‘ගංකරේ’ කියන්නෙ පරණ කතාවක්. ඒත් ඒ ගමන කොතැන හරි තැනක නතර වුණා. අද අපි එතැන ඉඳලා අලුත් ගමනක් පටන් ගන්නවා. පරණ පුරුදු විදියට. ඔයත් එන්න මගෙත් එක්ක. මේ මහපොළොව අපි වෙනුවෙන් සූදානම්. ගල් බොරලු මාවත්වල අපි නොවැටී ඇවිදිමු. රළු පරලු බිම් ඉවසමු. මල් ඇතිරිලිත් මුණගැසේවි. ඒ තමයි ජීවිතේ හැටි. වැටෙන නැඟිටින හැම වෙලාකම එක වගේ හිනාවෙන්න. මතක තියාගන්න. නැඟිටින්න නං වැටෙන්නම ඕන. නොවැටුණු කෙනෙක් නැඟිටින්න ඉගෙන ගන්නෙ නැහැ. හැබැයි එකක්,
මේ යන ගමනෙදි දැනගන්න වටිනම දේ. මගතොටේ මිනිස්සු හම්බෙන්නෙ හරිම කලාතුරකින්. හුඟාක් ඉන්නෙ මිනිස් වෙස් ගත්ත සත්තු. සමහරු නරි. සමහරු කොටලුවො. සිංහයෙක්, ඇතෙක් ඉන්නෙත් එහෙමත් තැනක. මිනිස්සු පුදුම හිඟයි. හැබැයි එහෙමයි කියලා හිතන්න එපා.
සමහර තැන දෙයියොත් නැත්තෙම නැහැ. හැබැයි සමහර දෙයියො යක්කුන්ට වඩා අප්‍රසන්නයි. ඒ නිසා දිව්‍යලෝකෙ යන්න හීන දකින්න එපා.
හුඟාක් වෙලාවට යන-එන මග දිගේ මුතුකැට දිලිසෙයි. අහුලගන්න දිව්වදාට තේරුම් යාවි. ඒ පිනිකැට යට සර්පයො පිරිලා කියලා. ලස්සන මල් මවපු දෙයියොම මලට ළඟින් විෂ කටු මවලා. ඒක වැරැදියි තමයි. ඒත් මගතොටේ වෙන අවනඩු අහන්න උසාවියක් නැහැ. හැබැයි එකක්, සොබාදහම හරි වෙලාවට හරි – වැරැදි හොයලා දඬුවම් දෙනවා. එදාට නඩුකාර උන්නාන්සේලාටත් හිරේ යන්න වෙනවා. දොස්තරලට හොයා ගන්න බැරි ලෙඩ හැදෙනවා. ගුරුවරුන්ට කවදාවත් ඉගෙන ගත්ත නැති පාඩම් ඉගෙන ගන්න ලැබෙනවා. හාමුදුරුවරු සාතන්ට බාර දෙනවා. ෆාදර්ලා අපායෙ යනවා. ඒ නිසා නොකිව්වයි කියන්න එපා. අපායෙ නොයන්ඩ පිං කරන එවුන් වෙසක් පෝයට අපාය බලන්ඩ ටිකට් අරන් පෝලිමේ ඉන්නවා පන්සල් නොගිහින්. හාමුදුරුවො පන්සල්වල ඇතුළු වෙන තැන ඩේරස් කෝඞ් ගහලා. පටාචාරලා කිසාගෝතමීලා හැම තැනම, පිහිට වෙන්ඩ කෙනෙක් හොයනවා. නොමළ ගේකින් අබ ගේන්නත් දැන් ඕන තරම් සිස්ටම් තියෙනවා. ඒත් දරුවො දාස් ගණන් මැරෙනවා තවම. ඒ නිසා අපිත් පරෙස්සමට අඩිය තියන්නම වෙනවා. තිදසපුරය හීනෙන් දැක්කට තාම අපිට තියෙන්නෙ ගඳගහන වීදි. රජෙක් හදන්න දර – දිය ඇදපු පින් බලෙන් හම්බවුණු බාර් ලයිසන් එකෙන් මිනිසුන්ට පිහිටවෙන උපාසක මහත්තුරු විතරයි අලුතෙන් පහල වෙන්නෙ. ඒ නිසා රජෙක් හදන්න පමා නොවී අපි ඇවිදිමු.
