ආණ්ඩුවයි විපක්ෂයයි එක පාරක
මේ දිනවල දේශපාලන කරළියේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ දූෂණ චෝදනා ලැබූ මැතිඇමැතිවරුන්, නිලධාරීන් අත්අඩංගුවට පත්වීමය. පසුගිය සතිය වනවිට හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ යන අය පාතාල නායක ‘හරක් කටාගෙන්‘ මුදල් ලබාගැනීමේ සිද්ධියක් මත අත්අඩංගුවට පත්වූ අතර, රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් කිහිප දෙනකුම අත්අඩංගුවට පත්වීමට නියමිතව ඇති බවටද ඇතැම් මාධ්‍ය තොරතුරු වාර්තා කොට තිබිණි. මේ සිදුවීම් දාමය හරහා විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් පසුගිය සතිය වනවිට බරපතළ අර්බුදයකට තල්ලු වෙමින් තිබූ ආකාරයක් සියල්ලන්ටම දැකගත හැකි විය. මෙහිදී අප විපක්ෂ කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් ලෙස තොරතුරු වාර්තා කළේ මේ වනවිට විපක්ෂය තුළ කණ්ඩායමක් දෙකක් බිහිව තිබීම නිසාය. ඉන් එක් කණ්ඩායමක් වන්නේ ඡන්දයක් ඉල්ලා කිසිසේත්ම ජයග්‍රණය කළ නොහැකි, ජනතාවගේ කිසිදු ප්‍රසාදයක් නැති, විවිධ පක්ෂවලින් මැතිවරණවලට ඉදිරිපත් වී දේශපාලන සුජාතභාවය අහිමි කරගත්, කුජීත ලෙස පරාජයට පත්ව සිටින, පැවැති සෑම ආණ්ඩුවකම ඇමැති ධුර දරා ජනතා විශ්වාසය අහිමි කරගත්, දූෂණ, වංචා චෝදනා සහ නඩු දුසිම් ගණන් පවතින පිරිසක් සිටින, නමට පමණක් විපක්ෂය කියාගත් පිරිසක්ද මේ වනවිට බිහිව සිටීම නිසාය. වරෙක ඔවුන් ‘ඒකාබද්ධ විපක්ෂය‘ ලෙස තමන්වම හඳුන්වා ගන්නා අතර, තවත් වරෙක ‘පොදු විපක්ෂය‘ ලෙස තමන්ව හඳුන්වා ගන්නා ආකාරයක්ද දැකගන්නට පුළුවන.Sri Lanka Latest News
මේ නඩුහබවලින් බේරෙන්න නාමිකව ගොඩනගාගත් විපක්ෂයට අමතරව රටේ ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය ප්‍රධාන පක්ෂ කිහිපයක්ද රට ඇතුළේ පවතී. මෙහි ප්‍රධාන පක්ෂය වන සජබයේ මන්ත්‍රීවරුන්ට කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී නොමැති අතර, ඔවුන් පැහැදිලිවම ආණ්ඩුවට එරෙහිව පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතාවට නායකත්වය දෙන ආකාරයක් දැකගැනීමට පුළුවන. ඒ අනුව ආණ්ඩුව සහ විපක්ෂය යනුවෙන් ජනතාව අතර මේ වනවිට නිල පිළිගැනීම හිමිව ඇත්තේ මාලිමාවටත්, සජබයටත් පමණි. ආණ්ඩුව පාතාලය මර්දනය කරමින්, හොරු අල්ලමින් සිය දේශපාලනය සිදුකරන අතරවාරයේ ප්‍රධාන විපක්ෂය වන සජබය ආණ්ඩුවේ වැරැදි පෙන්වමින්, ආණ්ඩුවට එරෙහිව අධිකරණයට යමින්, ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුළේ සහ ඉන් පිටත විරෝධතා පවත්වමින් සිය කාර්යභාරය ඉටුකරන ආකාරයක් දැකගත හැකිය.
මේ ආකාරයට ආණ්ඩුව සහ විපක්ෂය පැහැදිලිවම වෙන් වෙන්ව සිය දේශපාලන අනන්‍යතා ප්‍රකට කළද, මේ දෙක එක්වූ තැන්ද පසුගිය කාලයේ නැතුවා නොවේ. විශේෂයෙන්ම පසුගිය කාලසීමාවේ ලංකාවට බරපතළ තර්ජනයක් එල්ල කළ දිට්වා සුළි කුණාටුවේදී සජබය සියලු පක්ෂ, පාට භේද අතහැර ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට සහාය දුන් ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී ඇතැමුන් එය හෙළාදකිමින් ‘සජිත් ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා’, ‘සජිත්ට පණ නෑ’ යනුවෙන් සඳහන් කරමින් සජබයත්, විපක්ෂ නායක සජිත්වත් දේශපාලන වශයෙන් හෑල්ලු කිරීමට කටයුතු කොට තිබූ නමුත් මෑත කාලයේ තුනෙන් දෙකක අතිබහුතර බලයකින් ආණ්ඩු පිහිටුවූ මාලිමාවට හිටපු කතානායකවරයාගේ සිද්ධිය, කන්ටේනර් 323 සිද්ධිය, බාල ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධිය, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය වැනි සිදුවීම්වලදී ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජනතා මතයක් ගොඩනැංවීමට සජිත් සහ සජබය කටයුතු කර තිබූ ආකාරයක් දැකගත හැකි විය.
සජිත්ගෙන් අනුරට කෝල් එකක්
මේ සියලු දේශපාලන ගැටුම් මැද පසුගිය සතියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මුහුණට මුහුණ විශේෂ හමුවක් සිදුවිය. මාධ්‍ය හරහා එය ජනතාවට දැකගැනීමට හැකි වුවද එම සිදුවීම පසුපස කවුරුත් නොදන්නා සිදුවීම් මාලාවක් තිබිණි. ඊට හේතු වූයේ ජාතික ආපදා කළමනාකරණ සභාව රැස්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබීමය. පසුගිය 30 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවට එම කමිටුව නියෝජනය කරන සියලු සාමාජිකයන්ට ආරාධනා කිරීමට කටයුතු කොට තිබිණි. විපක්ෂ නායක සජිත්ද නිල බලයෙන් එම කමිටුවේ සාමාජිකයෙකි. එමෙන්ම පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් ලංකාව මුහුණ දීමට නියමිත එල්නිනෝ කාලගුණික විපර්යාස සංසිද්ධිය පිළිබඳ පළමුවරට රටට අනාවරණ කිරීමට පියවර ගෙන තිබුණේද සජිත්ය. සාමාන්‍යයෙන් සජිත් සැලකෙන්නේ මෙවැනි ස්වභාවික ආපදා පිළිබඳ අධ්‍යයනය කරන, ඒ සම්බන්ධයෙන් මුලින්ම රට දැනුවත් කරන දේශපාලන නායකයකු ලෙසටය. ඊට හොඳම උදාහරණය වන්නේ කොවිඩ් ව්‍යසනය සහ දිට්වා සුළු කුණාටුවය. ඒ අවස්ථා දෙකේදීම සජිත් කාටත් කලින් ඒ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේදී රටට අනාවරණ කරමින් ආණ්ඩුව සහ ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව මෙම එල්නිනෝ තත්ත්වය පිළිබඳවද බරපතළ අනාවැකි පළකරමින් සජිත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව දැනුවත් කිරීමට කටයුතු කොට තිබිණි. දිට්වා සුළි කුණාටුවේදී සිදුවූ යම් යම් අතපසුවීම් සහ වැරැදි මගහැර ගත යුතු නිසාදෝ ආණ්ඩුව, මේ එනවා යැයි කියන එල්නිනෝ තත්ත්වයේදී පසෙකට වී සිටීමට කටයුතු කළේ නැත. වහාම එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සජිත්ද සාමාජිකත්වය දරන ජාතික ආපදා කළමනාකරණ කමිටුව රැස්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබුණේ ඒ අනුවය.
මේ ආකාරයට ජාතික ආපදා කළමනාකරණ කමිටු රැස්වීමට ආරාධනා ලැබීමත් සමග සජබය ඇතුළේ සිටින යම් යම් පිරිස් ඊට සහභාගි නොවන ලෙසට සජිත්ට දැනුම් දී තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. ඔවුන්ගේ තර්කය වී තිබුණේ ආණ්ඩුව මේ වනවිට විපක්ෂය මර්දනය කරමින් සිටින නිසා ඊට විරෝධය පළකරමින් මෙම රැස්වීමට සහභාගි නොවිය යුතු බවය. නමුත් එහිදී සජිත් දැඩි ස්ථාවරයක සිටිමින් කියා සිටියේ රට ජාතික ප්‍රශ්නයකට මුහුණ දීමට නියමිත අවස්ථාවකදී ඒ පිළිබඳ දේශපාලන කෝණයෙන් නොබලා ජනතාවාදී විපක්ෂයක් ලෙස රටත්, ජනතාවත් වෙනුවෙන් කටයුතු කළ යුතු බවය. ඒ අනුව තමන් එම රැස්වීමට සහභාගි වන බව සජිත් එහිදී තමන්ට කතා කළ පිරිසට දැනුම් දීමට පියවර ගත්තේය.
