මේ දිනවල බොහෝ දෙනා මෙගා නාට්‍යයක් බලන ආකාරයට ඇස් කන් දල්වාගෙන බලා සිටින්නේ දිනපතාම පාහේ අත්අඩංගුවට පත්වන විපක්ෂයේ නියෝජිතයන් දෙසය. පසුගිය සතියේ රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් සිව්දෙනකු වූ බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහිව විශේෂ තීන්දු කිහිපයක්ම අධිකරණය මගින් නිකුත් විය. එමෙන්ම ගෝඨාභයගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා වූ සුගීශ්වර බණ්ඩාරව අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම කටයුතු කළ අතර, පසුව ඔහුව ජූලි 01 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පියවර ගැනිණි. මේ අතරවාරයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ විමර්ශනද මේ වනවිට සමාජය තුළ දැඩිව කතාබහට ලක්වන සිදුවීමක් බවට පත්ව අවසානය.Sri Lanka Latest News
කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපතිවරයාගේ පැත්තෙන් දැඩි තීන්දුවක් ගෙන ඇත්තේ කොපමණ බලපෑම් සහ විවේචන එල්ල වුවද දූෂණයට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග ඒ ආකාරයටම ඉදිරියට රැගෙන යෑමටය. ඇතැම් ස්ථානවලදී යම් යම් විමර්ශන හරහා ආණ්ඩුවට දරුණු ප්‍රතිචාරවලට මුහුණ දීමට සිදුවුවද ඒ සියල්ලට මුහුණ දීමටද ජනාධිපතිවරයා තීන්දු කොට ඇති බවක් ආරංචිය. ඒ අනුව ඉදිරි වසර දෙකක කාලය ඇතුළත නියත වශයෙන්ම දූෂණ විරෝධී සටනේ විශාල ප්‍රගතියක් අත්පත් කරගැනීමට ජනාධිපතිවරයා සැලසුම් කරමින් සිටින බව දැනගන්නට තිබේ.
සජිත් වෙනම සටනක
ඒ සමගම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය තවත් අලුත් දේශපාලන සටනක් ආරම්භ කොට තිබේ. ඒ, දැනට උපරිමාධිකරණවල හිස්ව පවතින විනිසුරු ධුර 8ක් පිරවීමට ජනාධිපතිවරයා කටයුතු කොට නොමැති බවට චෝදනා කරමිනි. ඒ අනුව පසුගිය සතියේදී සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් කතානායකවරයාට විශේෂ ලිපියක් කතානායකවරයා වෙත භාරදීමට පියවර ගෙන තිබිණි. පහත දැක්වෙන්නේ එම ලිපියය.
2026 ජුනි 12
ගරු කථානායකතුමා
පාර්ලිමේන්තුවේ කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සභාපති
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නොකඩවා පවතින අධිකරණ පුරප්පාඩු
ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතරක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක්, පිළිගත නොහැකි තරම් දීර්ඝ කාලයක් තිස්සේ නොපුරවා පවතින තත්ත්වය පිළිබඳ වහාම අවධානය යොමු කිරීම සඳහා මෙම ලිපිය ඉදිරිපත් කරන්නෙමු. මෙම දිගුකාලීන අපොහොසත් වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කළ යුතු බවට පනවනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) වගන්තියට පටහැනි බව පෙනී යයි.
ගරු අග්රවිනිශ්චයකාරවරයා විසින් මෙම පුරප්පාඩු පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෝ ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සොයා බලන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එවැනි දැනුම්දීමක් සිදු කර නොමැති නම්, එම මගහැරීමට හේතු විමසා බලන ලෙසද ඉල්ලා සිටිමු.
මෙම පුරප්පාඩු අඛණ්ඩව පැවතීම, උසස්වීම් සඳහා සුදුසුකම් ලබන ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් අධෛර්යමත් කිරීමට හේතු විය හැකි අතර ඔවුන්ගේ වෘත්තීය ප්‍රගතිය පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති කළ හැකිය. සාධාරණ සහ කාලෝචිත ආකාරයකින් තමා උසස්වීම් සඳහා සලකා බලනු ඇතැයි එවැනි විනිසුරුවරුන් විසින් සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකිය. එබැවින්, මෙම පුරප්පාඩු පිරවීමේ දිගුකාලීන ප්‍රමාදය විසින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති නීතියේ සමාන ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු කිරීමට ඉඩ ඇත.
