ජෙප්පො කියන්නෙ සාමාන්‍යයෙන් සහකම්පනය තියෙන ජාතියක් නෙවෙයි. ඒත් මේ දවස්වල ජෙප්පො සහකම්පනයට ලක්වෙලා හොටු පෙරනවා අපි දකිනවා. ඒ තමයි උපුල් කුමරප්පෙරුමගෙ පුතාගෙ වියෝව වෙනුවෙන්. මම මේ පෙන්වන්න හදන්නෙ ජෙප්පො මේ අඬන්නෙ බොරුවට බව ඔබට කරුණු ඇතුවම, සාක්ෂි ඇතුවම පෙන්නලා දෙන්න.
මේ කතාව ලියන්න කලින් මම ඒ දරුවට නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ලිපියේ කරුණු හේතුවෙන් මෙම කනගාටුදායක මොහොතේ උපුල් හෝ ඔහුගේ පවුලේ කිසිවකුගේ හිත් පෑරෙන එකක් නෑ කියලා හිතන නිසාත්, මේක ලියන්න මේක තරම් තත්කාලයක් නැහැ කියලා හිතන නිසයි මම මේක ලියන්නේ. Sri Lanka Latest News
උපුල්ගෙ පුතාගෙ අභාවය වෙනුවෙන් අද හොටු පෙරන ජෙප්පො, මීට අවුරුදු එකහමාරකට කලින් උපුල්ගෙ දේශපාලන ගමන නැත්තටම නැති කළා. මාතරින් අංක එකට දිනන්න ඕනෙ මිනිහව සැලසුම්සහගතව පරාද කරලා, මාතරට කැළලක් වෙන ජාතියෙ හැඩි ජෙප්පො රොත්තක් පාර්ලිමේන්තුවට ගත්තා. ඇත්තම කියනවා නම් එදා ජෙප්පො පරාද කළේ උපුල් කුමරප්පෙරුම කියන මිනිහා විතරක් නෙවෙයි… මාතරින් බිහිවෙන්න තිබ්බ කෘතහස්ත තවත් දේශපාලනඥයෙක් තමයි උන් අපට නැතිකළේ. එහෙමත් නැත්නම් මේ රටේ බිහිවෙන්න තිබ්බ වැඩදායක සහ ගරුසරු අධිකරණ ඇමැතිවරයෙක් තමයි ජෙප්පො උන්ගෙ පටු තීන්දු නිසා නැතිකරලා දැම්මේ.
ජෙප්පො, උපුල් කුමරප්පෙරුමට ෂොට් එක දීපු හේතු සහ කතාව කියන්න කලින් මාලිමාව හැදුණු හැටි මම කියන්නම්.
2015න් පස්සෙ කාලෙ වෙද්දි ජවිපෙ ප්‍රතිසංවිධානය කරමින් දේශපාලන අත්හදා බැලීම් කළත් ඒ කිසි දේකින් ජනතාව තමන් වටා රොක්වෙන්නෙ නෑ කියලා අනුර කුමාර දිසානායකට හොඳින්ම තේරිලයි තිබුණේ. ඒ වෙද්දි අනුර කුමාර එක එක පොරවල් හමුවෙලා මේකට විසඳුම් අහ අහා රස්තියාදු ගහ ගහ තමයි හිටියෙ. අනුර දැනගෙන හිටියා ටිල්වින් වගේ කල් ඉකුත් වුණු අයගෙන් අලුත් ගමනක් යන්න පාර අහලා වැඩක් නෑ කියලා.
ඔන්න ඔය කාලෙ දවසක හවසක, අනුර කුමාර දිසානායක උපුල් කුමරප්පෙරුමගෙ ගෙදර එනවා. ඒ වෙලාවෙ උපුල් විස්කි ෂොට් එකක් ගහලා ආතල් එකේ ඉන්න වෙලාව. අනුර එළිපිට බොන්නෙ නැති නිසා ටොනික් ෂොට් එකක් ගහමින් කතාවට මුලපිරුවා.
‘උපුල්, මේ තත්ත්වෙන් ගියොත් තව අවුරුදු ගානක් ගියත් අපට ආණ්ඩුවක් ගන්න බැරිවෙයි වගේ…’
අනුර කඩවූ බලාපොරොත්තු ඇතිව කිව්වා.