කෙසේ වෙතත් සජිත් මෙම රැස්වීමට හිස් අතින් සහභාගි වීමට සූදානම් වූයේ නැත. ඒ වෙනුවට සජිත් කළේ දින ගණනාවක් තිස්සේම දිවා රෑ නොබලමින් මෙවැනි ජාතික ව්‍යසනයකදී දේශපාලන අධිකාරිය කටයුතු කළ යුත්තේ කෙසේද, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර මොනවාද, ජනතාවට සහන ලබාදිය යුතු ක්ෂේත්‍ර මොනවාද යන්න පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක නිරත වීමය. විශේෂයෙන්ම සුනාමි ව්‍යසනය, ගංවතුර තත්ත්වය, දිට්වා කුණාටුව, සුනාමි ව්‍යසනය වැනි ජාතික ආපදා තත්ත්වය අධ්‍යයනය කරමින් ඒවාට කල්තියා සූදානම් විය යුතු ආකාරයත්, විසඳුම් යෝජනා මාලාවකුත් එහිදී සකස් කිරීමට සජිත් පියවර ගත්f්තය.
නමුත් මෙහිදී මෙම රැස්වීමට සහභාගි වීම සම්බන්ධයෙන් යම් ප්‍රායෝගික ගැටලුවකට මුහුණ දීමට සජිත්ට සිදුවිය. ඒ, සිය බිරිය වූ ජලනි ප්‍රේමදාස මහත්මියගේ පවුලේ ඥාතියකුගේ දානමය පින්කමක් හරියටම රැස්වීම පැවැත්වෙන දින ඒ වෙලාවටම යෙදී තිබීමය. එම දානමය පින්කම සජිත්ගේ නිවසේ පැවැත්වීමට නියමිතව තිබීම නිසා සජිත්ටද ඊට සහභාගි වීමේ අවශ්‍යතාව තිබිණි. ඒ අනුව ජාතික ආපදා කළමනාකරණ රැස්වීමත්, සිය නිවසේ පැවැත්වෙන දානමය පින්කමත් යන දෙකටම සහභාගි වීම අත්‍යාවශ්‍ය නිසා සජිත් කළේ එදින උදෑසනම ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදීමය. සජිත් ලබාදුන් දුරකතන ඇමතුමට පිළිතුරු දුන්නේද ජනාධිපතිවරයා විසින්මය. ඒ අනුව සජිත් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකිරීමට පියවර ගත්තේය.
‘ජනාධිපතිතුමනි මම අද අනිවාර්යයෙන්ම ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ මීටින් එකට එනවා. මොකද මේ එල්නිනෝ සිද්ධිය ගැන මුලින්ම පාර්ලිමේන්තුවේ මම කතා කළා. ඒ වගේම මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතු ආකාරය ගැන වාර්තාවක් අපි සකස් කරලා තියෙනවා. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මගේ බිරිඳගෙ පැත්තෙන් දානමය පින්කමක් අද උදේ 10.30ටම අපේ ගෙදර සූදානම් කරලා තියෙනවා. ඒකටත් මම අද සහභාගි වෙන්න ඕනේ. ඒ නිසා ඔබතුමාට පුළුවන්ද මම මීටින් එකට ආවාම මගේ ඉදිරිපත් කිරීම කරන්න මුලින්ම මට අවස්ථාව ලබාදෙන්න?’ යනුවෙන් සජිත් ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ දෙවතාවක් නොසිතූ ජනාධිපතිවරයාද ‘කිසි ප්‍රශ්නයක් නෑ, මම ඒක දෙන්නම්..’ යනුවෙන් සජිත්ට දැනුම් දීමට පියවර ගත්තේය.
අතීතයේදී නම් විපක්ෂ නායකවරුන්ගේ මෙවැනි ඉල්ලීම්වලට ජනාධිපතිවරුන් ඉඩ ලබාදෙන්නේ නැත. සාමාන්‍යයෙන් එවැනි රැස්වීම්වලදී සිදුවන්නේ මුලින් ජනාධිපතිවරයා කතාකොට පසුව අගමැතිවරයා කතා කොට ඊටත් පසු ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් පවා කතාකොට අවසන් වීමෙන් පසුව විපක්ෂ නායකවරයාට අවස්ථාව ලබාදීමය. නමුත් මේ අවස්ථාවේදී විපක්ෂයේ සහාය ආණ්ඩුවට අවශ්‍ය බව ජනාධිපතිවරයාට වැටහී ගොස් තිබීම නිසාදෝ රැස්වීමේ පළමුවෙන්ම අදහස් දැක්වීමේ අවස්ථාව විපක්ෂ නායකවරයාට ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ අනුව ඊට ස්තුතිය පළකළ සජිත් නියමිත වෙලාවට රැස්වීමට සහභාගි වූයේ ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටුකරයිද නැද්ද යන්න පිළිබඳ කිසියම් දෙගිඩියාවකින් යුතුවය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා රැස්වීම ආරම්භ කරමින් සියලු දෙනාටම දැනුම් දී සිටියේ විපක්ෂ නායකවරයාට තවත් අත්‍යාවශ්‍ය කටයුත්තක් යෙදී ඇති බැවින් සාකච්ඡාවේ පළමු අදහස් දැක්වීමේ අවස්ථාව ඔහුට ලබාදෙමු යැයි කියාය. ඒ අනුව ඊට ස්තුතිය පළකළ සජිත්, එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් සහ ඊට මුහුණ දියයුතු ආකාරය සම්බන්ධයෙන් රැස්ව සිටි පිරිස් මවිතයට පත්කරමින් සිය අදහස් දැක්වීම සිදුකළ ආකාරයක් දැකගත හැකි විය.
මෙන්න කියපු දේවල්
රටට තීරණාත්මක මොහොතක ජාතික ආපදා කළමනාකරණ සභාව කැඳවීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත සිය කෘතඥතාව පළ කරමින් සජිත් සිය අදහස් දැක්වීම ආරම්භ කළේය. ආපදා සූදානම්කාරිත්වය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව යනු දේශපාලන භේදයන්ගෙන් ඔබ්බට ගිය සහ සාමූහික ජාතික ප්‍රතිචාරයක් අවශ්‍ය වන ජාතික වගකීම් බව ඔහු අවධාරණය කළේය.
‘අපගේ ජනතාවගේ ජීවිත, ජීවනෝපායන් සහ ආරක්ෂාව අවදානමට ලක්ව ඇති විට, තිබිය යුත්තේ එකම එක පාර්ශ්වයක් පමණි, එය ශ්‍රී ලංකාවයි.’ යනුවෙන් කී සජිත්, දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන වර්ධනය වන අවදානම් සඳහා ශ්‍රී ලංකාවේ සූදානම්කාරිත්වයට දායක වීමේ ඒකායන අරමුණින් යුක්තව, සිය නිරීක්ෂණ, ජාතික සමගිය සහ නිර්මාණාත්මක සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ සද්භාවයෙන් ඉදිරිපත් කරන ලද බව සඳහන් කළේය.
නවතම ගෝලීය විද්‍යාත්මක තක්සේරු කිරීම් පිළිබඳව සඳහන් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ වර්ධනය වෙමින් පවතින 2026-2027 එල් නිනෝ තත්ත්වය මෑත දශක කිහිපය තුළ ඇතිවූ ප්‍රබලම තත්ත්වයක් බවට පත්විය හැකි බවයි. එමගින් දීර්ඝකාලීන නියඟයක් සහ ඉන් පසුව දරුණු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව ඉහළ නංවන අතර, දේශගුණ විද්‍යාඥයින් විසින් මෙය ‘දේශගුණික කස පහරක්’ ලෙස වඩ වඩාත් විස්තර කර ඇති බව පෙන්වා දුන්නේය. මෙම බලපෑම් ඇති වීමට පෙර ජාතික සූදානම්කාරීත්වය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇත්තේ සීමිත කාලපරිච්ඡේදයක් පමණක් බවද ඔහු අවධාරණය කළේය.
දිට්වා සුළි කුණාටුව සහ අනෙකුත් මෑතකාලීන ආපදාවලින් උගත් පාඩම් පිළිබඳ ආවර්ජනය කරමින් සජිත් කියා සිටියේ, ආපදා සිදුවූ පසු ඒවාට ප්‍රතිචාර දැක්වීමේ පිළිවෙතක් මත පමණක් ශ්‍රී ලංකාවට තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බවයි. ඒ වෙනුවට, විද්‍යාත්මක පුරෝකථන, අවදානම් තක්සේරු කිරීම් සහ පූර්ව සූදානම මගින් ජාතික තීරණ ගැනීම මෙහෙයවනු ලබන පෙරහුරු පාලනයක් හෙවත් අවදානම් අපේක්ෂා කරන්නාවූ පාලනයක් කරා ක්‍රමයෙන් පරිවර්තනය වීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.
