වෙනිසියුලාවට බලපෑ ඉතා දරුණු භූමිකම්පාව හේතුවෙන් මියගිය නිල මරණ සංඛ්‍යාව 2,295 දක්වා ඉහළ ගොස් තිබේ.Sri Lanka Latest News
විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අද (02) වන විට හත්වන දිනටත් ක්‍රියාත්මක වන අතර, අතුරුදන් වූවන් සොයාගැනීම සහ අවතැන් වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් එර රට නව රජය දැඩි අභියෝගයකට මුහුණ දී සිටී.
පසුගිය ජූනි 24 වන දින තත්පර 39ක පරතරයක් ඇතිව වෙනිසියුලාවේ උතුරු-මධ්‍යම ප්‍රදේශයට රික්ටර් මාපකයේ 7.2 සහ 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක් බලපෑවේය.
නිකුත් කර ඇති නවතම වාර්තාවලට අනුව, මෙම අනතුරෙන් පුද්ගලයන් 11,267 දෙනෙකු තුවාල ලබා ඇත. ප්‍රධාන භූමිකම්පාවෙන් පසු පසුකම්පන 782ක් වාර්තා වී ඇති නමුත්, එහි ප්‍රබලත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතී බව සඳහන් වේ.
දැනට විපතට පත් ප්‍රදේශවල ජාත්‍යන්තර මුදාගැනීමේ නිලධාරීන් 4,000කට අධික පිරිසක් සහ වෙනිසියුලානු හමුදාව, පොලිසිය, ගිනි නිවන භටයන් ඇතුළු 26,000ක පිරිසක් සහ ස්වේච්ඡා සේවකයන් 17,800කට වැඩි පිරිසක් සහන සේවා සඳහා යොදවා තිබේ.
මේ වන විට මුදාගැනීමේ මෙහෙයුම්වලට වඩා මානුෂීය ආධාර සැපයීම කෙරෙහි අවධානය යොමු වෙමින් පවතී.
කෙසේ වෙතත්, සුන්බුන් අතර තවමත් කොපමණ පිරිසක් සිරවී සිටින්නේද යන්න විශාලතම ගැටලුව වී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් ඇස්තමේන්තු කර ඇති පරිදි, තවමත් පුද්ගලයන් 50,000කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව හෝ සොයා ගැනීමට නොහැකිව පසුවේ.
සිවිල් සංවිධාන පවත්වාගෙන යන දත්ත පද්ධතිවලට අනුව ද අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 43,000කට අධිකය.
භූමිකම්පාවෙන් දරුණුතම බලපෑමක් එල්ල වූ වෙරළබඩ ප්‍රාන්තයක් වන ‘ලා ගුවයිරා’ හි කැටියා ලා මාර්, කරබලෙඩා සහ ලොස් කොරාලස් වැනි ප්‍රදේශවලින් මේ වන විට දැඩි මළ සිරුරු කුණු වීමේ ගන්ධයක් වහනය වන බව වාර්තා වේ.
කඩා වැටුණු මහල් නිවාස සහ ගොඩනැගිලිවල සුන්බුන් අතර තවමත් විශාල පිරිසකගේ සිරුරු පවතින බවට මෙය සාක්ෂියක් වන අතර, මේ හේතුවෙන් සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් ඉහළ යා හැකි බවට වැසියන් බිය පළ කරති.
වසර ගණනාවක ආර්ථික බිඳවැටීම හේතුවෙන් වෙනිසියුලාවේ ආයතනික පද්ධතිය දුර්වල වී පැවතීම, මෙවැනි මහා පරිමාණ ව්‍යසනයක් පාලනය කිරීමට බාධාවක් වී ඇත.
ලා ගුවයිරා හි මෘත ශරීරාගාර පිරී ඉතිරී ගොස් ඇති අතර, වරාය ආසන්නයේ එළිමහන් තාවකාලික ස්ථාන සකසා මළ සිරුරු හඳුනා ගැනීමට පවුල්වල අයට අවස්ථාව සලසා දී තිබේ.
එරට වාර්තාවලට අනුව මේ වන විට පවුල් 81,589කට සහන සලසා ඇත.
ආහාර කිලෝග්‍රෑම් මිලියන 8.89ක් බෙදා හැර තිබේ.
රෝගීන් 17,026 දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර, ඉන් 4,565 දෙනෙකු රෝහල්ගත කර ඇත.
නිවාස අහිමි ව අවතැන්වූවන් සංඛ්‍යාව 12,841 කි.
අවතැන් වූවන් සඳහා රට පුරා තාවකාලික කඳවුරු 25ක් ක්‍රියාත්මක වේ. අන්තර්කාලීන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස්ගේ නියෝගය පරිදි, මෙම කඳවුරු වඩාත් ශක්තිමත් තාවකාලික නවාතැන්පොළවල් බවට පත් කිරීමට කටයුතු යොදමින් පවතී. එමෙන්ම නිවාස අහිමි වූ වෛද්‍යවරුන්, හෙදියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා කරාකස් නුවර හෝටල්වල තාවකාලික නවාතැන් පහසුකම් සලසා ඇත.
ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබුණද, පිරිසිදු පානීය ජලය නොමැතිකම, විදුලි බිඳවැටීම් සහ සන්නිවේදන ගැටලු හේතුවෙන් විපතට පත් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. තවදුරටත් පසුකම්පන ඇතිවේය යන බිය නිසා බොහෝ දෙනෙක් ඉරිතලා ගිය නිවාසවලට යාම ප්‍රතික්ෂේප කරන බව වැඩිදුරටත් සඳහන්වේ.










