පසුගිය පෙබරවාරි මාසයේ ඇමෙරිකානු විදේශ සබඳතා කමිටුවේ දකුණු ආසියාව පිළිබඳ ඇමෙරිකා විදේශ ප්‍රතිපත්තිය ගැන සාකච්ඡා කරද්දී කමිටු සභාපති Bill Huizenga පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ලෝක ආර්ථිකය සහ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට කොතරම් වැදගත්ද යන්නය. එහිදී දකුණු සහ මධ්‍යම ආසියාව භාර ඇමෙරිකානු සහකාර ලේකම් පෝල් කපූර් ප්‍රතිචාර දැක්වූයේ ලංකාව සහ මාලදිවයින කුඩා සාගර රාජ්‍ය වුණේ භූගෝලීය පිහිටීම අනුව බවය. එවිට කමිටු සභාපති පවසා සිටියේ ලෝක තෙල්වලින් 75%ක් යන්නේ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයට සැතපුම් ගණනක් ආසන්නයෙන් බවය. එවිට කපූර් කීවේ කන්ටේනර්වලින් හරි අඩක් මේ මුහුදු සීමාවේ නාවික ගමනාගමනය කරන බවත් මේ නිසාම ලෝක ආර්ථිකයට මේ රටවල් ඉතා වැදගත් යැයි කියාය. එහිදී හම්බන්තොට වරාය ගැනත් සාකච්ඡා වූ අතර හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දීමෙන් ලංකාවේ ක්‍රියාකාරී නිදහස චීනයේ බලපෑමට නතු වී ඇති බව කපූර් කීවේය.Sri Lanka Latest News
කපූර්ගේ ලංකා සංචාරය කියවන්න ඕනා මේ සන්දර්භය තුළය. කපූර් ලංකාවට ඒමට පෙර යූ.එස්. පැසිෆික් එයාර් ෆෝස් කමාන්ඩර් ලංකාවේ සංචාරය කළේය. කමාන්ඩර් Kevin Schneider ගේ සංචාරය ශ්‍රී ලංකා සහ ඇමෙරිකානු ආරක්ෂක සබඳතා වර්ධනය වන ශක්තිය පෙන්වන්නක් බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබිණි. ඔහුගේ ලංකා සංචාරය අතරතුරදී කපූර්ගේ පැමිණීම ශ්‍රී ලංකා ඇමෙරිකානු සබඳතා නව මානයකට ගෙන යන බව පෙන්වයි. ලෝක බැංකුවේ නේවාසික කළමනාකරු පසුගිය සතියේ වරාය ඇමැති හමුවූ වෙලාවේ පැවැසුවේ මැදපෙරදිග යුද්ධය නිසා කොළඹ වරාය ලෝක අවධානයට ලක්ව ඇති බවය. මීට පෙර ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති සහ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ලංකාවට පැමිණ කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක් කළේය. මේ සතියේ ලංකාවට පැමිණි කපූර්ද කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව තානාපති ආරංචි මාර්ග කියයි.
යූ.එස්. පැසිෆික් කමාන්ඩර් සහ කපූර්ගේ සාකච්ඡාවට පෙර මෙරට චීන තානාපති Qi Zhenhong පැලවත්තේ ජවිපෙ කාර්යාලයට ගොස් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා හමුවිය. ඔහු ටිල්වින් හමුවී චීන ජනාධිපති ෂී ජින් පින් රචිත ‘ද ගවනන්ස් ඔෆ් චයිනා’ ග්‍රන්ථයේ පස්වැනි වෙළුමේ ඉංග්‍රීසි පරිවර්තනය තෑගි කළේය. ටිල්වින් මෙයට කලකට පෙර චීනයේ සංචාරයක් නිමකොට පැමිණ චීන ආණ්ඩුකරණය ගැන අගය කරමින් කතා කළ අතර, ලංකාවද එම ක්‍රමය අනුගමනය කළ යුතු යැයි ඔහුට හමුවූ චීන බලධාරීන් කී බව ප්‍රකාශ කළේය.