තමාගේ මෙම අදහස් දැක්වීම් රජය විවේචනය කිරීමක් හෝ රාජ්‍ය ආයතන විසින් දැනටමත් සිදු කරනු ලබන වටිනා කාර්යයන් අනුපිටපත් කිරීමට ගත් උත්සාහයක් නොවන බව මෙහිදී අවධාරණය කළ සජිත්, ඒ වෙනුවට, අනාගත දේශගුණික ආපදාවලට ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා රජයට සහ සියලු අදාළ ආයතනවලට සහාය විය හැකි පරිදි ජාත්‍යන්තර සාක්ෂි, විද්‍යාත්මක තක්සේරු කිරීම් සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති නිර්දේශයන් එකඟතා සහිත උපායමාර්ගික රාමුවකට ගෙන එමින් ජාතික ප්‍රතිපත්ති සාකච්ඡාවලට නිර්මාණාත්මකව දායක වීම මෙහි අරමුණ බව පැවැසීය.
එහිදී විපක්ෂ නායකවරයා මූලික පණිවුඩ තුනක් ඉස්මතු කළේය.
පළමුවෙන්ම, ආපදා සිදුවීමට පෙර කරනු ලබන ආයෝජන මගින් ජීවිත බේරාගන්නා බවත්, ජීවනෝපායන් ආරක්ෂා කරන බවත්, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරන බවත් සඳහන් කරමින්, පෙරහුරු පාලනය ජාතික ආපදා කළමනාකරණයේ මූලික පදනම විය යුතු බව සජිත් පෙන්වා දුන්නේය.
දෙවනුව, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සමස්ත රජයේම වගකීමක් විය යුතු බවත්, ඒ සඳහා කෘෂිකර්ම, ජල සම්පත්, බලශක්ති, සෞඛ්‍ය, මුදල්, ආරක්ෂක, පළාත් පාලන සහ පළාත් සභා යන ක්ෂේත්‍රවලට වගකිව යුතු ආයතන අතර සමීප සම්බන්ධීකරණයක් අවශ්‍ය වන බවත් සජිත් අවධාරණය කළේය.
තෙවැනුව, ආහාර සුරක්ෂිතතාව, ජල ආරක්ෂණය, බලශක්ති සුරක්ෂිතතාව, මහජන සෞඛ්‍යය, යටිතල පහසුකම්, ජෛව විවිධත්වය සහ මූල්‍ය ස්ථාවරත්වය එකිනෙකට සමීපව සම්බන්ධ වී ඇති බැවින්, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ආර්ථික ඔරොත්තු දීමේ හැකියාවෙන් වෙන් කළ නොහැකි බවත්, එබැවින් ඒවාට ඒකාබද්ධ ජාතික ප්‍රතිපත්ති රාමුවක් හරහා ආමන්ත්‍රණය කළ යුතු බවත් සජිත් සිය කතාවේදී පෙන්වා දුන්නේය.
එහිදී සජිත් ඉස්මතු කරන ලද ප්‍රමුඛතා ක්ෂේත්‍ර අතර පහත ක්ෂේත්‍ර අන්තර්ගත විය.
● ජාතික දේශගුණික සූදානම්කාරීත්වය සහ පෙරහුරු හෙවත් ආපදා අපේක්ෂිත පාලනය ශක්තිමත් කිරීම,
● ඒකාබද්ධ ජලාශ කළමනාකරණය තුළින් ජල ආරක්ෂණය වැඩි දියුණු කිරීම,
● ආහාර සුරක්ෂිතතාව සහ දේශගුණිකව-සුහුරු කෘෂිකර්මාන්තය නංවාලීම
● බලපෑම් පාදක කරගත් පුරෝකථනයන් මගින් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති නවීකරණය කිරීම
● ආපදා අවදානම් මූල්‍යකරණය ශක්තිමත් කිරීම
● උෂ්ණත්ව තරංග හෙවත් තාප තරංග සහ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි හදිසි අවස්ථා සඳහා සූදානම වැඩිදියුණු කිරීම
● තීරණාත්මක යටිතල පහසුකම්වල ඔරොත්තු දීමේ හැකියාව නංවාලීම සහ
● රජය පුරා සාක්ෂි පදනම් කරගත් තීරණ ගැනීමට සහාය වීම සඳහා ජාතික දේශගුණික අවදානම් සහ ආපදා බුද්ධි තොරතුරු මධ්‍යස්ථානයක් (භ්එසදබ්ක ක්‍කසප්එැ ඍසින ්බා ෘසි්ිඑැර ෂබඑැකකසටැබජැ ක්‍ැබඑරු) පිහිටුවීම කෙරෙහි අවධානය යොමුකිරීමය.
දේශගුණික අවදානම්වලට වැඩි වශයෙන් නිරාවරණය වන රටවල් පෙරහුරු පාලනය, ඒකාබද්ධ දේශගුණික බුද්ධි තොරතුරු සහ විද්‍යාව පදනම් කරගත් සැලසුම්කරණය සඳහා ආයෝජනය කරමින් සිටින බව පෙන්වා දුන් සජිත්, ශ්‍රී ලංකාවට තමන්ගේම ජාතික තත්ත්වයන්ට ගැළපෙන විසඳුම් සංවර්ධනය කිරීමේදී වටිනා පාඩම් උගත හැකි උදාහරණ ලෙස, ඉන්දියාවේ ශක්තිමත් කරන ලද දේශගුණික පුරෝකථන සහ කෘෂිකාර්මික හදිසි සැලසුම්කරණය මෙන්ම ඔස්ටේ්‍රලියාව වැනි රටවල ක්‍රියාත්මක කරන ලද පුළුල් ඔරොත්තු දීමේ මුලපිරීම් පිළිබඳ සඳහන් කළේය.
දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව රජයට පමණක් තනිවම ළඟා කරගත නොහැකි බවද සජිත් එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිසට අවධාරණය කළේය. ඒ සඳහා පාර්ලිමේන්තුව, රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන, විද්‍යාත්මක හා ශාස්ත්‍රීය ප්‍රජාව, විශ්වවිද්‍යාල, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ දේශීය ප්‍රජාවන් අතර සමීප සහයෝගිතාවක් අවශ්‍ය සජිත් පෙන්වා දුන්නේය.
2026-2027 එල් නිනෝ – දක්ෂිණ දෝලන චක්‍රයෙන් එල්ල වන ක්ෂණික අභියෝගවලින් ඔබ්බට බලමින්, ජාතික දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ ආපදා සූදානම්කාරීත්වය පිළිබඳ විස්තීර්ණ ජනාධිපති ධවල පත්‍රිකාවක් සකස් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුකළ හැකි බවද කී සජිත් එවැනි ලේඛනයකට, තනි පාලන තන්ත්‍රයන්ගෙන් ඔබ්බට යන සහ අනාගත පරපුර උදෙසා පැහැදිලි ජාතික මග පෙන්වීමක් ස්ථාපිත කරන දිගුකාලීන, සමස්ත රාජ්‍යය අන්තර්ගත ප්‍රතිපත්ති රාමුවක් සැපයිය හැකි බව පැවසීය.
දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ආරක්ෂිත, වඩාත් ඔරොත්තු දෙන සහ වඩාත් සන්නද්ධ ශ්‍රී ලංකාවක් උදෙසා රජය, පාර්ලිමේන්තුව, විද්‍යාත්මක ප්‍රජාව, පෞද්ගලික අංශය සහ සිවිල් සමාජය එක්සත් කළ හැකි ජාතික න්‍යාය පත්‍රයක් බවට පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සජිත් එහිදී ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් සිය අදහස් දැක්වීම අවසන් කරමින් ප්‍රේමදාස මහතා නැවතත් අවධාරණය කළේ දේශගුණික විපර්යාසයන් රජය සහ විපක්ෂය අතර වෙනසක් නොදකින බවත්, ගංවතුර, නියඟ හෝ උෂ්ණත්ව තරංග දේශපාලන අනුබද්ධතාවන් මත වෙනස් නොවන බවත්ය.
‘දේශගුණික විපර්යාස රජය සහ විපක්ෂය අතර වෙනස දන්නේ නෑ. ගංවතුර දේශපාලන පක්ෂ අනුව වෙනස් වෙන්නෙ නෑ. නියඟය සෑම ගොවියෙකුටම බලපානවා. උෂ්ණත්ව තරංග සෑම පවුලකටම බලපානවා. ඒ නිසා අපගේ ජනතාව ආරක්ෂා කිරීම සියල්ලන් හවුල් වී සිදුකළ යුතු පොදු ජාතික වගකීමක්..‘ යනුවෙන් සජිත් සඳහන් කළේය.
සාකච්ඡාව අතරතුර ගෙනහැර දැක්වූ අදහස් සහ නිර්දේශ ජාතික ආපදා කළමනාකරණ සභාවේ සාකච්ඡා සඳහා නිර්මාණාත්මකව දායක වනු ඇති බවටත්, ශ්‍රී ලංකාවේ සූදානම්කාරිත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට දැනට පවතින ජාතික උත්සාහයන්ට සහාය වනු ඇති බවටත් සිය අදහස් දැක්වීම අවසන් කරමින් සජිත් පෙන්වා දුන්නේය.
ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත, ජීවනෝපායන් සහ අනාගත සමෘද්ධිය ආරක්ෂා කරන සෑම මුලපිරීමකටම සහාය වීමට තමන් සූදානම් බව සජිත් නැවතත් ස්ථිර කළ අතර, දේශගුණික විපර්යාස සඳහා රටේ ප්‍රතිචාරය විද්‍යාව මගින් මෙහෙයවිය යුතු බවත්, ජාතික සමගිය තුළින් ශක්තිමත් කළ යුතු බවත්, දිගුකාලීන උපායමාර්ගික සැලසුම්කරණය මගින් තිරසරව පවත්වා ගත යුතු බවත් අවධාරණය කළේය.
මේ ආකාරයට අදහස් ප්‍රකාශ කොට විපක්ෂ නායකවරයා සියලු දෙනාගෙන්ම අවසර ගෙන රැස්වීමෙන් පිටව යෑමට පියවර ගත්තේය. කෙසේ වෙතත් එහිදී සජිත් දැක්වූ අදහස් සම්බන්ධයෙන් සියලු දෙනාම හොඳ තැනක සිටි ආකාරයක් ඔවුන්ගේ මුහුණුවල ඉරියව්වලින් දැකගත හැකි විය. එමෙන්ම ආණ්ඩුවේද අදහස වී තිබුණේ ජාතික ව්‍යසනයක් හමුවේ විපක්ෂ නායකවරයාගේ හැසිරීම ඉතා ප්‍රශස්ථ මට්ටමක ඇති බවකි. එමෙන්ම මෙය හොඳ දේශපාලන ප්‍රවණතාවක් බවද පක්ෂ – විපක්ෂ සියලු දෙනාගේම අදහස වී ඇත.
වමේ ජවිපෙට වෙච්ච දෙයක්
ජවිපෙ සහ මාලිමව එක්ව පසුගිය මැතිවරණයෙන් අතිවිශිෂ්ට බලයක් ලබා ආණ්ඩු පිහිටුවද්දී මුළු රටම සිතා සිටියේ ලංකාවේ පළමු වරට ප්‍රබලම වාමාංශික ආණ්ඩුව ඔවුන් විසින් පිහිටුවා ඇතැයි කියාය. එමෙන්ම ලොව දැනට සිටින ප්‍රබලම වාමාංශික රට වන චීනය සමග අතිසමීප සබඳතාවක් පවත්වාගෙන යනු ඇතැයි කියාය. අතීතයේ සිටම ජවිපෙ චීනය සමග සමීප සබඳතාවක් පවත්වාගෙන යෑම නිසා චීනයේද සහාය ගෙන ප්‍රබල වාමාංශික රටක් බිහිකරනු ඇතැයි කියාය. චීන කොමියුනිස්ට් පක්ෂය සමග සමීප සබඳතා පවත්වා ජවිපෙද ඊට සම්බන්ධ කරනු ඇතැයි කියාය.
නමුත් මේ වනවිට එම තත්ත්වයේ කිසියම් වෙනසක් සිදුව තිබෙනවාද? ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න මතුකරන්නට පටන් ගත්තේ පසුගිය සතියේ කොළඹදී පැවැති චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයේදී සිදුවූ යම් යම් සිදුවීම් හේතුකොට ගෙනය.
පසුගිය කාලයේ පැවැති ආණ්ඩු කිහිපයක්ම චීනය සමග ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී චීනය සමග පැවැතියේ අතිසමීප සබඳතාවකි. මහින්දගෙන් පසු බලයට පැමිණි මෛත්‍රිපාල සිරිසේනද චීනය සමග සමීප සබඳතාවක් පවත්වාගෙන ගියේය. මේ රජයයන් දෙක පැවැති කාලසීමාවන්වලදීද චීනය සිය කොමියුනිස්ට් පක්ෂයේ සංවත්සරයන් සැමරීමට කටයුතු කොට තිබූ අතර, එහිදී පවතින රජයටත්, බලයේ සිටින ජනාධිපතිවරයාටත් ප්‍රමුඛ ස්ථානය ලබාදීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම ප්‍රධාන දේශනය ආණ්ඩුවේ සිටින වමට බර චරිතයකට ලබාදීමද සාමාන්‍යයෙන් දැකගන්නට ලැබුණු සිදුවීමකි.
නමුත් මෙවර චීන කොමියුනිස්ට් පක්ෂ සංවත්සරයේදී දැකගන්නට ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීම් මාලාවකි. තුනෙන් දෙකක බහුතරයක් ඇති වාමාංශික පාලනයක් මෙරට තහවුරු වී තිබුණද මෙවර චීනය සිය පක්ෂ සංවත්සරයේදී වැඩි තැනක් ලබාදී තිබුණේ මාලිමා ආණ්ඩුවට නොව සිය පක්ෂ ස්ථාවරයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි දක්ෂිණාංශික කඳවුර, දකුණු ඉවුර, මානුෂීය ධනවාදය සිය ස්ථාවරය කොටගත් සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයටය. මෙරට චීන තානාපති කාර්යාලය මගින් සජිත්ට ඊට සහභාගි වන ලෙස ආරාධනා කරද්දීම දැනුම් දීමට කටයුතු කොට තිබුණේ විශේෂ ආරාධිතයකු ලෙස මෙහිදී සජිත්ට දේශනයක් ලබාදීමටද පියවර ගෙන ඇති බවකි.
ඒ අනුව චීන තානාපති කාර්යාලය ජනාධිපතිවරයාටද එම උත්සවයට ආරාධනා කොට තිබුණද කලින් යොදාගත් රාජකාරි කිහිපයක් හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගි වූයේ නැත. ඒ වෙනුවට ආණ්ඩුව නියෝජනය කරමින් ඊට සහභාගි වී සිටියේත්, කතාවක් කළේත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාය. ටිල්වින් සිල්වා සිය කතාව කොලයක් බලාගෙන සිංහලෙන් කරද්දී සජිත් කිසිදු කොලයක් නොබලා ව්‍යක්ත ඉංග්‍රීසි භාෂාවක් යොදාගනිමින් සිදුකළ දේශනය මෙහිදී සියලු දෙනාගේම අවධානයට ලක්විය. විශේෂයෙන්ම සජිත් සිය කතාවේදී චීන යෙදුම් යොදාගැනීම සම්බන්ධයෙන් චීන තානාපතිවරයා මෙන්ම අනෙකුත් නිලධාරීන්ද සජිත්ට ප්‍රශංසා මුඛයෙන් කතාකළ ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී දක්නට ලැබුණු අනෙක් විශේෂම සිදුවීම වූයේ සජිත් කතාව ආරම්භ කරද්දීම ජවිපෙ ලේකම් ටිල්වින් සිය අසුනෙන් නැගිට සභාවෙන් පිටව යාමය.
කෙසේවෙතත් චීනය සමග එදා සමීපව කටයුතු කළ හිටපු ජනාධිපතිවරුන් වන මහින්දත්, ගෝඨාභයත් එම අවස්ථාවට එක්ව සිටියද නාමල් රාජපක්ෂ සහභාගී නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය. නමුත් පොහොට්ටුව වෙනුවෙන් කතාවක් කිරීම බාරවී තිබුණේ පක්ෂ ලේකම් සාගර කාරියවසම්ටය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සාමාන්‍යයෙන් ඉහළ පෙළේ නිල උත්සවයක් යන්න පසෙක තබා සාගර සිය කතාවේදී ජවිපෙ ආණ්ඩුවට ප්‍රබල දේශපාලන ප්‍රහාරයක් එල්ල කර සිටීමය.
‘අපේ ආණ්ඩුව කාලෙ තමයි චීනයත් එක්ක සමීපව කටයුතු කරමින් දැවැන්ත සංවර්ධනයක් රටට අරන් ආවේ. චීනයේ ආධාර ඇතිව අපි දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකළා. හම්බන්තොට වරාය ඉදිකළා. මත්තල ගුවන් තොටුපොළ ඉදිකළා. හැබැයි අපි මේවා කරද්දි එ කාලේ විපක්ෂයේ හිටපු ජවිපෙ මන්ත්‍රීවරු අපි හොරකම් කරනවා කියලා ලොකු චෝදනාවක් එල්ල කළා. අද ඒ ජවිපෙ ආණ්ඩුව අරගෙන අපි කරපු දේම කරගෙන යනවා…‘ යනුවෙන් කියමින් සාගරද ඉංග්‍රීසි භාෂාවෙන් සිය අදහස් පළකිරීම සිදු කළේය.
ඉන් අනතුරුව එජාපය වෙනුවෙන් කතා කිරීම බාරව තිබුණේ වජිර අබේවර්ධනටය. වජිරද කොළයක් බලාගෙන ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළද ඒ කතාවට කිසිවෙකුත් සවන් දෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූයේ පක්ෂ මහලේකම් වීරසුමන වීරසිංහය.
