ලාෆ්ස් ගෑස් සමාගම රට පුරා ගෑස් සිලින්ඩර බෙදාහැරීම වේගවත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් 1345 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. මෙය ශ්‍රී ලංකාවේ LP ගෑස් අලෙවිය ඩිජිටල්කරණය කිරීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගම ගනිමින් සිටින පුරෝගාමී උත්සාහයේ එක් වැදගත් ඉදිරි පියවරකි.
මනා පුහුණුවක් ලත් ලාෆ්ස් ගෑස් පාරිභෝගික සේවා කණ්ඩායම විසින් නව ක්ෂණික ඇමතුම් අංකයට අදාළ මෙහෙයුම් කටයුතු කරනු ලබන අතර පරිගණක වැඩසටහන් හෝ කෘත්‍රිම බුද්ධිය මගින් ලැබෙන සේවාවකට වඩා ඉක්මන් හා කාර්යක්ෂම ලෙස පාරිභෝගිකයන්ට ක්ෂණික සේවා සැලසීමට සූදානමින් සිටී.
නව පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ චමින්ද එදිරිවික්‍රම මහතා මෙසේ පැවසීය. “දේශීය බලශක්ති කර්මාන්තයේ පුරෝගාමියා වන ලාෆ්ස් සමාගම මෙසේ නවීන සන්නිවේදන ක්‍රමවේද භාවිතාකරමින් වෙළෙඳපොළ වෙනස් කිරීමට මූලිකත්වය ගන්නේ ඉමහත් සතුටින්. දැන් පාරිභෝගිකයන්ට තමන් නිවෙස්වල සිටම ගෑස් ඇණවුම්කර, ඊට අදාළ කටයුතු විනාඩි ගණනාවක් ඇතුළත සම්පූර්ණ කරගැනීමට පුළුවන්. එමෙන්ම පාරිභෝගිකයාට පහසුවෙන් අප හා සම්බන්ධවී LP ගෑස් හා සම්බන්ධ ඕනෑම තොරතුරක් දැනගැනීමට, අප වෙත පැමිණිල්ලක් හෝ LP ගෑස් සම්බන්ධ හදිසි තත්ත්වයන් හෝ පෙර දැනුවත්වීම් සඳහා දැන් අප 1345 අංකය විවෘත කර තිබෙනවා.”











