විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පස්වරුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන්වහන්සේ බැහැ දුටුවේය.
ගල්කිස්ස , ධර්මපාල මාවත පිහිටි ධර්මපාලාරාමය වෙත පැමිණි විපක්ෂ නායකතුමා ගරුතර මහා නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් විචාරීමටද අමතක නොකළේය .
ඉන් අනතුරුව විහාරස්ථාන පරිශ්‍රය සිටියේ මාධ්‍යවේදීන් හමු වූ විපක්ෂ නායකතුමා ඔවුන් විසින් විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය .
මේ මොහොතේ රටේ උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වය ජනතාවගේ ප්‍රමුඛතම අවශ්‍යතා කිසිවක් පිළිබඳව තැකීමක් නොකරන ආණ්ඩුව ඒ වෙනුවට විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එල්ලී කටයුතු කරන බවට ඒ මහතා ආණ්ඩුවට සිය අප්‍රසාදය පළ කළේය.
මීට දෙදිනකට පෙර විපක්ෂ නායකයා ලෙස නිවේදනයක් නිකුත් කරමින් කොරෝනා උවදුර නිසා පීඩා විදින ජනතාවට වහාම අත්‍යාවශ්‍ය අවශ්‍යතා ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් පන්දාහක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කිරීමෙන් ඔප්පු වන්නේ විපක්ෂ නායකයා කියන දේ ආණ්ඩුව කරන බව නොවේද කියා මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට විපක්ෂ නායකයා මෙසේ පිළිතුරු දුන්නේය.
“ආසාදිතයින් අරගෙන ගිය සෞඛ්‍ය අංශ කාර්‍යා මණ්ඩල සාමාජිකයින් එකට නිරෝධායනය කරන්න හදනකොට අපි පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට කීවා ඒ අයව වෙනම නිරෝධායනය කරන්න කියලා. එදාම හවස ආණ්ඩුවට ඒක කරන්න වුණා. ආසාදිතයින් සහ ආසාදිතයින් නොවෙන අය එකම වාහනවල ප්‍රවාහනය කරනකොට අපි පාර්ලිමේන්තුවේ දී බාදාවන් මැද කීවා ඒක කරන්න එපා කියලා. එදා හවසම ආණ්ඩුවට ඒ ඉල්ලීම ඉටු කරන්න වුනා.කොරෝනා ව්‍යසනය නිසා අන්ත අසරණ වෙච්ච ජනතාවට අඩු තරමේ අත්‍යාවශ්‍ය ආහාර ටික ගන්නවත් රුපියල් පන්දාහ නොදෙන එක ගැන පහුගිය 15 වෙනිදා විශේෂ නිවේදනයක් කරලා අපි හෙලිදරව් කළා. අද කොටසකට කිසියම් සහනයක් දෙන බවට කෙටි පණිවිඩයක් ආවා”.
කෙසේ වෙතත් මේ මහා ව්‍යසනය අවස්‍ථාවේ පවා ආණ්ඩුව විසිවෙනි සංශෝධන වශියට හසුවී සිටින බවත් ජනතා ප්‍රශ්න අමතක කොට ඇති බවත් ඒ මහතා කීය.ජනතාව තමන්ට ලබාදුන් මන්ත්‍රීවරු ප්‍රමාණය සමග එක්ව ආණ්ඩුවේ විස්ස පරාජය කරන්න කටයුතු කරන බව කී ඒ මහතා ප්‍රගතිශීලි ,ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මහජන නියෝජිතයින් ඒ සමග එක්වනු ඇති බවද කීය.
පාස්කු ප්‍රහාරයට හේතුව දහනවවන සංශෝධනය තිබූ අඩුපාඩු බවට හිටපු ජනාධිපති හිටපු අගමැතිවරයා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා හැටියට ස්ථාවරය කුමක්දැයි විමසූ පැනයකට පිළිතුරු දුන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ දහනව වන සංශෝධනය සහ පාස්කු ප්‍රහාරය අතර කිසිදු සම්බන්ධතාවයක් නැති බව කීය.
ප්‍රශස්ත ප්‍රබුද්ධ පාලකයෙකුට එවැනි ප්‍රහාර වළක්වා ගැනීමේ හැකියාව තිබියයුතු බවත් රටක පාලකයෙක් වූවිට කළ යුත්තේ පෞද්ගලික රුචි අරුචිකම් මැද කටයුතු කිරීම නොවන බවත් ජනතාව වෙනුවෙන් සිය අපේක්ෂාවන් ඉටු කිරීම බව කීය. දහ නව වන ව්‍යවස්ථා සංශෝධනයෙහි තිබූ ප්‍රජාතන්ත්‍රවාදී යහපත් රාජ්‍ය පාලන මූලධර්ම උපයෝගී කරගෙන 19න් ඔබ්බට වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සිය අරමුණ බවද ඒ මහතා පැවසීය .