‘මචං… උඹලා ඔය කරන විදියට මේ ගමන යන්න බෑ තමයි. අපි මධ්‍යම පන්තිය පක්ෂෙ ඇතුළට ගත්තෙ නැත්තං අපිට දිනන්න බෑ.’
උපුල්, අනුරට එහෙම කිව්වා.
‘ඉතිං සහෝදරයා ඒක කරන්න මොනවද අපි කරන්න ඕනෙ?’
මධ්‍යම පන්තිය තමන්ගෙ ව්‍යාපාරයට ඇතුළත් කරගන්න හැටි ඒ වෙනකොටත් දැනගෙන හිටපු නැති අනුර උපුල්ගෙන් එහෙම ඇහුවා.
‘මචං… අපි ඉස්සෙල්ලා රතුපාට අයින් කරන්න ඕන… සීනුව අයින් කරන්න ඕනෙ… ඒ විතරක් නෙවෙයි මචං, අපි ජවිපෙත් අයින් කරන්න ඕනෙ. අපි ජවිපෙන් සම්පූර්ණයෙන් වෙනස් වුණු අලුත් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනෙ.’
රතු පාට වෙනුවට රෝස පාට එන්නේත්, සීනුව වෙනුවට මාලිමාව ලකුණ එන්නේත්, ජවිපෙ වෙනුවට මාලිමාව එන්නේත් අනුරට නොතේරුණු, උපුල් කුමරප්පෙරුම පුරවා දුන් ප්‍රහේලිකාව අනුවය.
ඒ කියන්නේ, ‘මාලිමාව’ නමැති මහා ජන පවුරේ නිර්මාතෘවරයා උපුල් කුමරප්පෙරුමය.
එක් වැරැද්දක් සිදුවුණේය. උපුල්ගේ ශුක්‍රාණුව, එක් වූයේ ටිල්වින් සිල්වාගේ ඩිම්බයක් එක්කය. ඒ අනුව පිළිසිඳගත් කලලය ජවිපෙ බඩෙන් එළියට එද්දී උප්පැන්නය ලියවුණේ මව ටිල්වින් සිල්වා හැටියටය.
පසුගිය මහ මැතිවරණයට උපුල් තරග කළේ ජයග්‍රහණය අතේ තබාගෙනය. එහෙත් උපුල් මාතර ආසනයට පමණක් කොටුකර ඔහුගේ දේශපාලනය ලත් තැනම ලොප් කිරීමට ඒ වනවිටත් පිඹුරුපත් සකසා ඇති බව මේ ජනාධිපති නීතිඥයා දැන නොසිටියේය.
මාතර දිස්ත්‍රික්කයේ ඉතා කුඩාම සහ අඩුම ඡන්ද ප්‍රමාණය සහිත මාතර ආසනයෙන් පමණක් දිස්ත්‍රික් ඡන්දයක් ජයග්‍රහණය කිරීම උගහට බව මාතර දේශපාලනය දන්නා අප හොඳින්ම දන්නේය. දෙණියාය, හක්මණ, දෙවිනුවර හෝ වැලිගම වැනි ආසනවලින් තරග කරන අයට ඒ තත්ත්වය එතරම් ගැටලුවක් නැත්තේය. ඒ නිසා මාතර ආසනය නියෝජනය කරන අය තමන්ගේ වෙනත් සබඳතාවක් හෝ සාධකයක් යොදාගෙන සෙසු ආසනවලට රිංගන ආකාරය අප ඕනෑතරම් දැක ඇත්තේය.
ඊට හොඳම උදාහරණය මංගලය. මුළු ලෝකයටම සංහිඳියාව ගැන කියූ මංගල සමරවීර ඡන්ද කාලයට සිය දුරාවේ කම විකුණන බව අප දැක ඇත්තෙමු.
උපුල්ටද විකිණිය හැකි දේ තිබුණේය. එකක් වන්නේ ඔහුගේ ‘රාහුලකම’ය. සාමාන්‍ය පෙළ දක්වා මාතර රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහුට තුනෙන් ගුණකළ හොඳ මිත්‍ර සමාගමක් මාතර තිබුණේය. තුනෙන් ගුණකළ යැයි කීවේ, උපුල්ට සේම ඔහුගේ සහෝදරයන් දෙදෙනාගේ මිත්‍ර සමාගම්ද එවර පෙනීසිටියේ උපුල් දිනවීමට වූ නිසාය. අනෙක් කරුණ වූයේ උපුල්ගේ බිරිඳ දෙණියායේ වීම නිසා වැදගත් සහ බලවත් ඥාති සනුහරයක් එකී ආසනයෙන් උපුල්ට ඇතිවී තිබීමය.
