මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇති එල්නීනෝ ලානීනා තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම් හඳුනා ගැනීමටත් එම බලපෑම් සඳහා රටක් ලෙස මුහුණ දීමට අවශ්‍ය උපදේශනය සහ තොරතුරු ලබා දීම අරමුණු කර ගෙන දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය යටතේ ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි.මේ අවස්ථාවට මහබැංකුව, මහා භාණ්ඩාගාරය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් රැසක් ඇතුළු විශේෂඥයන් රැසක් එක්විය.
මෙම උපදේශක මණ්ඩලය ස්ථාපිත කිරීමෙ අරමුණ වන්නේ විද්‍යාත්මක, දත්ත මත පදනම් වූ සහ ක්‍රියාශීලී සැලසුම්කරණය සිදු කර එල් නිනෝ සහ ලා නිනා බලපෑම් සඳහා ශ්‍රී ලංකාවේ සූදානම ශක්තිමත් කිරීම යි. යෝජිත උපදේශක මණ්ඩලයට පවතින රජයේ ආයතන ප්‍රතිස්ථාපනය නොකරන බවත් ඒ වෙනුවට ස්වාධීන විද්‍යාත්මක උපදෙස් සහ උපායමාර්ගික ප්‍රතිපත්ති නිර්දේශ ලබා දීමෙන් ඔවුන්ගේ කාර්යයට අනුපූරක වී සහාය දක්වන බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.
මෙම උපදේශක මණ්ඩලය සඳහා පූර්ණ ඡන්ද අයිතිය සහිත ප්‍රමුඛ පෙළේ විශේෂඥයින් දස දෙනෙකු සමඟ ස්වාධීන සභාපතිවරයෙකු පත් කරන බවත් මෙහි දී මිනිසා සේම සත්ත්වයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද සොයා බැලීම අරමුණු කරන බවත් මේ සඳහා ක්‍රියාකාරීව දායක වීමට රාජ්‍ය සහ පෞද්ගලික යන මාධ්‍ය ද්විත්වයටම ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ පාර්ලිමේන්තු සංසදය යනු ක්‍රියාත්මක කිරීමේ සංසදයක් නොවුවත් මේ තුළින් එකතු වන අදහස් සම්පිණ්ඩනය කර රටටත් ජනතාවටත් රාජ්‍ය සේවයටත් සහයෝගයක් ලෙස යෝජනා ඉදිරිපත් කරන බවත් ජාතික ප්‍රතිපත්තිමය රාමුවට දායකත්වය ලබා දීම මේ තුළින් සිදු වන බවත් මේ සම්බන්ධයෙන් මීට පෙර මහබැංකුව, භාණ්ඩාගාරය හා කෘෂිකර්ම අමාත්‍යාංශය කැදවූ බවත් එහි දී එල්නීනෝ ලානීනා රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් දැනුවත්වීම් සිදු වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

























