධිකරණයට විරෝධතා ඉදිරිපත් කර සිටියේය. නොවැම්බර් 26 සහ 27 යන දින දෙකක් තුළදී යාපනය අර්ධද්වීපයේ ස්ථාන 16කදී ‘මහවිරු දින’ අනුස්මරණ උත්සව රැසක් පැවැත්වීමට පෙත්සම්කරුවන් රිට් පෙත්සම් මගින් ඉල්ලා ඇතැයි සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට ප්‍රකාශ කර සිටියේය. 1983 වසරේ සිට මේතාක් දක්වා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 38ක් තුළ මෙම එල්.ටී.ටී.ඊ. කොටි සාමාජිකයන් සැමරීමේ උත්සව තහනම් කර ඇති බැව් ඔහු ගරු මහාධිකරණය වෙත දන්වා සිටියේය. මෙවැනි උත්සව රට පුරා ඕනෑම තැනක පැවැත්වීම සඳහා නිල අනුමැතිය ලබාදෙන්නේ නම් එම ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ඍජුවම උල්ලංඝනය කිරීමක් වන අතර, එවැනි නීති විරෝධී ක්‍රියාවන්ට පක්ෂ නොවන ලෙසට අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය. රටේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය පිළිබඳ සියලු වගකීම් මධ්‍යම රජය සතු බැව්ද ඔහු අවධාරණය කර සිටියේය.

එසේම සුමති ධර්මවර්ධන මහතා ඉතාමත් සුවිශේෂී පැහැදිලි කිරීමක් ලෙස ප්‍රකාශ කර සිටියේ යටකී පෙත්සම්කරුවන් ඉල්ලා සිටින පරිදි රිටි නියෝගයක් (ආඥාවක්) නිකුත් කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බැව්ය. පෙත්සම්කරුවන්ගේ අසාධාරණ ඉල්ලීම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ PREVENTION OF TERRORISM ACT AND INTERNATIONAL CONVENTION ON CIVIL AND POLITICAL RIGHTS ACT අඩංගු විධිවිධාන සහ නිර්දේශ පැහැදිලිවම උල්ලංඝනය කරන හෙයින් යටකී පෙත්සම් අවලංගු කිරීමට මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කළ යුතු යැයිද අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙලෙස රාජ්‍ය නීති පාර්ශ්වය විසින් කරුණු ඉදිරිපත් කරන විටදී පෙත්සම්කරුවන්ගේ පාර්ශ්වය නියෝජනය කරන නීති මඩුල්ල විසින්ද ඔවුන්ගේ නිර්දේශ සහ විරෝධතා ඉදිරිපත් කරන ලදී. ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා එහි ප්‍රමුඛත්වය ගත්තේය.

පෙත්සම්කරුවන්ගේ පාර්ශ්වය විසින් මියගිය තමන්ගේ ඥාතීන්ගේ අනුස්මරණයන් සැමරීම යනු රටේ ජාතික ආරක්ෂාවට කිසිසේත්ම කැළලක් නොවන ක්‍රියාවක් බැව් මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කරන නීති මණ්ඩලය ප්‍රකාශ කර සිටියේය. එසේම එම ක්‍රියාවලිය ජාතික ආරක්ෂාවට අදාළ වන කරුණක් නොවන බැව්ද ප්‍රකාශ කර ඇත. එහිදී වගඋත්තරකාර පාර්ශ්වයේ නීති මණ්ඩලය විසින් ප්‍රකාශ කර ඇත්තේ එසේ තමන්ගේ මියගිය ඥාතීන් පෞද්ගලික වශයෙන් සැමරීම කිසිම ආකාරයකින් තහනම් නොකළ බවටත්, එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානය අනුගමනය කළ ආකාරයට මහා කණ්ඩායමක් වශයෙන් මහවිරු දින සැමරීම පිළිගත නොහැකි බවටත් යන සාධකය විය. එසේම එවැනි මහා පරිමාණ ක්‍රියාවලියක් සිදුකිරීම රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ වන ක්‍රියාවලියක් බැව් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට අවධාරණය කර ඇත. ඔහු එහිදී බොහෝ ස්ථාවර ලෙස පැහැදිලි කර ඇත්තේ පෙත්සම්කරුවන්ට තමන්ගේ මියගිය ඥාතීන් පෞද්ගලිකව සිහිපත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බැව්ය.

