ජනතාව භුක්ති විදිමින් සිටින ගැටලු නොමැති ඉඩම් සදහා මාස 3 ක් ඇතුළත නිරවුල් ඔප්පු ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ වර්තමාන ආර්ථික රටාවට ගැලපෙන ලෙස ඉඩම් ප්රතිපත්තියද වෙනස් විය යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවේ මෙසේ සදහන්ය.
‘ඉඩම් ඔප්පු නොතිබීම දිවයින පුරා චාරිකා කළ අවස්ථාවේදී දිස්ත්‍රික්ක රැසක ජනතාවගෙන් මා වෙත ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුවක්ය.
පරම්පරා ගණනක් පදිංචිව සිටිය ද, වගා කටයුතු කළ ද ඔප්පු නොමැති වීමෙන් ඔවුන් දැඩි පීඩාවට ලක්ව ඇත. ප්රශ්නය විසඳීමට රටට සහ ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන ආකාරයට ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනය විය යුතු බව මම එහිදී අවධාරණය කළෙමි.
ඉඩම් ඔප්පු නොතිබීමෙන් ජනතාව දැඩි අපහසුතාවටත්, සංවර්ධනය දැවැන්ත පසුබෑමකටත් ලක්ව තිබේ. කෘෂි ආර්ථික රටාවක් ගොඩනැගීමේදී ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය ඉතා වැදගත් වේ.
බදු දී ඇති ඉඩම් සංවර්ධනය කිරීමෙන් පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝ ඉඩම් අයත් ආයතන හෝ ඒවා වෙනත් පාර්ශ්වයන්ට පැවරීමද වගාකරුවන් මුහුණ දී ඇති තවත් ගැටළුවකි. එවැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ නොතබන්නැයි මම නිලධාරීන්ට උපදෙස් දුන්නෙමි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වගාවට නොගත් ඉඩම් සුදුසු වගාවන් සඳහා භාවිතා කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් අතර තරුණ ව්‍යවසායකයන්ට ඒවා බදු දීමෙන් ජාතික ආර්ථිකයට දායක කරගත හැකිය.
විවිධ රජයන් යටතේ ජනාධිපතිවරු ජනතාවට ඉඩම් බලපත්‍ර ප්රදානය කළහ. එහෙත් පසුකාලීනව බැංකු ණයක් හෝ ආර්ථික ඒකක බවට එම ඉඩම් පත් කරගැනීමේදී ගැටළු රැසකට ජනතාව මුහුණ පා ඇතැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
විදේශ ආයෝජකයන්ට ඉඩම් දීමේදී ණය සහ සෙසු පහසුකම් සලසා ගත හැකි පරිදි ගිවිසුම් අත්සන් තැබේ. ඉදිරියේදී ඒ ආකාරයට ජනතාවට ද එවැනි පහසුකම් ගතහැකි පරිදි ඔප්පු සකස් කිරීමේ වැදගත්කම මම අවධාරණය කළෙමි.
බදු පදනම මත ඉඩමක නිරවුල්භාවය ගැනීමට ආයතන 20 කට අධික සංඛ්‍යාවක අනුමැතිය ගැනීමට ජනතාවට සිදුවේ. ඒ සඳහා වසර ගණනාවක් ගතවන බව අනාවරණය විය. මෙවැනි තත්ත්වයන්ට ඉඩ නොතබා සරල කොන්දේසිවලට යටත්ව ඉඩම්වල නිරවුල්භාවය දීමට පියවර ගන්නැයිද උපදෙස් ලබා දුනි.
අනුමැතිය සඳහා රාජ්‍ය ආයතනයකට යොමුකරන ඉල්ලීමකට දින 14ක් ඇතුළත පිළිතුරු දීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය යාන්ත්‍රණය තුළ සකස් විය යුතු බව ද මම අවධාරණය කළෙමි.
අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.