දහස් ගණන් ආදරවන්තයො වෙන් වුණු, මුණ ගැහුණු පටු මාවත්වල අපි ඇවිදිමු. ආදරය පිරුණු බස් නැවතුමකින් බැහැලා අපි ඔහේ ඇවිදිමු. කාෂ්ටක වැව් ගම්මානවල කටුසර කැලෑ පාරවල් අපිව ආදරෙන් පිළිගනීවි. බෝවිටියා, දං, පලුකං වාරෙට ඒ පඳුරු උඩින් පියාඹන බට්ටිච්චො වගේ පියාඹන්න හිතේවි. වෑදිය නිල්ල මල්වර වෙනදාට ගොයම නිල්ල ගහනවා. සමහර කාලවල වැව්පිටි ඉරිතළනවා. වතුර අන්තිම බින්දුවටම හිඳුනම ගංකරේ ඉන්න උත්සාහවන්ත මිනිස්සු වැව්තාවුලු, හේන් මඩතාවුලු හේන් කොටනවා. ඒවයෙ තමයි රහම පැණිපුහුල් හැදෙන්නෙ. ගංකරේ මිනිස්සු සංහිඳ පාමුලු පුල්ලෙයාරෙ කිරි උතුරවලා ඉල්ලන්නෙ වැස්ස විතරයි. අක් වැස්ස, තල වැස්ස, නිකිණි පාළුව මේ හැම එකම ගමට එන එක එක කාලවල. නවම් මහට නව මෝලක් වහිනවා. ඉල්මහ වැස්සේ නාඩව් හැත්තේ කියලා කතාවක් ගංකරේ තියෙනවා. මතක තියාගන්න ඔයා එනවා නම් ගංකරේට එන්න ඕන වැහි මල් පූදින දාට. මොණරු නැටුම් බලන්ඩ ඇහැකි එහෙව් දාට. සමහර හැන්දෑවට රත්තරං පාට වැව් පිටිවල සිය ගණන් අලි ඇත්තු උන්ගෙ ගාතෙ නටා ගහනවා. අන්න ඒකට අපි ජීවිතේ කියමු.
යාපනේ ගංකරේක, යාන්තං ගොංමනේ ඇහෙන පාසලං සද්දෙට ටිකක් නතර වෙමු. ඊට පස්සෙ එන පිච්ච මල් සුවඳ ඊට වඩ වඩා ලස්සනයි. මොකද අයියර් පවුල්වල කෙල්ලො එළියට බහින්නෙ කෝවිලේ වේල් අදිනදාට විතරයි. එහෙම දාට හරියට කන්ද කපා පායන පුරපෝය හඳ වගේ. ඒ මූණු ලස්සනයි. මොට්ටැක්කිලි තිරෙන් වැහුණු මුස්ලිම් කෙල්ලෙක්ගෙ කාටවත් නොපේන හිනාවක් ඊට වඩා ලස්සන ද නැත්තං, ඒ ගානටම ලස්සන ද කියන එක තීරණය කරන්න ඕන ඔයා. හැබැයි නොවරදවාම ඔයාට දැනේවි අපි හුස්ම ගන්නවා කියලා. ඇත්තටම ගංකරේ ජීවිතේ පුදුම ලස්සනයි.
අපි මේ ගංකරේට පය ගහන්නෙ යාළු මිත්‍රයොත් එක්ක. ඒ අතර ඉන්නවා කෝසල අයියා වගේම අපේ චන්දන පොන්නම්පෙරුමත්. යන්න යන්නෙ වෙනමම ගමනක්. ඒත් හදිස්සියෙම අපිට ගමක් මුණගැහෙනවා. මේ වෙනකොට රට වටේම කතාවෙන්නෙ සිංහරාජෙ මැද්දෙ තියෙන ලංකාගම ගැන. හැබැයි ඒ වගේ කැලේ මැද්දෙ තනිවෙච්ච තව ගම් තියෙනවා කිව්වම ඔබ පුදුම වේවි. මේ කියන්න යන්නෙ එහෙම ගමක් ගැන.