ප්‍රේමදාසලගේ චීන යාළුකම
සජිත් සහ චීනය අතර සබඳතා පැවැතියේ අදක ඊයේක සිට නොව, සජිත්ගේ පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ සිටමය. රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයා වශයෙන් කටයුතු කරද්දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට විශාල වශයෙන් උදව් කළේ ඇමෙරිකාව, බි්‍රතාන්‍යය සහ ස්කැන්ඩිනේවියානු රටවල්ය. එහිදී චීනය සමග ගනුදෙනු කරමින් චීන ආධාර ලංකාවට ලබාගැනීමට කටයුතු කළේ අගමැති ප්‍රේමදාසය. මේ නිසා චීනය සහ ප්‍රේමදාස පවුල අතර විශේෂ සබඳතාවක් අතීතයේ සිටම ගොඩනැගී තිබුණි.
2001 වසරේ එජාප ආණ්ඩුව පිහිටුවීමෙන් පසු අන්ත දක්ෂිණාංශික නායකයකු ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහට වරෙක චීනයට යෑමට අවස්ථාව උදාවී තිබිණි. එහිදී චීනය බැලන්ස් කරගෙන එරටින් ආධාර උපකාර ලබාගැනීම සඳහා එවක නියෝජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ සජිත්වද සිය සංචාරයට එක්කර ගැනීමට රනිල් කටයුතු කළේය. එම සංචාරයේදී රනිල් ගොඩ ගියේ චීනයට සජිත්ව පෙන්වමින්ය.
කෙසේවෙතත් ඒ සබඳතා නිසා සජිත්ට චීන කොමියුනිස්ට් පක්ෂ සංවත්සර උත්සවයට ආරාධිත දේශනයක් කිරීමට අවස්ථාව දීමට චීනය පියවර ගත්තාද, එසේත් නැතිනම් දුරදිග බලා ඉදිරියේදී සිදුවීමට නියමිත දේශපාලන පෙරළි පිළිබඳ සිතාබලා චීනය සජිත්ට ආරාධනා කළාද යන්න සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු නැතත්, මෙම උත්සවයේදී අන් කවරෙකුටත් වඩා සජිත්ට අවස්ථාව ලබාදීමට චීනය කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ චීනය සජිත්ට ලබාදුන් මේ තැන නිසා උත්සවයට සහභාගි වී සිටි මාලිමා මැති ඇමැතිවරුන්ගේ සිත්වල පවා ප්‍රශ්නාර්ථයක් මතුව තිබූ බවකි. එය ඉදිරියේදී සිදුවීමට නියමිත විශාල පෙරළියක ආරම්භයක් මෙන්ම මාලිමාවට චීනයෙන් ලබාදුන් නිහඬ අනතුරු ඇඟවීමක් බව බොහේා දෙනාගේ මතය වී තිබිණි.
ඒ අනුව ලංකාවේ වාමාංශික පක්ෂයක් බලයට පත්ව සිටියදීත් චීනය මේ ආකාරයෙන් ඊට වැඩි බරක් නොතබා මානුෂීය ධනවාදය අගය කරන සජිත්ට සහ සජබයට වැඩි තැනක් ලබාදීමට කටයුතු කළේ ඇයි? මේ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී අපට දැනගන්නට ලැබුණේ වාමාංශික යැයි කියන මාලිමා ආණ්ඩුව චීනයට ලබාදී තිබූ පොරොන්දු කඩකිරීම මෙම තත්ත්වයට හේතුවී ඇතැයි කියාය. සාමාන්‍යයෙන් බොහෝ දෙනා සිතුවේ මාලිමාව සහ ජවිපෙ බලයේ සිටියදී චීනය විශාල වශයෙන් ලංකාවේ ආයෝජන කටයුතු සිදුකරනු ඇතැයි කියාය. එය තහවුරු කරමින් මුලින්ම ලංකාවට ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වූයේද චීනයය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා මුලින්ම සිදුකළ චීන සංචාරයේදී ගිවිසුම් රැසකට අස්සන් තැබූ අතර, අතිදැවැන්ත ආයෝජන ව්‍යාපෘතිවලටද අස්සන් තැබිණි. ඩොලර් මිලියන 5 ඉක්මවා යන හම්බන්තොට තෙල් පිරිපහදුව මෙන්ම තවත් ආයෝජන ව්‍යාපෘති රැසක් ලංකාවේ සිදුකිරීමටද චීනය එකඟතාව පළ කළේය. එහිදී චීනය පැත්තෙන් ඉදිරිපත්ව තිබුණේ එකම එක කොන්දේසියක් පමණි. ඒ, රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී තහනම් කරනු ලැබූ චීන පර්යේෂණ නෞකාවන්ට නැවත ලංකා මුහුදු සීමාවට ඇතුළු වී පර්යේෂණ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස පමණි. එහිදී ජනාධිපතිවරයාද ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් එම තහනම ඉවත් කරන බවට චීනයට දැනුම්දී තිබූ අතර, ඊට අදාළ ගිවිසුම් සංශෝධනය කොට කඩිනමින් යළි සකස් කිරීමට කටයුතු කරන බවටද දැනුම්දී තිබිණි.
නමුත් එම සංචාරය අවසන් වී මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් ගතව තිබුණද, තවමත් ඊට අදාළ ගිවිසුම ආණ්ඩුව පැත්තෙන් එළියට දැමීමට කටයුතු කොට නැත. අවස්ථා ගණනාවකදීම චීනය මේ පිළිබඳ ලංකා ආණ්ඩුවට සිහි කැඳවීම් කළද, විවිධ කරුණු ඉදිරිපත් කරමින් ආණ්ඩුව එය මගහැර සිටි ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කොට ඒ කමිටුව හරහා මෙම ගිවිසුම සකස් කොට අවසන් කර තිබුණද, එය එළියට නොදැමීමට ආණ්ඩුව තීරණය කොට තිබිණ. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ආණ්ඩුව ගෙන ඇති මෙම තීන්දුව මීට සති දෙකකට පෙර චීනයටද සහතික කොට දැනගන්නට ලැබී ඇති බවකි. ඇතැම් විට චීනය සිය කොමියුනිස්ට් පක්ෂ සංවත්සරයේදී ආණ්ඩුවට වඩා විපක්ෂයට තැන ලබාදීමට පියවර ගෙන තිබුණේ එම තොරතුර වාර්තා වීමෙන් පසුව විය යුතුය.
මහින්දගේ අනුප්‍රාප්තිකයා
මේ අතර පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් විශේෂ අනාවරණයක් සිදුකරමින් කියා සිටියේ ඇමෙරිකානු නියෝජිතයන් කොළඹ වරායේත්, හම්බන්තොට මත්තල ගුවන් තොටුපළේත්, ත්‍රිකුණාමල වරායේත්, දැවැන්ත ආයෝජන සිදුකිරීමට සැලසුම් කරමින් සිටින බවකි. ඒ හරහා නාවික ක්ෂේත්‍රය සම්බන්ධ විශේෂ ව්‍යාපෘති රැසක් දියත් කිරීමට ඇමෙරිකාව සැලසුම් කරමින් සිටින බව එහිදී අප සඳහන් කර සිටියෙමු. ඒ අනුව මේ සතිය වනවිට අපට ලැබී ඇති තොරතුරුවලින් කියවෙන්නේ එම ආයෝජන ක්‍රියාත්මක කිරීමේ මූලික අදියරයන් ආරම්භ කිරීමට මේ වනවිටත් ඇමෙරිකාව කටයුතු කරමින් සිටින බවකි.
එමෙන්ම ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන මහින්ද සමරසිංහ මහතා සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ විශේෂ තොරතුරු කිහිපයක්ම මෙම තීරයෙන් වාර්තා කිරීමට අප කටයුතු කළෙමු. එහිදී අප කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනකු යටතේ විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස ලංකාව මුල්කරගෙන විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික මෙහෙවරක් ඉටුකළ මහින්ද සමරසිංහ සිය සේවය අවසන් කිරීමට තවත් කල් තිබියදී මෙම මස 31 වැනි දින වනවිට තනතුරෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බවකි. ඊට අදාළ සිය ඉල්ලා අස්වීමේ ලිපියද විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමුකර තිබූ බවක් අප වාර්තා කර සිටියෙමු. ඒ අනුව මෙවර අප වාර්තා කිරීමට සූදානම් වන්නේ එම ලිපිය ලැබී බොහෝ කලකට පසු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ ලිපිය පිළිගත් බවට දැනුම් දීමට පියවර ගෙන ඇති බවය. ඒ අනුව එය වොෂින්ටනයට දැනුම් දීමටද විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව පසුගිය කාලයේදී ආණ්ඩුවට විශාල ප්‍රශ්නයක් වී තිබුණේ ලංකාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළ මහින්ද සමරසිංහගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙනි. ඒ අනුව මේ වනවිට ජනාධිපතිවරයාද මෙම තීරණාත්මක තනතුර සඳහා පත්කිරීමට සුදුසු පුද්ගලයකු සොයාගෙන අවසන් බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා සමීපයේ කටයුතු කරන, ජනාධිපතිවරයාට කිට්ටුම අයෙකු එම තනතුරට පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බවකි. තමන්ට විශ්වාසවන්තම හිතවතෙකු එම තනතුරට පත්කිරීම හරහා ඇමෙරිකාව සහ තමන් අතර විශේෂ සබඳතාවක් ගොඩනගා ගැනීමටද මෙහිදී ජනාධිපතිවරයා සැලසුම් කරමින් සිටින බවක්ද ආරංචිය.