එපමණක් නොව, ජයග්‍රහණය ගැන සැකයක් නැති, දිනුමෙන් පසු නිසැක කැබිනට් ඇමැතිවරයෙක් වන මිනිසකු වෙනුවෙන් ජනතාව පෙළගැසීම අරුමයක්ද නොවූයේය. ඒ නිසාවෙන් මාතර සෙසු ආසනවලද උපුල් වෙනුවෙන් රැස්වීම්, ජනහමු, සාකච්ඡා පවත්වන්නට මිනිස්සු පොරකෑහ.
ඔහු දිනක් දෙණියායේ රැස්වීමකට ගියේය…
‘වහාම දෙණියායෙන් පිටවෙන්න… වාහන හතර පහ දාගෙන රැස්වීම්වලට යන්න එපා. ඔයා මාතර ආසනයට විතරයි දාලා තියෙන්නෙ… වෙන කිසි තැනක රැස්වීම් තියන්න එපා…’
උපුල්ගේ දුරකතනයට ආ ඇමතුම එසේ විය.
මහ මැතිවරණයක අපේක්ෂකයකුට එසේ නියෝග දිය හැකි කෙනා කවුරුන් විය හැකිදැයි සෙස්සන් තේරුම් ගත්තේ උපුල් ඊට කීකරු වූ නිසාය.
ඉන්පසු තවත් දිනයක උපුල් වෙනුවෙන් දික්වැල්ලේ රැස්වීමක් පැවැත්වුණේය. එතැන සිටියදී තවත් අයෙක් උපුල් ඇමතීය.
‘ඔයා දිස්ත්‍රික්කෙ හැම තැනම රැස්වීම් තිය තිය යන්න එපා… වහාම ඔය රැස්වීම නවත්වලා මාතරට යන්න…’
ඒ කතා කළේ කවුදැයි කියාද අපි නොදනිමු…. එහෙත් ඒ නියෝගය ලද සැණින් කටයුතු ඒ නියෝගය ආකාරයෙන්ම සිදුවූ බැවින් ඔහුද ජවිපෙ ලොක්කෙකු බව උපකල්පනය කළ හැකිය.
‘උපුල් කුමරප්පෙරුමට පක්ෂෙ ලොකුම තැන්වලින් කැපිල්ලක් තියෙනවා… එයාට දිනන්න අමාරුයි වගේ…. දින්නත් ඇමැතිකමක් ලැබෙන්නෙ නෑ…..’
සිදුවීම් කීපයකට පසු මාලිමාව වටා එක්වෙමින් සිටි මාතර මිනිසුන්ගේ මුවින් මුව කියැවුණේ ඒ කතාවය.
ඡන්දය අවසන් විය. උපුල් පරාදය. උපුල් පරාද වන බව අපි දැන සිටියේ ඡන්ද විමසීම පැවැත්වීමටත් දින ගණනාවකට කලින් බව මෙහිලා කිව යුතුය.
1994දී ජවිපෙට කෙළින් එන්න බැරි නිසා, ප්‍රගතිශීලී පෙරමුණේ ‘මල් බඳුන’ ලකුණින් තරග කර හම්බන්තොටින් එක් තරුණ මන්ත්‍රීවරයෙක් ජයගත්තේය. ඔහු ජනිත් විපුලගුණය. ඒත් එදා මේ ටිල්ටින් සිල්වාම කළේ, ජනිත් ගෙදර තබා, පරාජිත නිහාල් ගලප්පත්ති පාර්ලිමේන්තුවට ගත්තේය.
‘ජනිත්ව පාර්ලිමේන්තු යැව්වා නම් කොතරම් ආකර්ෂණීයද?’ යන මැයෙන් මා එවකටද රෝහණ කුමාරගේ ‘සටන’ පුවත්පතේ ලිපියකින් විමසුවෙමි.
උපුල් කුමරප්පෙරුම විෂයෙහි අද මා අසන්නේද ඒ පැනයමය.
‘උපුල් කුමරප්පෙරුම පාර්ලිමේන්තු යැව්වා නම් කොතරම් ආකර්ෂණීයද?’