පුද්ගලික මට්ටමේ බලපෑම්වලින් ඔබ්බට ගමන් කරමින්, මෙම පුරප්පාඩු අධිකරණ පරිපාලනයේ කාර්යක්ෂමතාවයට අහිතකර ලෙස බලපාන අතර, දැනට සිටින විනිසුරුවරුන්ගේ කාර්යභාරය පුළුල් කරමින් අධිකරණ පද්ධතිය කෙරෙහි පවත්නා මහජන විශ්වාසය පළුදු කරන සුළු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) ව්‍යවස්ථාව යටතේ, නිසි ලෙස ස්ථාපිත උසාවි හරහා අධිකරණ බලය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මූලික ව්‍යවස්ථාපිත වගකීමකි.
පාර්ලිමේන්තුවේ කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති යන ඔබගේ ද්විත්ව ධුරයන්හි කාර්යභාරය උපයෝගී කරගනිමින්, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම කරුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලෙසත්, පෙරකී 4(ඇ) ව්‍යවස්ථාව යටතේ පවතින මෙම ව්‍යවස්ථාමය ගැටලුව වෙත පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන ලෙසත් ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
අනුර සජිත් එක මතයක
මීට අමතරව පසුගිය සතියේ පැවැති සාකච්ඡා කිහිපයකදීම සජිත් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවධාරණය කොට කියා සිටි විශේෂ කරුණක් තිබේ. ඒ, දැනට විමර්ශන සිදුකෙරෙන දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ කිසිවකු වෙනුවෙන් කිසිදු ආකාරයකින් හෝ සජබය පෙනී නොසිටින බවය. එමෙන්ම මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කොට ඇති යම් යම් පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් පළ නොකරන බවද එහිදී සජිත් අවධාරණය කර සිටියේය. ඇතැම් අවස්ථාවලදී එම විමර්ශනයන්ට සජබය සමග එක්ව සිටින ඇතැම් සහෝදර දේශපාලන පක්ෂ සම්බන්ධ වී තිබුණද ඒ කිසිවකට සජබය කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බවත්, පාරට බැස උද්ඝෝෂණ හෝ විරෝධතා ව්‍යාපාර නොපවත්වන බවත්, සත්යග්රහ හෝ එවැනි කිසිදු අවස්ථාවකට සම්බන්ධ නොවන බවත් සජිත් පැහැදිලි කොට සිටියේය. එම ප්‍රකාශය කිරීමට සජිත්ට එක්තරා හේතුවක්ද තිබිණි. ඒ, මේ වනවිට සජබය දූෂිතයන්ගෙන් තොර පිරිසිදු පක්ෂයක් බවට පත්ව තිබීමය.
‘අපේ පක්ෂයේ ඉන්න කිසිම කෙනෙක් කිසිම දූෂිත ගනුදෙනුවකට සම්බන්ධ වෙලා නෑ. මෙතෙන ඉන්න කිසිම කෙනෙක් හොරකම් කරලා නෑ. ඒක ජනතාව දන්නවා. ඉතින් අපිට කිසිම දූෂිත ගනුදෙනුවකට හරි ඒ වෙනුවෙන් ගෑවුණු පුද්ගලයන් වෙනුවෙන් හරි ඒ විමර්ශනවලට හරි සම්බන්ධ වෙන්න විදියක් නෑ. මොකද මුළු රටම දන්නවා මෙතන දූෂිත පුද්ගලයන් නෑ කියලා. ඒක තමයි අපිට ඉදිරි මැතිවරණවලදි තියෙන එකම වාසිය. ඒ හින්දා කොයි තරාතිරමක අයෙක් වෙනුවෙන් වුණත් අපි පෙනී ඉන්න යන්නේ නෑ…’ යනුවෙන් සජිත් එහිදී දැඩිව කියා සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව මේ වනවිට දැකගැනීමට ඇති කාරණයක් වන්නේ දූෂණයට එරෙහි සටනේදී ජනාධිපතිවරයා මෙන් විපක්ෂ නායක සජිත්ද එකම ස්ථාවරයකට පැමිණ ඇති බවකි.