ගමට යන කොටම අපි ආවෙ මොකට ද කියලා අහන්න වගේ අපි දිහා එබිකං කරමින් ඉඳලා පැනලා දිව්වා කට්ටියක්. එයාලා මේ ගමේ අය නෙවෙයි. හැබැයි මේ ගමට යන එන අය වෙන්ඩ ඇති. සමහර විට බඩගින්නක් එහෙම ආවම මේ ගම පැත්තෙ රවුමක් දානවත් ඇති. කොහොම උනත් එහෙං මෙහෙං එබෙන්නෙ නැතිව ඇවිල්ලා කෙළින්ම ඇහුවා නං
‘කොහෙද යන්නෙ?’ කියලා.
අපි දෙනවා කෙළින්ම උත්තරයක්. කවුද කින්ද මන්ද කියලා. ඒත් අපි ළං වෙන කොටම පැනලා දිව්වා. ඉතින් මොකක් කරන්නද?
ඔහොම ටිකක් දුර යන කොට ඉන්නවා තව සෙට් එකක්. පොඩි පිට්ටනියක් වගේ හරියක. නිකං චණ්ඩි වගේ. එහෙට මෙහෙට දඟල දඟල. සමහරුන්ට කිසිම වගක් නෑ. අපි අපේ වාහනේ යන කොට එක්කෙනෙක් දෙන්නෙක් නිකං ඔළුව උස්සලා බැලුවා විතරයි. කිසිම අවුලක් නෑ. ගැටුමකුත් නෑ. යාළු මිත්‍රකමකුත් නෑ. ඉතිං අපි ඉස්සරහට ගියා.
එතකොට හම්බවුණා තුන්දෙනෙක්. දැක්ක ගමන්ම ආවෙ ඔරොප්පුවට. අපි ඉතිං සාමකාමී මිනිස්සු නෙ. ඒ නිසා පටලැවෙන්න ගියෙ නෑ. එහෙමයි කියලා නෑ. එකපාරට කකුල් කරකවලා, පොළොවෙ අඩිය හප්පවලා, කෑ ගහගෙන ආවෙ නැතෑ පන්නගෙන, පන්නගෙන.
කෝසල අයියා බය වෙන්ඩ එපා කිව්වට, ආයෙ බය නොවී කොහොමද? අපි පස්ස බැලුවෙ කිලෝමීටරයක් විතර ගිහිල්ලා. හැබැයි වැඬේ ඒ තරම්ම දුර දිග ගියේ නෑ. එහෙං මෙහෙං සද්දෙ දැම්මට ඔය චණ්ඩි එහෙම ලොකුවට පන්නගෙන එන්නෙ නෑ.
ඊළඟට අපි ගියේ විල්ලුවට. විල්ලුව කියන්නෙ වැවක් නොවෙන ඒත් දිය සීරාවක් සහිත තැනක්. එතන හිටපු අය නං වගේ වගක් නෑ. තනි කකුළෙන් ඉන්න ගමන් තපස් රකිනවා. සද්දයක් බද්දයක් නැතිව, මාලුවෙක් අල්ලගෙන ගුඩුස් ගාලා ගිලිනවා. ඔව්වා බලාගෙන ඉඳලා බැරි නිසා අපි පිටත් වුණා. එතකොටයි අපිට ඈතින් පොල්රුප්පා පේන්න ගත්තෙ. ඒ පොල්රුප්පා පාර කිව්වෙ අපි මේ කියන ගමට.
ඒත් ගමට ළංවෙන එක ලේසි නෑ. කාලයක් තිස්සෙ ගමට ආපු ගස් වැල් එක්ක ගමේ අයිතිය වෙනස් වෙලා. ගමට යන තැනම තියෙන ගොඩනැඟිල්ල ගැන අදහසක් නෑ. ඒත් ඊට පස්සෙ මුණගැහෙන්නෙ ඉස්සර කඩමණ්ඩිය. එදා ඒ කඩමණ්ඩියෙ හිටපු මුදලාලිගෙ සොහොන. ඒ සොහොනත් එක්ක තවත් කිහිප දෙනෙක් එතැන නිදියගෙන ඉන්න බවට සාක්ෂි. එතන හැරුණම ට්ජවම එහෙං මෙහෙං පේන ගේදොරවල නටබුනින් එපිටහ කොටසෙ ඉස්කෝලෙ. පන්ති කාමරයක්, දෙකක් විතරයි ඉතිරි. පරණ අකුරු මැකිලා ගිය ඉස්සර කළුලෑල්ල. මතකත් එක්ක ඉතිරි වෙලා.
