විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුගමනය කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද මේ දිනවල විහාරස්ථාන වෙත ගොස් ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාද සහ අනුශාසනා ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.
ඒ අනුව මහමැතිවරණ පරාජයෙන් අනතුරුව පළමු වතාවට එළියට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා නාරාහේන්පිට අභයාරාමයට ගොස් විහාරාධිකාරී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හමුවීමට පියවර ගෙන තිබිණ.
පසුගිය බදාදා සවස හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද සමග මෙම ගමන යාමට වික්‍රමසිංහ මහතා කටයුතු කොට තිබිණ.
මෙහිදී වික්‍රමසිංහ මහතා හා ආනන්ද හිමියන් අතර දේශපාලන කරුණු මෙන්ම පෞද්ගලික කරුණුද සාකච්ජා වී ඇති අතර වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ දේශපාලනය සදහා තමන්ගේ දැන් එතරම් කැමැත්තක් නොමැති බවකි.
එමෙන්ම ඉදිරියේදී රට වටා ඇති විහාරස්ථාන වෙත ගොස් නායක ස්වාමීන් වහන්සේලා සමග සාකච්ජා වටයක් ආරම්භ කිරීමට තමන් සැලසුම් කර ඇති බවද මෙහිදී වික්‍රමසිංහ මහතා ආනන්ද හිමියන් වෙත දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.










