මේ වෙනකොට අටමස්ථානය පිළිබඳ සමාජය ඇතුළේ විශාල කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකේ හොඳ නරක ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. මේ වෙලාවේ කියවෙන්නේ ‘පල්ලේගම’ කියන නම. ඉතින් අපි පල්ලේගම කියන නම ගැන හොයලා බලද්දි පල්ලේගමට තියෙනවා පුදුම ඉතිහාසයක්.Sri Lanka Latest News
පල්ලේගම 1844දී අටමස්ථානාධිපති තනතුරේ නමත් එක්ක ගෑවෙන්නේ. පල්ලේගම ශ්‍රී සුමන රේවත නාහිමි 1844 සිට 1864 දක්වා අටමස්ථානාධිපති තනතුර දරලා තියෙනවා. මේ වගේම 1908 සිට 1944 දක්වා පල්ලේගම ශ්‍රී සුමන රතනපාල නාහිමි තමයි මේ අටමස්ථානාධිපති තනතුර දරලා තියෙන්නේ.
ඉන් පස්සේ 1977 – 1997 කාලේ පල්ලේගම ශ්‍රී සුමන රේවත ඥානරතන නාහිමි අටමස්ථානාධිපති තනතුරට එනවා. ඉන් පස්සේ 1987 ඉඳලා 2022 දක්වා පල්ලේගම ශ්‍රී සුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමි තමයි මේ තනතුර දරන්නේ.
ඉන් පස්සේ ආචාර්ය පූජ්‍ය පල්ලේගම ශ්‍රී සුමන රතනපාල හේමරතන නාහිමි මේ තනතුර දරන්න සුදුසුකම් ලබනවා. මේකෙ තියෙන විශේෂත්වය තමයි වසර ගණනාවක්ම පල්ලේගම ඉඳන් ආපු හිමිවරු තමයි මේ තනතුර දරන්න පටන් අරන් තියෙන්නේ.
ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ලග්ගල පල්ලේගම කියන්නේ ඓතිහාසික හා සංස්කෘතික පසුබිමක් සහිත සුන්දර ග්‍රාමීය ප්‍රදේශයක්. අපි දන්න තොරතුරු අනුව මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ, ලග්ගල කලාපයේ තමයි මේ පල්ලේගම තියෙන්නේ. පල්ලේගම කියන්නෙ පැරණි වාරි සහ කෘෂිකර්මාන්තය මුල්කරගත් ගැමි ජනාවාස පිහිටලා තියෙන, ඉපැරණි ගැමි සිරිත් විරිත් තවමත් රැකෙන කලාපයක්ලු. කොහොමටත් ඔය මාතලේ අවට තියෙන සමහර ඉසව් හරි ලස්සනයි.
පල්ලේගම කියලා කියනකොට බොහෝම ප්‍රසිද්ධ තැනක් වෙන්නෙ පල්ලේගම අම්බලම. ඓතිහාසික පල්ලේගම තලාව කුඹුරු යායට යාබදව මේ අම්බලම පිහිටලා තියෙනවා. මහනුවර ගැටඹේ ඉඳලා කටුගස්තොට පාරෙ කිලෝමීටර හතරක් විතර ගියාම ජයන්ති මාවතට හැරෙන්න පුළුවන්. ඔය කියන ජයන්ති මාවතේ කිලෝමීටරයකට චුට්ටක් වැඩියෙන් ගිහිල්ලා පල්ලේගම තලාව කුඹුරු යායට ඇති පාරේ යන්න ඕනෙ කියලයි කියන්නෙ. මේ ගමන යනවා නම් පල්ලේගම අම්බලමට විතරක් ගිහිල්ලා බෑ. කුඹුරු යාය මැද තියෙන සෙල්ලාවලි රජමහා විහාරයටත් ගොඩවෙන්න අමතක කරන්න එපා කියලයි කියන්නෙ. වෙල මැද පන්සල කියලා හඳුන්වන මේ පන්සල බොහෝම සුන්දර තැනක්. හරිම ලස්සන පරිසරයක තියෙන මේ විහාරයේ මහනුවර පිළිම ගෙයක් තියෙනවා.
‘සාමාන්‍යයෙන් අපි දකින්නේ ප්‍රතිමා තලයක් මත සෑදූ බුදු පිළිමයක් හා ඒ වටා ඇති රැස් මාලාවක්. නමුත් මෙහි ප්‍රතිමා තලය වෙනුවට ඇත්තේ නාග දරණයක් හා රැස් මාලාවක් වෙනුවට නාග පෙණයයි. මීට අමතරව මෙම විහාරගෙය මහනුවර අවධියේ කලාගාරයක් බඳු වෙනවා’ කියලා මේ ගැන හොයපු අපිට විස්තර ලැබුණා.
කොහොම වුණත් මේ මහා කුඹුරු යාය අද වෙනකොට පුරන් වෙලාය කියලයි හුඟක් තැන්වල සඳහන් වෙලා තිබුණේ. ඒකට හේතුව විදියට ඒ උදවිය කියන්නෙ ජල සැපයුමේ අවිධිමත්කම නිසා එහෙම වුණාය කියලයි.
ලංකාවෙ පල්ලේගම, පහළගම, පාතගම වගේ ගම් නම් හුඟාක් දකින්න පුළුවන්. පහත තියෙන ගම කියලා ගමකට නම වැටෙන්නෙ බොහෝවිට උඩගමක්, ඉහළ ගමක්, කන්දෙගමක් අහලක පහළක තියෙන වෙලාවට.
කොහොම වුණත් අපේ ගමක නමක් ලෝකෙට යන ප්‍රධාන ක්‍රම කීපයක් තිබුණා. එක්කො ඒ ගමේ නම තියෙන හාමුදුරු කෙනෙක් ඉන්න ඕනෙ. එහෙම නැත්නම් ඒ ගමේ චණ්ඩියෙක් එහෙම නැත්නම් නමගිය අපාරාධකාරයෙක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් කවියෙක් හරි මාධ්‍යවේදියක් හරි බිහිවෙන්නම ඕනේ. මේ විදියට කාටත් රහසේ ගැංගිලා තියෙන පල්ලේගම ගැන අපි කතාකරන්න හේතුවක් හැදුණෙත් ආන්න එහෙමම තමයි. මෙහෙම දෙයක් නොවෙන්න අපි පල්ලේගමක් ගැන කතාකරනවයැ නේද?

ජීවන පහන් තිළිණ