ඉන්පසු අනුරට හෝ ටිල්වින්ට අවශ්‍ය වූයේ නම් උපුල්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්නට තිබුණේය. එසේ කළේ නැත. ඊට හේතු ගණනාවක් ඇත්තේය. ඒත් ඉන් ප්‍රබලම හේතුව මම කිව යුතුමය. එය කිව යුත්තේ ඒ හේතුව මේ රටේ ජවිපෙ හෝ මාලිමාවේ බොරුවට රැවටුණු සියලු දෙනා දැනගත යුතු නිසාය…
‘උපුල් කුමරප්පෙරුම ජවිපෙට නොදිරවීමට බලපෑ ලොකුම හේතුව, උපුල්, අනුර කුමාරට මෙන්ම තවත් බොහෝ දෙනකුටම කතා කරන්නේ ‘මචං’ කියා වන නිසාය.’
දකින දකින හැම එකාටම ‘සහෝදරයා’ යැයි ආමන්ත්‍රණය කරන පක්ෂයක නායකයන්ට, යම් අයෙක් ‘මචං’ යැයි ඇමතීම නුරුස්සන්නේ ඇයිදැයි දැන් ඔබ සැමට ප්‍රශ්නයක් ඉතිරිව ඇතුවාට සැක නැත. එසේ සැකයක් ඇති අයට උපුල් කුමරප්පෙරුම අමතා හෝ, රාහුල ආදිශිෂ්‍ය සංගමය අමතා ඊට පිළිතුරු ලබාගත හැකි බවද සඳහන් කරමි.
ඒ කතාව කියද්දී පරණ දේශපාලන කතාවක්ද මට මතක් වුණේය.
මහර මැතිවරණ සමයේ ජේ.ආර්. ජයවර්ධන සමග ගේම ඉල්ලූ විජය කුමාරතුංගට ඔහුගේ මිතුරන් අවවාද කළේ දේශපාලනයෙන් ඈත්ව සිටින ලෙසටය. මිතුරකුගේ නිවසේ පැවැති භෝජන සංග්‍රහයක් අතරතුරදීද මේ සංවාදය පැමිණි අවස්ථාවක, විජය සිය මිත්‍රයන්ගෙන් මෙසේ විචාළේය.
‘උඔලා කැමැති නැද්ද කවදා හරි මේ රටේ ජනාධිපතිට මචං කියන්න….?’
එදා ඒ ප්‍රශ්නය ඇසූ ‘විජයගේ ඔළුව කුඩුවෙන්න වෙඩිතබා මරාදැමුවේද අනුර කුමාරලාගේ ජනතා විමුක්ති පෙරමුණේ ‘බුලට්’ එකෙන්ය’.
අද… අනුරට මචං කියන, උපුල් කුමරප්පෙරුමට ජනතා විමුක්ති පෙරමුණ ෂොට් එක දුන්නේ ‘බැලට්’ එකෙන්ය.
උපුල්ලාට නිසි තැන නොදීමේ ආදීනව මාලිමා ආණ්ඩුව දැන් හොඳටම අත්විඳින බව නොකිවමනාය. උපුල්ලා වැන්නන් ඇතුළේ සිටියා නම් අනුර හෝ මාලිමාව මේ තරම් කුජීත නොවනු ඇති බව මගේ පෞද්ගලික තක්සේරුවය.
ඇත්තම කතාව… අනුර කුමාර දිසානායකට වඩා උපුල් කුමරප්පෙරුම ප්‍රායෝගික දේශපාලන භාවිතාවෙන් ගව් ගණනක් ඉදිරියෙන්ය. අනාගතයේ ඇපත් නැතිවන ජවිපෙ වෙනුවට වමේ පොදු අපේක්ෂකයෙක් සොයාගැනීමට අනිවාර්යයෙන්ම සිදුවන්නේය. එවැනි අවස්ථාවක අපේක්ෂකයෙක් සොයාගැනීම ගැටලුවක් වේනම් ඊට කදිම තෝරාගැනීම උපුල් කුමරප්පෙරුමය.
අවසාන වශයෙන් කිව යුත්තේ, සිනහ සිසී… උපුල් කුමරප්පෙරුමගේ දේශපාලන ජීවිතය ඝාතනය කළ ජවිපෙ හෝ මාලිමාවේ අයියලා, අද උපුල්ගේ ආදරණීය පුතණුවන්ගේ මරණය වෙනුවෙන් කඳුළු සැලීම කොතරම් හාස්‍යජනකද? මොන විගඩමක්ද?
උපුල් ගලප්පත්ති










