කඩදාසි මත ලියැවෙන සංඛ්‍යාලේඛන සමහර විට හුදෙක් ඉලක්කම් සමූහයක් පමණක් වුවද, ඒ ඉලක්කම් පිටුපස සැඟවී ඇති ඇතැම් කතන්දර රටක සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම නිරුවත් කිරීමට සමත්ය. මෙරට ආර්ථික ඉතිහාසයේ කිසි දිනෙක අසා නොමැති, එහෙත් සමස්ත මහා භාණ්ඩාගාරයම අන්දමන්ද කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් කොල්ලයද එවැනිම බිහිසුණු මෙන්ම ලැජ්ජාසහගත කතන්දරයකි. රටක් වශයෙන් ජනතාවගේ බදු මුදලින් සතයෙන් සතය එකතු කර, විදේශ ණය බරින් නිදහස් වීමට මහා භාණ්ඩාගාරය වෙර දරන මොහොතක, රුපියල් කෝටි 75කට අධික පොදු මහජන ධනයක් සයිබර් අපරාධකරුවන්ගේ සාක්කුවලට ගලා ගියේ තාක්ෂණික දෝෂයකට වඩා රාජ්‍ය නිලධාරීන් සතු වූ මහා වගකීම් විරහිතභාවයක සහ අඥානකමක ප්‍රතිඵලයක් ලෙස බව රජයේ මුදල් පිළිබඳ කාරකසභා (COPF) වාර්තාවලින් දැන් මුළු රටටම හෙළිදරව් වී තිබේ. Sri Lanka Latest News
මෙම මූල්‍ය ඛේදවාචකයේ සුලමුල දිගහැරෙන්නේ 2025 වසරේ නොවැම්බර් මස අගභාගයේදීය. ශ්‍රී ලංකා රජය විසින් ඔස්ටේ්‍රලියානු රජයේ නිල අපනයන ණය ආයතනය (Export Finance Australia) වෙත ගෙවීමට තිබූ ද්විපාර්ශ්වික ණය ප්‍රතිපූරණ වාරිකයක් සඳහා සියල්ල සූදානම් වෙමින් පැවතිණි. ඒ අතරතුර, මහා භාණ්ඩාගාරයේ නිල විද්‍යුත් තැපැල් පද්ධතියට රිංගා ගත් අදෘශ්‍යමාන සයිබර් අපරාධකරුවකු විසින් ව්‍යාජ ඩොමේන් නාමයක් භාවිත කරමින්, ණය මුදල තැන්පත් කළ යුතු නව බැංකු ගිණුම් විස්තර කිහිපයක් මුදල් අමාත්‍යාංශය වෙත යොමුකර තිබුණි. මෙම ගනුදෙනුවේ තිබූ අසාමාන්‍යතාව මුලින්ම ඉව වැටුණේ ශ්‍රී ලංකා මහ බැංකුවටය. ඔස්ටේ්‍රලියානු රජයේ ආයතනයකට ගෙවිය යුතු මුදලක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පිහිටි පෞද්ගලික සමාගම් ගිණුම් වෙත යොමුකිරීමට උපදෙස් ලැබී තිබීම මහ බැංකු නිලධාරීන්ගේ දැඩි සැකයට හේතු විය.
