බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටා තිබෙන පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවකයෙකුගේ සමිපතයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කර සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් පාර්ලිමේන්තුවේනැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව සදහන් කර සිටියේය.
එහිදී මන්ත්‍රීවරයා විමසා සිටියේ සිය අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයට ගිය අවස්ථාවේදී ඊට ඇතුල්වීමට ඉඩ නොදුන් බවත්, වත්මන් කොවිඩ් තත්ත්වය නිසා එවැනි තීරණයක් ගනු ලැබුවද යන්න ගැන පැහැදිලි කිරීමක් කරන ලෙසත්ය.
එහිදී ඊට පිළිතුරු දෙමින් කථානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවය කරනු ලබන නිලධාරියෙකුගේ පවුලේ ඥාතියෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීම නිසා එලෙස පිටස්තර පුද්ගලයින්ට ඇතුල්වීමට ඉඩ ලබා නොදීමට තීරණය කළ බවකි.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ අතිරේක ලේකම් එච්.ඩි.එස්.මල්කාන්ති කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ ” අප අංශයේ සේවකයෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට මේ දක්වා තහවුරු වී නැහැ. නමුත් එම සේවකයාගේ පවුලේ හිතවත් පවුලක අයෙකු බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් බවට දැනුම් දී තිබෙනවා. මේ වන විට එම සේවකයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී නැහැ. පවතින වත්මන් තත්ත්වය මත අප අංශයට භාහිර පුද්ගලයින්ගේ පැමිණීම සිමා කොට පවතින අතර එහි සේවය කරනු ලබන නිලධාරීන් සිය දෛනික කටයුතු සිදුකරමින් පවතිනවා” යනුවෙනි.