මූල්‍ය අරමුදලේ රතු එළිය
පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක නිරත වී ජනාධිපතිවරයා හමුවීමෙන් පසු මාධ්‍ය හමුවකට පෙනී සිටීමට පියවර ගත්තේය. එහිදී බරපතළ ආර්ථික ආපදා කිහිපයකින් පසුව ලංකාව නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වෙමින් සිටින බවට ප්‍රශංසාත්මක මුඛයෙන් අදහස් දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කටයුතු කොට තිබිණි. මේ ආකාරයට රටටම දැනෙන්නට ලංකාවේ ආර්ථිකය පිළිබඳ අදහස් ප්‍රකාශ කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවෙන් නික්ම ගිය පසු ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සකස් කළ අවසන් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට පියවර ගත්තේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ලංකාවේ සිටියදී මෙරට ආර්ථිකය පිළිබඳ මහ ඉහළින් කතා කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පසුව නිකුත් කළ වාර්තාව හරහා ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් බරපතළ අනතුරු ඇඟවීම් ගණනාවක්ම සිදුකොට තිබීමය. ඒ අනුව බොහෝ දෙනාගේ අදහස වී තිබුණේ ලබන මාර්තු මාසයෙන් පසු ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුමෙන් ඉවත් වීමට ගෙන ඇති තීන්දුවට අප්‍රසාදය පළ කිරීමක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හිතාමතාම මේ ආකාරයේ ගේමක් ගැසුවා යැයි කියාය. ඒ අනුව ඔවුන් සිය වාර්තාව මගින් ලංකාව ගැන පළකොට තිබුණේ මෙවැනි ස්ථාවරයකි.
‘ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රසිද්ධියේ ප්‍රශංසා කළද, රටේ දිගුකාලීන පැවැත්ම තීරණය කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ දේශපාලන හේතු මත ප්‍රමාද නොකරන්නැයි ඔවුන් රජයට දැඩි ලෙස බලකර සිටී.
කොළඹ පැවැති සතියක සමාලෝචන මෙහෙයුමකින් පසු මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපගේඕජියු මහතා පෙන්වා දෙන්නේ මතුපිටින් පෙනෙන යථා තත්ත්වයට පත්වීමට යටින් තවමත් බරපතළ අවදානම් පවතින බවයි.
සහන මල්ල ගැන දුන් රහසිගත පණිවිඩය
මැදපෙරදිග දේශපාලන අර්බුදය හමුවේ ඉන්ධන, විදුලිය, පොහොර සහනාධාර සහ අස්වැසුම වැනි සෘජු මුදල් හුවමාරු හරහා ජනතාවට සහන දීමට රජය ප්‍රතිපත්තිමය නම්‍යශීලීභාවය භාවිත කිරීම අයිඑම්එෆ් ඇගයීමට ලක් කර ඇත.
දැඩි කොන්දේසිය
මෙම සහන පියවර සියල්ල අනිවාර්යයෙන්ම ‘තාවකාලික’ විය යුතු බවට ඔවුන් රජයට රහසිගතව දැනුම් දී තිබේ.
ඉලක්කය
2027 වනවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්ත ඉලක්කය සපුරා ගැනීමට නම් මූල්‍ය විනය වහාම තහවුරු කළ යුතුය. දේශපාලන වාසි තකා දිගින් දිගටම හදිසි වියදම් කළහොත් ණය අර්බුදයෙන් ගොඩ ඒමට ගත් දැඩි උත්සාහයන් සියල්ල වතුරේ යනු ඇත.
පද්ධතිය කඩාවැටීමේ මුල් ලකුණු
මූල්‍ය අරමුදලේ මෙම අනතුරු ඇඟවීම් තහවුරු කෙරෙන ආර්ථික දර්ශක කිහිපයක් මේ වන විටත් මෙරට ආර්ථිකයෙන් මතුවෙමින් පවතී.
උද්ධමනය සහ සංචිත
ගෝලීය බලශක්ති මිල ඉහළ යාම නිසා ඉකුත් පෙබරවාරි මාසයේ 1.6% ක් ලෙස පැවති උද්ධමනය මැයි වන විට 5.5% දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. රටේ ප්‍රධානතම ඩොලර් උල්පතක් වන සංචාරක පැමිණීම් මන්දගාමී වී ඇති අතර, මහ බැංකුවේ විදේශ සංචිත රැස් කිරීමේ වේගය ද දුර්වල වෙමින් පවතී. උද්ධමනය පාලනයට මහ බැංකුවට පොලී අනුපාත පදනම් ලකුණු 100කින් ඉහළ දැමීමට ද සිදු විය.
නොකළහොත් වදින ඊළඟ ප්‍රහාරය
ආර්ථික ඉලක්කවලට වඩා රාජ්‍ය පාලනය සහ ආයතනික ව්‍යුහයන් වෙනස් කිරීම කෙරෙහි අයිඑම්එෆ් මෙවර දැඩි අවධානයක් යොමු කර ඇත.
මූල්‍ය අංශය සහ සයිබර් ආරක්ෂාව
මූල්‍ය අංශ අධීක්ෂණය දැඩි කිරීම, සයිබර් ආරක්ෂණ මෙවලම් සහ මුදල් විශුද්ධිකරණ විරෝධී නීති ශක්තිමත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.
දේශපාලන බිය
බදු ක්‍රමය, කම්කරු නීති, වෙළෙඳ ප්‍රතිපත්ති සහ ආයෝජන පරිසරය මුළුමනින්ම වෙනස් කළ යුතුය. මෙම සංවේදී ප්‍රතිසංස්කරණවලට දේශපාලන වශයෙන් බිය වුවහොත්, පවතින මූල්‍ය ස්ථාවරත්වයෙන් පමණක් රැකියා උත්පාදනයක් හෝ දිළිඳුකම පිටුදැකීමක් සිදු නොවන බව අයිඑම්එෆ් අවධාරණය කරයි.
තවද, රාජ්‍ය පරිපාලන අකාර්යක්ෂමතාව නිසා සුළි සුළඟින් විනාශ වූ ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම ඔවුන්ගේ දෝෂදර්ශනයට ලක්ව ඇත. ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වෙමින් පැවතුණද, ඉදිරියේදී නැවත ණය උගුල්වල නොවැටීම සඳහා ‘රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය’ ස්වාධීනව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. ව්‍යාප්ත අරමුදල් පහසුකමේ 7 වැනි සමාලෝචනයට ලංකාව සූදානම් වන විට, රජය මෙම අසීරු තීන්දු ගන්නවාද නැද්ද යන්න මත ඊළඟ ඩොලර් වාරිකය තීරණය වනු ඇත.‘ යනුවෙන් එහි සඳහන්ව තිබිණ.
කාදිනල් හිමිගේ රහස
කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තොරතුරු වාර්තා කරමින් කියා සිටියේ නුදුරු දිනකදීම උන්වහන්සේගේ සේවා කාලය අවසන් වීමට නියමිතව ඇති බවත්, ඉන් අනතුරුව උන්වහන්සේ විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බවත්ය. පාස්කු ප්‍රහාරය එල්ල වූ 2019 වසරෙන් පසු උන්වහන්සේ විශ්‍රාම යෑමට නියමිතව තිබුණත්, පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සොයාගැනීම වෙනුවෙන් දියත් කළ සටන හේතුකොට ගෙන හිටපු පාප්වහන්සේ විසින් කාදිනල් හිමියන්ගේ ධුර කාලය වසර කිහිපයකින් දීර්ඝ කිරීමට වාචිකව කටයුතු කොට තිබූ අපි වාර්තා කර සිටියෙමු. නමුත් නව ලියෝ පාප්වහන්සේ පත්වීමෙන් පසු දැඩි ස්ථාවරයක සිටිමින් උන්වහන්සේ අවුරුදු 75 ඉක්මවූ සියලු කාදිනල් හිමිවරුන් විශ්‍රාම ගතයුතු බවට දැනුම් දීමක් කර තිබූ බවද අප මෙම තීරයේ වාර්තා කර සිටියෙමු. එය ක්‍රියාවට නංවමින් තමන්ට අතිශය හිතවත් කාදිනල් හිමිනමකද සේවයෙන් විශ්‍රාම ගැන්වීමට පාප්වහන්සේ කටයුතු කළ බවද අපි වාර්තා කර සිටියෙමු. ඒ අනුව අප පසුගිය ජුනි මස 07 වැනිදා මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ගෙන එමින් කියා සිටියේ 2027 ආරම්භ වනවිට ලංකාවේ නව අගරදගුරුතුමෙකු පත්කිරීමට වතිකානුව තීරණය කොට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නම් 3ක් තමන් වෙත එවන ලෙසට කාදිනල් හිමියන්ට වතිකානුවෙන් දැනුම් දී ඇති බවත්ය. එම නම් 3ද සමග ජුනි මස 07 වැනිදා ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අප කළ අනාවරණය මෙසේය.
