දෙදින නිල සංචාරයක් අරඹමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දිවයිනට පැමිණ තිබේ.
ආසියානු රටවල් හතරක සංචාරයක් අරඹමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ එරට ආරක්ෂක ලේකම් මාර්ක් ටී එස්ප(ර්) මහතා ඊයේ (26) ඉන්දියාවට පැමිණ තිබුණි.
එහිදී අමෙරිකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක ද්විපාර්ශවික ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබිණ.
නවදිල්ලි නුවර පැවැති තීරණාත්මක සාකච්ජා වටයකින් අනතුරුව අමෙරිකාව හා ඉන්දියාව එම ආරක්ෂක ගිවිසුම සඳහා අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රටවල් දෙක අතර අත්සන් තැබුණු ආරක්ෂක ගිවිසුමට අනුව දෙරට අතර භූ තලයේ, සාගරයේ සහ ගුවනේ ක‍්‍රමෝපාය දත්ත හුවමාරු කර ගැනීමට අවස්ථාව උදාවන බව සඳහන් වේ.
එසේම අදාළ ගිවිසුම මගින් අමෙරිකාව සතු අති නවීන ගුවන් යානා ඉන්දියාවට ලබාදීමට ඉඩ සැලසෙන බව විදෙස් වාර්තාවන්හි සඳහන්ය.
කෙසේවෙතත්, ඉන්දියාව එලෙස අමෙරිකාව සමග තීරණාත්මක ආරක්ෂක ගිවිසුමකට එළඹීම චීනයට එරෙහිවීමක් බව විචාරකයින් පෙන්වා දී තිබේ.










