චීනයේ ආධාර මත කඩවත-මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් 2022 නතර වූයේ ආර්ථික අර්බුදයත් සමගය. ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක චීන ණය සහ ශ්‍රී ලංකා රජයේ ඩොලර් මිලියන 438ක දායකත්වයෙන් අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස හදන්න මුලින් එකඟ වී ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ විය. 2022 ආර්ථික අර්බුදයත් සමග ඉදිකිරීම් අතරමග නැවතුණි. පසුව 2025 අගෝස්තු මාසයේ ජනාධිපති අනුර පාර්ලිමේන්තුවේදී කියා සිටියේ චීනයේ එක්සිම් බැංකුව සහනදායී ණය ක්‍රමයක් යටතේ මීරිගම-කඩවත අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි ආරම්භ කරන බවය. ඊළඟ කැබිනට් රැස්වීමේදී එම ණය මුදල අනුමත කිරීමට නියමිත බවද ජනාධිපති අනුර පැවැසීය. 2025 අගෝස්තු 18 ජනාධිපති අනුර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කරමින් චීනය අගයමින් කතා කළේය. මෙරට චීන තානාපතිද කතා කළේය.Sri Lanka Latest News
ජනාධිපති අනුර සහ චීන තානාපති කඩවත-මීරිගම ඉදිකිරීම් ආරම්භ කොට මේ අගෝස්තු මාසයට වසරකි. එහෙත් 2025 අගෝස්තු මාසයේ අධිවේගයේ ඉදිකිරීම් උත්සවශ්‍රීයෙන් ආරම්භ කළ නමුත් කිසිවක් සිදුවූයේ නැත. මෙයට හේතුව ව්‍යාපෘතිය ප්‍රමාද කිරීම නිසා ගෙවිය යුතු දඩය සහ වියදම වැඩි වීම නිසා නව මූල්‍ය ගිවිසුමකට එළඹීමට චීන එක්සිම් බැංකුව සහ ලංකා ආණ්ඩුව අසමත් වීම බව වාර්තා විය. ඒත් චීනයට සමීප ආරංචි මාර්ග කියන්නේ 2025 අගෝස්තු පටන්ගත් ඉදිකිරීම් කඩාකප්පල් වීමට හේතුව චීන පර්යේෂණ නැව්වලට ලංකාවට ඇතුළු වීම සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් නොගැනීමෙන් චීනය ලංකාවේ ව්‍යාපෘති සඳහා මන්දගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.
එහෙත් හදිසියේ පසුගිය සතියේ චීන එක්සිම් බැංකු නියෝජිත පිරිසක් ලංකාවට පැමිණ නියෝජ්‍ය මුදල් ඇමැති හමුවී කඩවත – මීරිගම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යළි ආරම්භ කරන්න එකඟ විය. මේ මස අවසානයේ ඒ සඳහා වූ ගිවිසුම අස්සන් කරන්න චීන එක්සිම් බැංකු නියෝජිත පිරිසක් ඒමට නියමිතය.
ලංකා ආණ්ඩුව තවමත් චීන පර්යේෂණ නැව් තහනම ඉවත් කර නොමැත. එසේ නම් චීනයේ මේ අලුත් වර්ධනය කුමක්ද? චීනය පර්යේෂණ නැව් තහනමේ එල්ලී සිටීමෙන් ඇමෙරිකාව සහ ඉන්දියාව ලංකාවේ සිය බලය ව්‍යාප්ත කිරීම වේගවත් කරන බව චීනයට වැටහුණාද? නැව් තහනම නිසා විවේක ගනිමින් සිටි චීනය ලංකාව තුළ ඇමෙරිකාවේ මෙහෙයුම් දැක යළි භූදේශපාලනික ගේම් එකට සූදානම් වෙනවාද?