ඒ අනුව ක්‍රියාත්මක වූ මහ බැංකුව 2025 නොවැම්බර් 26 වැනිදා මුදල් අමාත්‍යාංශය වෙත ලිඛිතවම දන්වා සිටියේ, අදාළ බැංකු ලිපිනයන් නීත්‍යානුකූල ණයහිමියාගේ තොරතුරු සමග කිසිසේත් නොගැළපෙන බවයි. මෙහි බරපතළ මුදල් විශුද්ධිකරණ අවදානමක් පවතින බැවින්, වහාම සැබෑ ණය හිමියා සම්බන්ධ කරගෙන මෙම ගිණුම් විස්තර නැවත තහවුරු කරගන්නා ලෙස මහ බැංකුව අවධාරණය කළේය. ඕනෑම සාමාන්‍ය මනුෂ්‍යයකුට පවා මෙවැනි අවස්ථාවක ඇති වන සැකය මත, වහාම ඔස්ටේ්‍රලියානු රජයේ ආයතනය වෙත නිල දුරකතන ඇමතුමක් හෝ ඍජු ඊමේල් පණිවුඩයක් යවා තොරතුරු විමසීමට තිබුණි. එහෙත් මහා භාණ්ඩාගාරයේ වගකිවයුතු නිලධාරීන් සිදුකළේ මුළු මහත් රාජ්‍ය තාන්ත්‍රික මූල්‍ය පද්ධතියම හිනස්සනසුලු ක්‍රියාවකි. ඔවුන් තමන් වෙත ව්‍යාජ ගිණුම් විස්තර එවා තිබූ සයිබර් වංචාකරුගේ ඊමේල් ලිපිනයටම පණිවුඩයක් යවා, ‘මේ ගිණුම් විස්තර නිවැරදිද?’ යන්න විමසා සිටියේය. වංචාකරු ද ඉතා සූක්ෂ්ම ලෙස ‘ඔව්, එය නිවැරදියි’ යනුවෙන් දුන් පිළිතුර මත පදනම්ව, නිලධාරීහු එම සැකකටයුතු ගිණුම් තොරතුරු නිවැරදි බවට තහවුරු කරගත්හ. මෙය ජනවහරේ එන ‘හොරාගේ අම්මාගෙන්ම පේන ඇසීම’ බඳු සිනාසෙන්නටද හඬන්නටද නොදන්නා ක්‍රියාවකි.
මේ අඥාන තීරණයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් අබුඩාබිහි බැංකුවක පවත්වාගෙන ගිය Mish Global LLC, LMH Global LLC iy Sifra Watan Project Management Services යන පුද්ගලික සමාගම් වෙත රාජ්‍ය ධනය මුදාහැරීම ආරම්භ විය. මේ සෑම ප්‍රතිලාභියෙකුම ඔස්ටේ්‍රලියාවේ අපනයන ණය ආයතනය ලෙස ව්‍යාජ ලෙස පෙනීසිටිමින් මුදල් සූරාකද්දී, මහා භාණ්ඩාගාරයේ කිසිදු නිලධාරියකු ප්‍රතිලාභීන්ගේ නම් ගළපා බැලීමටවත්, ඔස්ටේ්‍රලියානු රජයේ ආයතනයක් වෙනුවට මෙවැනි පුද්ගලික සමාගම්වලට මුදල් ගෙවන්නේ ඇයිදැයි ප්‍රශ්න කිරීමටවත් කටයුතු කළේ නැත.
කතාව එතැනින් නිමා වන්නේ නැත. මේ මහා පරිමාණ සයිබර් කොල්ලය ලෝකයටම හෙළි වන්නට පටන් ගත්තේ ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රය හරහාය. 2026 ජනවාරි මස 06 වැනිදා, ලොව ප්‍රමුඛතම බැංකුවක් වන ජේ.පී. මෝර්ගන් වංචා වැළැක්වීමේ කණ්ඩායම විසින්, ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවේ අපනයන-ආනයන බැංකුව වෙත සිදුකිරීමට ගිය තවත් එක් සැකකටයුතු ගෙවීමක් වංචනික එකක් බව හඳුනාගෙන එය වහාම තහනම් කළේය. සයිබර් අපරාධකරුවන් විසින් ඉන්දියාව, බි්‍රතාන්‍යය, ජර්මනිය සහ බෙල්ජියම වැනි රටවල ණය ප්‍රතිපූරණ ක්‍රියාවලීන්ටද මෙලෙසම ව්‍යාජ ඊමේල් හරහා රිංගීමට උත්සාහ කර තිබූ බව පසුව අනාවරණය විය. ජාත්‍යන්තර බැංකුවක් දුන් මෙම ප්‍රබල අනතුරු ඇඟවීමත් සමග අවදි වූ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, වංචනික ඩොමේන් නාමය හඳුනාගෙන ජනවාරි 09 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට නිල වශයෙන් පැමිණිලි කළේය.