අලුත් අගරදගුරු පියතුමෙක් එනවා…
කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අවසන් වතාවට වතිකානුවට ගොස් සුළු මොහොතකට ලියෝ පාප්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ ආකාරයත්, එහිදී කාදිනල් හිමියන් තමන්ට සේවා දිගුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි ආකාරයත්, අවුරුදු 75 ඉක්මවීමෙන් පසු අගරදගුරු පදවියෙන් විශ්‍රාම යෑමේ සම්ප්‍රදාය පිළිබඳ දැනුම් දෙමින් පාප්වහන්සේ එය ප්‍රතික්ෂේප කළ ආකාරයත් මීට මාස ගණනාවකට ඉහතදී ‘රාජ්‍ය රහස්‘ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අපි වාර්තා කළෙමු. එමෙන්ම එම හමුවේදී නව අගරදගුරුවරයා වශයෙන් පත්විය යුතු තැනැත්තා පිළිබඳ නම් තුනක් නම්කර එවන ලෙසද මැල්කම් රංජිත් හිමිපාණන්ට පාප්වහන්සේ විසින් දැනුම් දීමක් කර තිබිණි. අප ඒ බවද එකල රාජ්‍ය රහස් තීරයෙන් වාර්තා කිරීමට කටයුතු කළෙමු.
ඒ අනුව ලබන 26, 27 යන දෙදින ලොව පුරා සිටින කාදිනල් හිමිපාණන් වහන්සේලා වතිකානුවට කැඳවීමට ලියෝ පාප්වහන්සේ කටයුතු කොට තිබේ. ඒ අනුව ඊට කාදිනල් හිමිවරුන් 237ක් සහභාගි වීමට නියමිතව ඇති අතර, විශේෂ මාතෘකා කිහිපයක්ම එම හමුවේදී සාකච්ඡා වීමට නියමිතව ඇති බවක් දැනගන්නට ඇත.
එමෙන්ම අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ද මෙවර වතිකානුවේ රැස්වීමට සහභාගි වීමට සූදානමින් සිටින බවත්, එහිදී ඊළඟ අගරදගුරු තනතුර සඳහා අලූත් නම් 3ක් පාප්වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බවත්ය. ඒ අනුව නිල නොවන තොරතුරුවලින් කියැවෙන්නේ කොළඹ සහායක අගරදගුරු වන බිෂොප් ඇන්තනී, කොළඹ සහායක අගරදගුරු වන ඇන්ටන් රංජිත් සහ ගාල්ල බිෂොප්වරයා ලෙස කටයුතු කරන රෙජිනෝල්ඩ් වික්‍රමසිංහ යන පියතුමන්ලාගේ නම් එසේ කාදිනල් හිමියන් විසින් නව පාප්වහන්සේ වෙත භාරදීමට නියමිතව ඇති බවය.
එමෙන්ම අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම හමුව සඳහා පාප්වහන්සේ කාදිනල් හිමියන්ට විනාඩි 3ක කාලයක් පමණක් ලබාදී ඇති බවය. ලබන නොවැම්බර් 15 වැනිදා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ පදවියේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇති බැවින් ඊට මාස 2කට පෙරාතුව නව අගරදගුරුවරයා සම්බන්ධයෙන් වූ ඉඟිය පාප්වහන්සේ විසින් ලබාදීමට නියමිතය. ඒ අනුව 2027 වසර ආරම්භ වනු ඇත්තේ වසර ගණනාවකට පසු ලංකාවට අලූත් අගරදගුරුවරයකු පත්කරමිනි.
කෙසේ වෙතත් මෙම වතිකානු සංචාරයෙන් පසුව මැල්කම් රංජිත් හිමිපාණන් යළි ලංකාවට පැමිණෙන්නේ සුපුරුදු පරිදි යුරෝපා සංචාරයක නිරත වීමෙන් අනතුරුවය.
(‘රාජ්‍ය රහස්’ ජුනි 07)
ඒ අනුව අප කළ අනාවරණය මේ වනවිට තහවුරු වී ඇත්තේ පසුගිය සතියේ කතෝලික සභාව මාධ්‍ය වෙත නිකුත් කළ ලිපියත් සමගය. එම ලිපියෙහි එක් තැනක සඳහන් වන්නේ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 75 වැනි විය සපිරූ වහාම පාප්වහන්සේ වෙත සිය විශ්‍රාම ගැන්වීමේ ලිපිය යොමුකර ඇති බවය. මේ ආකාරයට පාප්වහන්සේ සිය විශ්‍රාම ගැන්වීමේ ලිපිය භාරදී ඇති බවක් පළමු වරට රටට අනාවරණ වූයේ කතෝලික සභාව විසින් මෙම ලිපිය නිකුත් කිරීමත් සමගය.
ටිල්වින්-වරුණ හබය
මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ පාතාල නායක හරක් කටාගෙන් රුපියල් කෝටි 20ක මුදලක් ගැනීමේ සිද්ධියක් මත හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ මහතාත්, සජබ හිටපු ආසන සංවිධායකවරයකු වූ චරිත් අබේසිංහ මහතාත් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියය. මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු සජබය වහාම චරිත් අබේසිංහට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් පක්ෂයේ සියලු තනතුරුවලින් ඔහු ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊට පසු දින මාධ්‍ය හමුවක් පැවැත්වූ සජබ ආසන සංවිධායකවරයකු වන වරුණ දීප්ත රාජපක්ෂ මහතා විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා චරිත් අබේසිංහට දුරකතන ඇමතුමක් ලබාදීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළ බවකි. ඒ සම්බන්ධයෙන් වරුණ රාජපක්ෂ මාධ්‍ය හමුවේ අදහස් පළ කළේ මෙසේය.
‘මට මීට මාස දෙකකට වගේ කලින් චරිත් අබේසිංහ දවසක් දුරකතන ඇමතුමක් දෙනවා. දුරකතන ඇමතුමක් දීලා මගෙන් අහනවා වරුණ ඔයාට ටිල්වින් සිල්වා කතා කළොත් ඔයා කතා කරනවද කියලා. මං චරිත්ට කියනවා ඉතින් මට කතා කළොත් කතා කරනවා. නෑ මං අහන්නේ මේ එහෙම නෙවෙයි ඔයාට කතා කළොත් ඇත්තටම ඔයා කතා කරනවද? මං අහනවා චරිත් ඇයි ඔය මගෙන් අහන්නේ කියලා. එතකොට චරිත් මගෙත් එක්ක කිව්වා ඔහුගේ ඉතාම සමීප හිතවතෙකු ඔහුට කතා කරලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාව මුණගැහෙන්න, ජනාධිපතිවරයාට ඔහු මුණගැහෙන්න අවශ්‍යයි කියලා ඔහුට හමුවෙන්න ඕන කියලා කිව්වා කියලා. ඊට පස්සේ මං ඒකයි ඔයාගෙන් ඇහුවේ ඔයාට එහෙම කතා කළොත් ඔයා කතා කරනවද කියලා. මං එතකොට චරිත්ට කිව්වා චරිත් මට අනුරව හරි ටිල්වින්ව හරි හම්බවෙන්න ඕනේ නෑ. මට කතා කරන්න ඕනෙත් නෑ. මොකද මං මීට අවුරුදු පහළොවකට කලින් පැය ගානක් නෙමෙයි දවස් ගානක් කතා කරලා මට කතා කරන්න තියෙන දේවල් ඔක්කොම ඉවර කරගෙන තියෙන්නේ. හැබැයි ඔයාට මොකක් හරි හේතුවකට කතා කරනවා නම් ඔයා කැමැති නම් ඉතින් කතා කරන්න ඒකේ ප්‍රශ්නයක් නෑනේ කියලා. චරිත් කිව්වා නෑ එහෙම එකක් නෙමෙයි ඒක පොඩි දේශපාලන කතාවක්. ඒකයි මං ඇහුවේ කියලා. ඊට පස්සේ මං දන්න විදිහට චරිත්ට හම්බ වුණේ නැහැ. හැබැයි මං ඕක ගැන කා එක්කවත් කියන්න ගියේ නැහැ. ඉතින් පෞද්ගලික කෙනෙක්ට කරපු කතාබහක් හින්දා…’ යැයි වරුණ රාජපක්ෂ එහිදී කියා සිටියේය.
කෙසේ වෙතත් වරුණ මෙම ප්‍රකාශය කොට පැය 24ක් යෑමට මත්තෙන් ටිල්වින් සිල්වා ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගෙන තිබිණි. ජවිපෙ ලිපි ශීර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කරමින් ටිල්වින් කියා සිටියේ වරුණ කළ එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් කටයුතු කරන බවත්ය.