දන්නවද මේ ගම?
මේ තමයි ‘කුමන’
මුල ඉඳලම කිව්වෙ කුමන ගැන. කුමන කැලේදි මුණගැහුණු අමුත්තො ගැන කිව්වට ඒ මේ ගමේ අලුත් අයිතිකාරයො. එබිලා බලලා ගියෙ මුව රංචුවක්. මගහිටියෙ හරක්. පස්සෙන් ආවෙ අලි. ඒක එහෙම වෙන්නෙ මේක අද අතඇරලා දාපු ගමක් නිසා.
අද දැඩි රක්‍ෂිතයක් වෙච්ච කුමන ඇතුළෙ මේ මිනිස්සු නිස්කාංසුවෙ ජීවත් වෙලා තියෙනවා. ඒ ජීවිතවල නවතින්න වෙන්නෙ එකමත් එක දවසක.
මේ ගම ගැන කියන්න තියෙන ඊළඟ වැදගත්ම කතාව තමයි මේ මිනිස්සු කුමනට ආවයි කියන විදිය. ඒ අයගෙ ඉතිහාසය එක්දාස් අටසිය දහඅට දක්වා දුවනවා කියලයි කාරණා කාරණා දන්න උදවිය කිව්වෙ. මේ අය අටසිය දහඅටේ කැරැල්ලට එකතු වෙලා පස්සෙ කුඹුක්කන් ඔය දිගේ පහු බැහැලා තියෙනවා. එහෙම ඇවිත් තමන්ගෙ ජීවිත නතර කරගත්ත නවාතැන තමයි කුමන. මෙතන මේ අය අවුරුදු එකසිය පනහකට වැඩි කාලයක් මේ ගම්වල සැනසිල්ලෙ ජීවත් වෙලා තියෙනවා. ඒත් කාලයත් එක්ක ඒ සැනසිල්ල ටිකෙන් ටික විනාශ වෙන්න පටන් අරගන්නවා. ඒ ගැන පැහැදිලි කරමින් අපිට හේතු කීපයක්ම මේ අය කිව්වා. ඉන් එක කාරණාවක් වෙන්නෙ යුද්ධය. සාමාන්‍යයෙන් අපි යුද්ධය ඈඳා ගන්නෙ උතුරත් එක්ක. ඒත් අපි නොදන්න විදියට උතුරෙ යුද්ධයට නැගෙනහිරත් පිච්චුණා. මේ ගම්මානවලටත් ත්‍රස්තවාදී කරදර තිබුණා.
ඒ වගේම කුමන රක්ෂිතයක් බවට ප්‍රකාශයට පත්කිරීමත් එක්ක, රක්‍ෂිතයක් ඇතුළෙ ගමක් තියෙන්න විදියක් නෑ.
‘එතකොට සිංහරාජෙ මැද්දෙ,
ලංකාගම තියෙන්නෙ කොහොමද?
වගේ ප්‍රශ්න අහන්න එපා. මොකද සිංහරාජෙ වගේ නෙමේනෙ කුමන.
ඒ නිසා මේ රක්ෂිතය හැදිලා ගම ඉවත් වුණා. මේ පිරිසට වෙනත් තැනකින් ඉඩම් ලැබෙනවා. සමහරු යනවා. සමහරු යන්න අකමැති වෙනවා. නමුත් කවුරු කොහොම කිව්වත් කුමන පරණ පුරුදු ගම අලින්ට, වළස්සුන්ට, මුවන්ට, ගෝනුන්ට ඉඳලා හිටලා එන යන කොටින්ට දීලා ගම්මුන්ට යන්න වුණා. හැබැයි ඉස්සර මතක ඉතිරිකරගත්ත කුමන මිනිස්සුන්ගෙ අත්වලින් හිටවපු පොල්ගස් ටිකත්, මහ කැලයත් එක්ක හරි හරියට ඔට්ටු වෙවී තාමත් එහෙමම ඉන්නවා.
ඔන්න ඔය විදියටයි එකම එක මනුස්සයෙක්වත් නැති ‘ගංකරේ’
කතන්දරේ අහවර වෙන්නේ.
ජීවන පහන් තිළිණ











