දින නියමයක් නොමැතිව වත්මන් ආණ්ඩුව විසින් කල්දමා ඇති පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ මුස්ලිම් පක්ෂ සියල්ල ඒකාබද්ධව නව සටනක් ආරම්භ කිරීමට තීරණය කොට තිබේ.Sri Lanka Latest News
එහි පළමු පියවර වශයෙන් පසුගියදා දේශපාලන පක්ෂ 6ක නියෝජිතයන් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණි.
මෙම මාධ්‍ය හමුවට ඉලංගෙයි තමිල් අරසු කච්චි, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය යන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ වන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටීම විශේෂත්වයක් විය.
තවද එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමාන් ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.
මෙහිදී ආණ්ඩුව දෙමළ මුස්ලිම් ජනතාවට පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ උතුරු නැගෙනහිර මෙන්ම වතුකරයේ ඉඩම් ප්‍රශ්න විසඳීම යන කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවට බලකිරීම මෙම සන්ධානය බිහිකිරීමේ ප්‍රධාන අරමුණු අතර වන බවද දැනගන්නට තිබේ.