පැය ගණනාවක් පුරා නඩුහබය මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේමසංකර් මහතා ඉදිරියේදී විභාගයට ගැනිණ. ඉල්ලීම් පිළිබඳ විරෝධතා ඉදිරිපත් කිරීම අවසන් විය. දැන් වේලාව සවස 2.00ට ආසන්නය. විනිසුරුවරයා විසින් දැන් අවසාන නියෝගය ලබාදීමට කාලය එළඹ ඇත. අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ගරු මහාධිකරණයට පෙන්වා දුන් කරුණු ගැන අධිකරණය දැඩි අවධානයක් යොමුකර ඇති බැව් පෙනෙන්නට විය. ඒ. ප්‍රේමසංකර් මහාධිකරණ විනිසුරුවරයා තම නියෝගය ප්‍රකාශයට පත්කළේය.

“අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් පෙන්වා දුන් ආකාරයට මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු රටේ ජාතික ආරක්ෂාව සමග සම්බන්ධ වන බැව් මෙම ගරු අධිකරණය පිළිගනී. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වෙන්කරන ලද තීරුවේ එය සඳහන් කර තිබේ. සොලිසිටර් ජෙනරාල් විසින් පැහැදිලිව සඳහන් කළ පරිදි එකී පෙත්සම්කරුවන්ට තමන්ගේ මියගිය ඥාතීන් පෞද්ගලික සිහිපත් කිරීමේ කිසිදු බාධාවක් නැත. එහෙත් බොහෝ අය එකට එකතු වී සිහිපත් කිරීමට කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බාධාවක් වේ යන වගඋත්තරකරුවන්ගේ පාර්ශ්වයේ වාදය මෙම අධිකරණය විසින් පිළිගනු ලැබේ. එසේම පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් කටයුතු කර සුදුසු නියෝගයක් ලබාදීමට මෙම පළාත් මහාධිකරණයට බලයක් නොමැති බැව් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාවයද අධිකරණය විසින් පිළිගෙන පෙත්සම්කරුවන්ගේ පෙත්සම් නිෂ්ප්‍රභා කරන ලදී.”

“පෙත්සම්කරු වගඋත්තරකරු නඩුපොත් අස්සන් කළ යුතුය”

එලෙස අධිකරණයේ බසින්ම මම ඔබට එම නියෝගය ලියා තැබුවෙමි. කෙසේ හෝ මෙම නඩු තීන්දුව නිසා මහවිරු උත්සවය සැමරීමට කොටි හිතවාදීන්ට හැකි නොවීය. සුලු වශයෙන් කෙරුණු සැමරුම් හැරෙන්නට පුළුල් ලෙස සිදුකෙරුණු සැමරුම් කිසිවක් නොවීය. එසේම මෙම නඩු තීන්දුව මේ වන විට සුවිශේෂී නඩු තීන්දුවක් බවට වාර්තාගත වී ඇත. 2009 වසරේ වාර්ගික යුද්ධය අවසානයට පත්විමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ පොලිස් බලතල පිළිබඳව රිට් ආඥාවක් ඉල්ලා උතුරු පළාත් මහාධිකරණයේ ගොනුකරන ලද පළමුවැනි නඩුව මෙය වෙයි. එසේම මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් රටේ ඒකීයත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති අතර, 30 අවුරුදු යුද්ධය නිමා කිරීමෙන් පසු උතුරු පළාත්බද මහාධිකරණය කිසිදු පක්ෂග්‍රාහී භාවයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අනෙකුත් නීතිවල ප්‍රතිපාදන අනුව ක්‍රියා කරමින් නියෝගය නිකුත් කිරීම සුවිශේෂී වාර්තාගත සිදුවීමකි.

(මෙම ලිපිය ඉරිදා (06) මව්රට පුවත්පතේද පළවීමට නියමිතය.)

ප්‍රියන්ත හෙට්ටිගේ                 

SendShareShare
Previous Post

දේශීය-විදේශීය ටයිල් සටන උත්සන්න වෙයි: පී.බී.ට එරෙහි සටනින් විමල් දිනයිද?

Next Post

අජිත් රෝහණ ඉල්ලා අස්වෙයි

MORE NEWS

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

Load More
කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

ජනාධිපති මන්දිරවල ජනාධිපතිවරයා නොමැතිව සෙසු පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට තහවුරු වී ඇති බවත්, අරගල කාලයේ මෙන් වටිනා භාණ්ඩ අතුරුදන්...

Read more
අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.