දේශපාලන අඳුරු යුගයක, 1988-89 පසු අළු හා දූවිලි අතර වැටී තිබූ ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනැගීමට නායකත්වය දුන් අසමසම සංවිධායකයා වූයේ සෝමවංශ අමරසිංහ මහතාය. 1994 දී ජවිපෙ නැවත දේශපාලන වේදිකාවට ගෙන එමින් එය රටේ ප්‍රබල දේශපාලන බලවේගයක් බවට පත් කළේ ඔහුගේ කැපවීම, ධෛර්යය සහ දුරදක්නා නායකත්වය මගිනි. Sri Lanka Latest News
එමෙන්ම බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා රටේ ජාතික බලවේග පෙළගස්වා ජනමතය ගොඩනැගීමටද ඔහු වැදගත් කාර්යභාරයක් ඉටුකළේය.
අද දේශපාලන මතභේද කුමක් වුවත්, අභියෝග හමුවේ නොසැලී තම දේශපාලන විශ්වාස වෙනුවෙන් ජීවිතය කැප කළ නායකයකු ලෙස සෝමවංශ අමරසිංහ මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන සිටී.
දේශපාලනයෙන් ඔබ්බට, සරලත්වය, මනුෂ්‍යත්වය සහ ආදරණීය ඇසුර නිසා ඔහු සමීපව ඇසුරු කළ බොහෝ දෙනාගේ හදවත් තුළ අදත් ජීවමාන චරිතයකි. ඒ නිසාම අපට තාත්තා සමග උලපනේ ගෙවුණු කාලයේ සිටම අවසානය දක්වා සැමවිටම ඔහු රෙජී අංකල් විය.
‘මා හට අවසන් වරට ඔහු හමුවූයේ මා රුසියාවේ අධ්‍යාපනයට යන බව පැවසීමට පැලවත්ත පක්ෂ කාර්යාලයට ගිය මොහොතේය. මා යාමට නියමිත රුසියාව පිළිබඳ, ලෝක දේශපාලනය පිළිබඳ සහ අනාගතය පිළිබඳ අපි සුහද කතාබහක නිරතව සිටියෙමු. එහිදී කසකස්තානය යන රටේ නම මා ඉංග්‍රීසි භාෂාවේ හුරුවට උච්චාරණය කළ විට, එය නිවැරදි නොවන බව ඔහු පැවැසීය. අදටත් එය මා මතකයේ පවතින්නේ, මා විමතියට පත්කරමින් ඔහු රුසියන් බසින් සැකසුණු සිතියමක් ගෙන මා ඉදිරියේ තබා එම රටේ නම නිවැරදිව උච්චාරණය වන්නේ මෙලෙස බව පෙන්වා දුන්නේ.
එම සංවාදය අතරතුර, ඉතාමත් අවධාරණයෙන් ඔහු මා හට පැවසූ තවත් වදන් කිහිපයක් අදටත් අමතක කළ නොහැක.
‘තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න ඉඩ තියන්නේ නැහැ.’
එදා එම වදන්වල ගැඹුර මට සම්පූර්ණයෙන් වැටහුණේ නැත. නමුත් පසුකාලීනව මට තේරුම් ගියේ, තාත්තා විසින් කිසිදු සුළු වරදකටවත් ඉඩ නොතබන, ඉස්පිල්ලක් හෝ පාපිල්ලක් වැරදීමටවත් ඉඩ නොදෙන විනයගරුක දේශපාලන සංස්කෘතියක් සහ මිනිසුන් පිරිසක් නිර්මාණය කර තිබූ බවය. නිවැරදිව සිතන, නිවැරදිව ක්‍රියාකරන, අනාගතය දකිමින් වගකීමෙන් කටයුතු කරන මිනිසුන් බිහිකිරීම ඔහුගේ අපේක්ෂාව වී තිබිණි.
මා හට ඔහු අවසන් වරට දුන් උපදෙස වූයේ ද ඉතා සරල නමුත් බලවත් එකකි.
‘කුමන තත්ත්වයක් යටතේ හෝ උපාධි සහතිකය අතට නොගෙන ලංකාවට ආපහු එන්න එපා.’
පියෙකු මෙන් ඔහු මා හට ලබාදුන් එම අවවාද හා උපදෙස් මම මගේ මතකයේ තැන්පත් කර ගතිමි. මාගේ මතකය නිවැරදි නම්, රෝහණ විජේවීරයන්ගේ පුත්‍රයකු ලෙස මා පැලවත්තේ පක්ෂ කාර්යාලයට අවසන් වරට පා තැබුවේ ද එදිනය.
ඉන් අනතුරුව මා රුසියාවේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහු ජනතා විමුක්ති පෙරමුණ අතහැර ගියේය. ඒ සමගම, ඔහු නායකත්වයේ සිටින විට අපගේ පවුලට ලබාදෙන බවට පොරොන්දු වූ නිවස සහ කඳවුරෙන් නිදහස ලබාගැනීම සම්බන්ධයෙන් පක්ෂයත් අපගේ පවුලත් අතර විසඳාගත නොහැකි අර්බුදයක් මතුවිය.
කෙසේ වෙතත්, මාගේ පළමු උපාධි සහතිකය රැගෙන නැවත ලංකාවට පැමිණෙන විට, තාත්තාගේ මතකයන්, ඔහුගේ ගුණ සුවඳ හුරු ජවිපෙ නායකත්වයේ සිටි අවසන් මිනිසා ලෙස මතකයන් ඉතිරි කොට, ඔහුද මෙලොව හැර ගොස් තිබිණි.
ඔබට විප්ලවීය උත්තමාචාරය…
උවිඳු විජේවීර