නමුත් මේ කතාවේ ඇති බිහිසුණුම සහ සැකකටයුතුම කූටප්‍රාප්තිය සනිටුහන් වන්නේ ඉන් අනතුරුවය. රටේ ප්‍රධාන විමර්ශන ආයතනයට පැමිණිලි කර, මහාපරිමාණ මූල්‍ය වංචාවක් සිදුවන බව නිල වශයෙන්ම දැන දැනත්, ඉන් දින එකොළහකට පසු, එනම් 2026 ජනවාරි මස 20 වැනිදාද මහා භාණ්ඩාගාරය විසින් අදාළ වංචනික Mish Global LLC ගිණුමටම තවත් ඇමෙරිකානු ඩොලර් 997,799ක මුදලක් ගෙවා දැමීමට කටයුතු කර තිබුණි. හොරකම අතටම හසුවී තිබියදීත්, සොරකම් කරන ලද ගිණුමටම නැවතත් පොදු ධනය මුදාහැරීම පිටුපස ඇත්තේ හුදෙක් නොසැලකිලිමත්කමද, නැතහොත් මහා භාණ්ඩාගාරය ඇතුළතින්ම වංචාකරුවන්ට ලැබුණු අනුග්‍රහයක්ද යන්න බරපතළ ප්‍රශ්නාර්ථයකි.
එපමණක් නොව, මේ මහා මංකොල්ලය පසුපස තවත් අපූරු නාටකයක්ද රඟදැක්වුණි. ජනවාරි මුල් සතියේ ගෙවීමට තිබූ සැබෑ ණය වාරිකය ගෙවීමට නොහැකි වූ තැන, අමාත්‍යාංශ නිලධාරීන් විසින් සැබෑ ඔස්ටේ්‍රලියානු ණය හිමියා වෙත විද්‍යුත් තැපෑලෙන් පණිවුඩයක් යවමින් කියා සිටියේ, ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සහ සම්පත් හිඟකම නිසා ණය ගෙවීම ප්‍රමාද වන බවයි. මුදල් ඒ වනවිටත් හොරුන්ගේ ගිණුම්වලට බැරවී අවසන්ව තිබියදී, සැබෑ ණය හිමියාගෙන් තවත් කාලය ඉල්ලා සිටීමට කටයුතු කිරීම පිටුපස නිලධාරීන් තමන් කළ මහා විනාශය වසා ගැනීමට දැරූ බංකොලොත් උත්සාහයක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.
තාක්ෂණික පැත්තෙන් බැලුවද, ලංකාවේ සමස්ත විදේශ ණය කළමනාකරණය මධ්‍යම බැංකුවෙන් ඉවත් කර මහා භාණ්ඩාගාරය යටතේ අලුතින් පිහිටුවූ ‘රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය’ වෙත පැවරීමේ සංක්‍රාන්ති සමය තුළ මෙම මහා පරිමාණ වංචාව සිදුව ඇත. මුදල් අමාත්‍යාංශය භාවිත කර ඇත්තේ ආරක්ෂක යාවත්කාලීනයන් පවා අහෝසි වූ, අතිශය යල්පැනගිය Microsoft Exchange Server විද්‍යුත් තැපැල් පද්ධතියකි. මූලික ආරක්ෂණ උපක්‍රමයක් වන Multi-factor Authentication (MFA) වැනි පද්ධතියක්වත් මේ මහා භාණ්ඩාගාරයේ පරිගණක පද්ධති සතුවී නොතිබීම ජාතික මට්ටමේ ඛේදවාචකයකි.
රටක් ආර්ථික වශයෙන් බිඳවැටී, ජනතාව වේලක් හැර වේලක් කමින් බදු බරින් මිරිකෙන මොහොතක, මහජනතාවගේ රුධිරයෙන් සූරාගන්නා ධනය මෙලෙස සයිබර් කොල්ලකරුවන්ගේ සාක්කුවලට යාමට ඉඩහැරීම කිසිසේත් සමාව දිය නොහැකි ජාතික අපරාධයකි. මෙවැනි මහා පරිමාණ ජාතික ධන විනාශයක ඍජු වගකීම මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළම නිලධාරීන් සතු වියයුතු වුවද, මේ වනවිට බිල්ලට දී ඇත්තේ මධ්‍යම මට්ටමේ නිලධාරීන් සිවුදෙනෙකු පමණි. සමස්ත විදේශ ණය ගෙවීමේ පද්ධතියම වහාම විශේෂ විගණනයකට ලක් කළ යුතු අතර, රටට මෙම විනාශය ළඟා කර දුන්, හොරාට කඩේ ගිය සියලු ඉහළ සහ පහළ නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා උපරිම දඬුවම් පැමිණවිය යුතු කාලය එළඹ ඇත.