මාධ්‍ය නිවේදනයයි
අද (26) සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදු කොට ඇති බරපතළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳව කරුණු පැහැදිලි කළ යුතුව ඇත.
මෙම මාධ්‍ය හමුවේදී ඔහු ඊයේ (25) දිනයේ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනුණු චරිත් අබේසිංහ නම් පුද්ගලයාට මාස 02කට පෙර අප පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවත්, ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බවත් ප්‍රකාශ කරයි.
මෙම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය වන අතර එබඳු ප්‍රකාශයක් පාතාල සබඳතා හා බැඳුණු අල්ලස් සිදුවීම හමුවේ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස කෙතරම් කලබල වී ඇත්ද යන්න හා බංකොලොත් වී ඇත්ද යන්න පෙන්වා දෙයි. අනෙක් අතට වරුණ රාජපක්ෂ නැමැත්තා ලවා මෙබඳු අතේ රෝලක් මාධ්‍ය හමුවේ කියවීමට තරම් නිවට තත්වයකට සමගි ජන බලවේගය වැනි පක්ෂයක් වැටී තිබීම කනගාටුදායකය.
වෙනත් පක්ෂවලට විවිධ වුවමනාකම් මත පසුබිම නොසලකා පුද්ගලයින් එකතු කර ගැනීමට අවශ්‍ය වුවද අපරාධකරුවන් අප පක්ෂයට හෝ ආණ්ඩුවට එකතු කර ගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නොමැත. එසේම මෙබඳු සාවද්‍ය ප්‍රකාශ කොට ඇතැමුන් අපරාධමය සිදුවීම්වලට ලැබිය යුතු සමාජ අවධානය වෙනත් අතකට යොමු කිරීමට සහ අපරාධකරුවන්ට සුදුහුණු ගෑමට දරන උත්සාහයද නිෂ්ඵලය.
මෙම තත්වය තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් අප පක්ෂයට අවලාද නැගීමට සමගි ජන බලවේගයේ ඇතැමුන් දරන උත්සාහය දැඩිව හෙළා දකින අතර මෙම සාවද්‍ය ප්‍රකාශයන් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද අවධාරණය කරමු.
මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ
2026.06.26
කෙසේ වෙතත් ටිල්වින් විසින් මෙම නිවේදනය නිකුත් කොට මොහොතක් ගතවීමට මත්තෙන් නැවත වතාවක් වරුණ සිය සමාජ මාධ්‍ය ජාලයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඊට අභියෝග කිරීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. එහිදී වරුණ ටිල්වින් සම්බන්ධයෙන් කියා සිටියේ මෙවැනි කතාවකි.
‘අපි මේ වැඩසටහන බලන ජනතා විමුක්ති පෙරමුණේ හිතවතෙක් ඉන්නවා නම් තහවුරු කරලා කියන්න මේක ෆේක් එකක්ද නැද්ද කියලා. මොකද ඇත්තටම මට හිතුණා මේක දැක්ක ගමන් නිකන් මේ වගේ මෝඩ වැඩක් ජනතා විමුක්ති පෙරමුණෙන් කරනවා කිව්වම මේක ෆේක් එකක් වෙන්නත් පුළුවන් කියලා. නමුත් මේක මාධ්‍යයට යවලා තිබුණා. ඒ නිසා මං හිතන්නේ ඇත්ත එකක් කියලා.’
‘මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය. 06/26 තමයි මේ මාධ්‍ය නිවේදනය යවන්නේ. ඉතින් මේක ඇත්ත එකක් නම් පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයට. මං හිතන්නේ ඒක භාරව කටයුතු කරන්නේ ටිල්වින් සිල්වා මහත්මයා ජනතා විමුක්ති පෙරමුණේ. ඒක නිසා මේක මාලිමාවේ නෙවෙයිනේ. ඉතින් ඒ නිසා ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනෙ. මොකද ඊයේ මම කරපු මාධ්‍ය සාකච්ඡාව වෙනුවෙන් තව මාධ්‍ය නිවේදනයක්, ඒ කියන්නේ සමගි ජන බලවේගයේ මාධ්‍ය සාකච්ඡාවක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් මාධ්‍ය නිවේදනයක් දාලා ඒ මාධ්‍ය සාකච්ඡාව බලන්න අවධානය අරන් දෙනවා කියලා කියන්නේ ඒක වෙන ලෙවල් එකක වැඩක්නේ. ඒක මරු, තෑන්ක් යූ.’
‘ඊළඟට මෙහි සඳහන් වෙලා තියෙන කරුණු කීපයක් ගැන කියන්න ඕනෙ. එකක් තමයි මේකේ තියෙනවා මේ ‘සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නමැත්තා විසින් සිදුකර ඇති බරපතළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳ කරුණු පැහැදිලි කළ යුතුයි’ කියලා. මේකේ සඳහන් වෙලා තියෙනවා ‘අප පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බවත් ප්‍රකාශ කරයි’ කියලා. ඒ කියන්නේ මම කිව්වා කියලා ටිල්වින් සිල්වා දුරකතන ඇමතුමක් දීලා තියෙනවා සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාව හම්බවෙන්න එන්න කිව්වා කියලා.’
‘මං හිතන්නේ මම මේක කළේ සිංහල භාෂාවෙන්. මං හිතන්නේ සිංහල භාෂාව පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් තියෙනවා නම් එහි සඳහන් වෙලා තියෙන්නේ මේ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙන කරුණුද කියලා ඒක අහලා ඕගොල්ලොම තීරණය කරන්න. ඒ කියන්නේ මීට මාස දෙකකට පෙර අප පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවත්, ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවත් ප්‍රකාශ කරයි. මං හිතන්නේ මේක ටිල්වින් සිල්වා මේ මාධ්‍ය නිවේදනය දැක්කේ නැත්නම් හෝ මගේ මාධ්‍ය සාකච්ඡාව ඇහුවේ නැත්නම් මම හිතන්නේ ටිල්වින් සිල්වා මහත්මයාටත් මේ කොටස සම්පූර්ණ අහන්න වෙලා නැති වෙන්නත් පුළුවන්නේ. මේ කොටස අපි උපුටලා දක්වනවා. ඒක අහලා ඔබේ මාධ්‍ය අංශයට එක්කෝ සිංහල භාෂාව පිළිබඳ අවබෝධයක් ලබාදෙන්න. එහෙම නැත්නම් වහාම මාධ්‍ය ඒකකයේ ඉන්න අයට යම්කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් පිරිසක්ව එකතු කරගන්න.’
‘දෙවැනි කාරණාව මේකේ කියනවා ‘වෙනත් පක්ෂවලට විවිධ වුවමනා එපාකම් මත පසුබිම නොසලකා පුද්ගලයන් එකතු කරගැනීමට අවශ්‍ය වුවද අපරාධකරුවන් අප පක්ෂයට ආණ්ඩුකරණයට එකතු කරගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැත’ කියලා. හැබැයි අපිට මතකයි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කිව්වා ඊබ්‍රාහිම් නානා ගැන කියද්දි ‘අපි කාලා බලලා නෙවෙයි ගත්තේ’ කියලා. ඉතින් ඊබ්‍රාහිම් නානාගේ පසුබිම, ඒ කියන්නේ මේකේ කියනවා මේ ‘අප පක්ෂය විවිධ වුවමනාවන් මත පසුබිම නොසලකා පුද්ගලයන් එකතු කරගන්නේ නෑ’ කියලා. සමහරවිට මං හිතන්නේ ඒ තීරණය ගන්න ඇත්තේ ඊබ්‍රාහිම් නානාගේ සිද්ධියෙන් පස්සේ වෙන්න ඇති. ඒ නිසා අපි ඒකට සමාව දෙමු.’
‘ඊට පස්සේ මේකේ සඳහන් කරලා තියෙනවා ‘ සමගි ජන බලවේගයේ ඇතැමුන් දරන උත්සාහය දැඩිව හෙළා දකින අතර, මෙම සාවද්‍ය ප්‍රකාශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් අවධාරණය කරමු’. නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක ඉතින් ඉතාම හොඳයිනේ. රටේ නීතියක් තියෙනවනේ. ඒ නීතිය අනුව කටයුතු කරන එක හොඳයි බලනහර ඒකකයක් වගේ ඒකකයක් යොදවන්නේ නැතුව සාමාන්‍ය නීතිය අනුව කටයුතු කරන එක. කාට හරි නීතිමය වශයෙන් මොකක් හරි දෙයක් වුණා නම් ඒක ඉතාම හොඳ තීරණයක්. ඒක ගැනත් අපි ස්තුතිවන්ත වෙනවා. මොකද මේ අර වෙන ආකෘතියේ පාවිච්චි කරන අසූචි ඒකක, බලනහර ඒකක වගේ ඒකක වෙනුවට මේ නීතිය ක්‍රියාත්මක කරන එකට.’ යනුවෙන් එහිදී වරුණ කියා සිටියේය.










